පුවතක පසුබිම
බිහිසුණු මතකයක ආවර්ජනය හා හෙට දවස

ශ්‍රී ලංකා පොළෝ තලයට දැන් සාමය නමැති අලුත් ළහිරු කිරණ පතිත වී ඇත. ඒ යුද විරුවන්ගේ ජීවිත පමණක්‌ නොව ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පූජා කළ නිසාය. වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදයේ මහා පොදු සාධකය නන්දිකඩාල් කලපුවෙන් පරලොව යෑවීම මෙරට නව මාවතකට හැරවූ ලCෂ්‍යය බවට පත්වූ නිසාය. වීරෝදාර රණවිරුවන් විසින් එම අනුපමේය වික්‍රමය විජයග්‍රහණය කොට 2010 මැයි 18 වැනිදාට වසරක්‌ ගතවෙයි. 2009 මැයි 18 වැනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සාමයට කැමැති සියලු දෙනාටම අමරණීය දිනයකි.

එල්. ටී. ටී. ඊ. කොටි සංවිධානය පිහිටුවීමට පුරෝගාමී වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ජීවන තොරතුරු පිළිබඳව දැන් දැන් බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇත. සාමය උදාවීමත් සමඟ උතුරේ සංචාරයේ යෙදෙන පිරිස වැඩිවීම නිසා එම උනන්දුව වැඩිවීමට හේතු වී ඇත. සිය ජීවිතයම දෙමළ ජාතිවාදයෙන් ඔද්දල් වූ ප්‍රභාකරන් සිදුකළ ව්‍යවසනය නිසා ඔහු ලෝකයට වීරයකු නොවේ. ඒ නිසාම ඔහු ලොව පුරා සත් ජනතාව පිළිකුල් කරයි. දෙමළ ජනතාවට සැබෑ විමුක්‌තිය උදාකිරීමට ඔවුන්ගේ සිත් දිනාගැනීම වෙනුවට ඔහු කළේ දමිල ප්‍රජාව තුළද මරණ බිය ජනිත කිරීමය. ලොව ම්ලේච්ඡතම කොටි ත්‍රස්‌තවාදී කල්ලියේ ප්‍රධානියා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් තුළ එම පසුබිම ගොඩනැගී ඇති ආකාරය මෙම ලිපියෙන් මූලික ලෙස අවධාරණය කරන්නෙමු.

යාපනයේ සිට කන්කසන්තුර් මාර්ගයේ ගමන් කරන විට කිලෝමීටර් 12 ක දුරින් පිහිටා ඇති චුන්නාකම් හන්දියෙන් දකුණට හැරී ගමන් කරන විට උඩුප්පිලි හන්දිය හමුවෙයි. එතැනින් වමට හැරී කිලෝමීටර් 2 ක්‌ පමණ ගමන් කරන විට ප්‍රභාකරන්ගේ මහගෙදර හමුවෙයි. යාපනය නගරයේ සිට එම නිවස පිහිටා තිබෙන්නේ කි.මී. 40 කට අධික දුරකිනි. 322, පොයින්ට්‌ පේදුරු පාර, වැල්වැටිතුරේ එහි ලිපිනයයි.

ප්‍රභාකරන් 1982 දක්‌වාම වැල්වැටිතුරෙයි නිවසෙහි සිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ එම නිවසට යන විට එහි කුඩා රහස්‌ උමගකින් පලාගොස්‌ දිවි රැකගන්නට ද ඔහු සමත් විය.

තිරුවෙන්දකාදම් වේළුපිල්ලේ යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන් අයෙකි. ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වතීය. ඇය ශ්‍රීලංකාවේ උපන් කාන්තාවකි. 1947 දී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කළේය. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවකු ලෙස සේවය ඇරඹීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ ඉඩම් නිලධාරියකු වශයෙනි.

සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුතු එම පවුලෙහි සිව්වැන්නා වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. ඔහු 1954 නොවැම්බර් මාසයේ 26 වැනි දින උපන්නේ වැල්වැටිතුරෙයිහිදීය. මුහුදුකරයේ වෙල්ලාල කුලයට ඔහු අයත් විය.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා වූයේ මනෝකරන් වේලුපිල්ලේය. (1948) ඔහුගේ බිරිය වනජාදේවිය. වැඩිමහල් සහෝදරි ජෙගදිස්‌වරිය (1949) ඇගේ සැමියා මාතියාපරණම්ය. දෙවැනි සහෝදරිය විනෝදනීය. (1952) ඇයගේ සැමියා රාසේන්දිරන්ය.

කොටි සංවිධානයේ සෙසු නාඹරයන්ට විවාහවීමට ඉඩ නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්‌තෝබර් මස 01 වැනිදා විවාහ විය. තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී ඔවුන්ගේ විවාහය සිදුකෙරිණි. ඔහුගේ භාර්යාව වූයේ වී. කේ. එරම්බු සහ සින්නම්මා යුවළගේ රූමත් දියණිය මදිවදනීය.

ප්‍රභාකරන් මදිවදිනි යුවළට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා 1985 අප්‍රේල් 18 වැනිදා උපන් චාල්ස්‌ ලුකස්‌ ඇන්තනීය. පවුලේ දෙවැනියා ද්වාරගා දියණියයි. ඇය 1986 ජුනි මස 2 වැනිදා උපන්නීය. බාලචන්ද්‍රන් පවුලේ බාලයාය. ඔහු 1996 ජනවාරි මස 10 වැනිදා උපන් අයෙකි.

රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළේය. ඔහුගේ දරුවන් අධ්‍යාපනය හදාරේ ද ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදෙස්‌ උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට ද ප්‍රභාකරන් සමත් විය. පියාට ලැබුණු රැකියා ස්‌ථාන මාරුවක්‌ නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයෝ අවුරුදු දෙකක්‌ම මඩකලපුවේ ජීවත් වූහ. එම නිසා දෙවැනි ශ්‍රේණිය දක්‌වා එහි පාසලකට ගොස්‌ අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදුවිය.

ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. ඔහු සිදු කළේ දඩබ්බරකම්ය. නාහෙට නාහන හිතුවක්‌කාරකම්ය. බිත්තරවල කුඩා සිදුරක්‌ සාදාගෙන නිවසේ කුකුළු කොටුවේ බිත්තර බීවේය. හිස්‌ වූ බිත්තර කටුව එහිම තැබීය. ටික කලක්‌ යනතුරු නිවැසියන් සිතුවේ එම බිත්තර කෘමියන් විසින් සිදුරු කොට බොන බවකි. එහෙත් සොරකම අතටම අසුවිය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. ඉඳහිට හෝ විනෝද වූයේ සරුංගල් යවමින්ය. ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියෑවුණු පොත්පත් ද කියෑවීය.

ප්‍රභාකරන්ට කුඩා කාලයේ "දුරෙයි" නමින් ද අමතන ලදී. දමිල බසින් එහි අරුත "රජු" වැදගත් මාපිය යුවළකගේ බඩපිස්‌සා වූ නිසා එලෙස හඳුන්වා ඇත.

බැංකු කොල්ලකෑම්, රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම ආදිය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ගමනේ මුල විය. වැල්වැටිතුරෙයි සිය උපන් ගමේදී ලංගම බස්‌රථයක්‌ ගිනි තබා ඔහු ජනප්‍රිය දෙමළ ජාතිවාදියකු බවට පත්විය. ලංගම බස්‌ ගිනි තැබුවද, 1973 ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති කළුපටි විරෝධතාවයට ඔහු සහභාගි වූයේ ද ලංගම බස්‌ රථයකිනි.

මෙම වැරදිවලට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ලද්දේ ප්‍රභාකරන් නොවේ කරිකාලන්ය. ඒ දවස ඔහු ජනප්‍රිය වී සිටියේ ඒ නමින්ය. 1972 ප්‍රභාකරන්ගේ මිතුරන් තිදෙනකු සමඟ කුඩා බෝම්බ තැනුවේය. ඉන් එකක්‌ පුපුරා ගොස්‌ ඔහුගේ දකුණු කකුල පිළිස්‌සී කළු පැහැ ගැන්විණි. එදින සිට ඔහු කරිකාලන් (කළු පාද ඇති මිනිසා) ලෙස ද ප්‍රසිද්ධ විය.

ආණ්‌ඩුවේ රැකියාවක්‌ සොයා ලබාගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ප්‍රභාගේ පියා කටයුතු කළේය. ඔහු ගුරුවරයකු ගෙදරට ගෙන්වා ප්‍රභාකරන්ට අධ්‍යාපනය ලබාදෙන ලදී. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුළින් යෑයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවේය. "ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවේත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹවූයේත් එම ගුරුවරයාය. "ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්තය" නමැති පොත රචනා කළ එම්. ආර්. නාරායන් ස්‌වාමිගේ එම කෘතියේ ප්‍රභාගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්ය. "කුප්‍රකට වඩුක්‌කෝඩෙයි" ප්‍රකාශය දෙමළ නායකයන් 40 ක්‌ 50 කගේ සහභාගිත්වයෙන් 1976 මැයි මස 5 වැනිදා එළිදක්‌වන ලදී. දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ.) නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්ය.

ද්‍රවිඩ ජනතාවගේ විමුක්‌තිය සඳහා යෑයි පිsහිටුවා ගත් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය එම ගමන ආරම්භ කළේ 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතා පන්නාලෙයි කෝවිල් බිමේදී ඝාතනය කරමින්ය. ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් (කරිකාලන්) විසින්ය. එල්. ටී. ටී. ඊ. සංවිධානය පිහිටුවීම නිසා ප්‍රභාකරන්ට මිතුරන් පිරිසක්‌ හඳුනාගත හැකි විය. දක්‍ෂ කථිකයෙක්‌ හා වෘත්තියෙන් මිනින්දොරුවෙක්‌ වූ උමා මහේෂ්වරන් ඉන් එක්‌ පුද්ගලයෙකි. එල්. ටී. ටී. ඊ. ආරම්භක සභාපති වූයේ ද ඔහුය. ඔහු දෙමළ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද චතුර ලෙස කතා කළේය. ප්‍රභාට වඩා අවුරුදු 10 කින් වැඩිමහල් විය. උමරාගේ පෙම්වතිය උදුර්මිලා දේවිය, ඇය නෙල්ලිප්පලෙයි පදිංචිකාරියකි. උමා සහ උර්මිලා විවාහ වෙනවාට ප්‍රභා අකමැති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුකාලීනව උමා මෙන්ම උර්මිලාද, ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත්විය. 1979 ප්‍රභා එල්. ටී. ටී. ඊ. නායකයා බවට පත්වූයේ එම ඝාතන සිදුකරමින්ය.

ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් මුණගැසුණේ 1979 වසරේදී මදුරාසියේදීය. බාලසිංහම්ගේ ශ්‍රී ලාංකීය බිරිය මියගිය පසු ඔස්‌ටේ්‍රලියානු ඇඩෙලරා සමඟ විවාහ වී ලන්ඩනයේ විසූහ. ඔහු කලක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ද සේවය කළේය. 1978 දී එල්. ටී. ටී.ඊ. ය වෙනුවෙන් ඔහු ලියූ "සමාජවාදී ඊළාමයක්‌ කරා" (ඔදආරාs Sදජස්‌කසිඑ Eaක්‌ප) ලිපිය කියවූ ප්‍රභාකරන්aට ඇන්ටන් බාලසිංහම් පිළිබඳ උනන්දුවක්‌ ඇතිවිය. ඔවුන් දෙදෙනාගේ හමුවීමට මුල් වූයේ එම ලිපියයි.

කිට්‌ටු හෙවත් සතාසිවන් ක්‍රිෂ්ණකුමාර් ප්‍රභාගේ පාසල් මිතුරෙකි. මහත්තයා ඩිලන්, ෙච්ට්‌මිද ඔහුගේ ගජ මිතුරෝ වූහ. ප්‍රභාකරන් වැඩිපුර ප්‍රිය කළේ රිවෝල්වරයක්‌ හෙවත් කුඩා පිස්‌තෝලයක්‌ භාවිත කිරීමටය. ඔහු වෙඩි තැබීමට දක්‍ෂයකු වූ බව කියෑවේ. ඔහු දක්‌ෂයකු වූයේ තනියම ඉගෙන ගෙනය. ලන්ඩනයේ පළවූ "වෙඩි තබන්නට ඔබ ඉගෙන ගන්න" (ඔeaජය ශදමිeකෙ Sයදදඑසබට) කෘතිය ඒ සඳහා ඔහුට ප්‍රබල රුකුලක්‌ විය. ප්‍රභාකරන් පිස්‌තෝලයක්‌ මුලින්ම මිලට ගත්තේ ඉතා අමාරුවෙනි. ඒ 70 දශකයේ මුල් කාලයේය. ඔහුට අටදෙනකුගෙන් යුතු කල්ලියක්‌ සිටියහ. පිස්‌තෝලයක්‌ මිලට ගැනීම ඔවුනගේ මූලික අරමුණ වූහ. ඔවුන් හැම මාසයකම ප්‍රභාට රුපියල් 25 බැගින් ලබාදී ඒ සඳහා මුදල් ඉතිරි කළහ. ඔවුන්ගේ මුදල් එකතුව රුපියල් 40 ක්‌ විය. ප්‍රභා සිය සහෝදරියගේ මඟුල් මුද්ද හොරෙන් විකුණා රුපියල් 70 ක්‌ ලබාගත්තේය. යාපනයේ මැරයකුගෙන් රුපියල් 150 කට රිවෝල්වරයක්‌ මිලට ගැනීමට එම පිsරිස එලෙස ක්‍රියා කළහ.

ප්‍රභාකරන් තම සාමාජිකයන්ගේ ගෙලෙහි සයනයිඩ් කරලක්‌ එල්ලුවේය. ඔහු ඒ සඳහා ආභාශය ලැබුවේ සිවකුමාර් නමැත්තකුගෙනි. ඔහු යාපනයේදී ඇමැතිවරයකුද, නගරාධිපති ඝාතනයට ප්‍රභාට සහය වූවෙකි. යාපනයේ බැංකුවක්‌ කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුහුබඳින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයනයිඩ් කරලක්‌ ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණේය. ප්‍රභාකරන් ආදර්ශයට ගත්තේ එම සිදුවීමය.

ප්‍රභාකරන් ඉන්දියාවට පැන ගියේ 1981 ජුනි මාසයේදීය. ඔහු එහිදී ඉන්දීය අත්අඩංගුවට පත්විය. එහිදී අවි පුහුණුව ලැබීමට ද ඔහුට හැකිවිය. විවාහයද ඉන්දියාවේදී සිදුකෙරිණි. එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ත ප්‍රහාරයක්‌ පළමු වරට එල්ල කළේ 1983 ජූලි මස 23 වැනිදාය. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංදියේදී ගසක සිට එල්. ටී. ටී. ඊ. කාඩරයකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ. ප්‍රභාකරන්, කිට්‌ටු, රන්ජන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට සහභාගි වූහ. ඉන්පසු ඔවුහු එම ස්‌ථානය තමන්ගේ අමරණීය ස්‌ථානයක්‌ ලෙස සලකා සිහිවටන ඵලකයක්‌ ද ඉදි කළහ. පසු කලක එය කඩා බිඳ දමා ඇති අයුරු එම ස්‌ථානයේදී දැකගත හැකිවිය. එම සොල්දාදුවන් ඝාතනය නිසා සුප්‍රකට කළු ජූලිය ද ඇතිවිය.

දශක තුනක්‌ තිස්‌සේ ලක්‍ෂයකට අධික මිනිස්‌ ජීවිත බිලිගත් කොටි සංවිධානයේ ප්‍රධානියා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එම ක්‍රියාදාමයන් අද දවසේ වැදගත් වෙයි. ඒ ඒවා ආදර්ශයට පාඩම් ලෙස සිතමින් ත්‍රස්‌තවාදයෙන් මිදුණු සාමයෙන් පිරුණු ලොවක ජීවත් වන්නටය. ප්‍රභාකරන් විසින් වපුරන ලද ත්‍රස්‌තවාදය අද නැත. ජනතාව නිදහසේ ජීවත් වෙයි. එහෙත් තවමත් වන්නිය යථා තත්ත්වයට පත්ව නැත. මේ යුද්ධයෙන් පසු එළඹෙන ප්‍රථම වර්ෂ පූර්ණයයි. එය රටට සිහිපත් කළ යුතු ඓතිහාසික විජයග්‍රහණයකි. එහෙත් යුද්ධයෙන් විනාශ වී ගිය බොහෝ දේ තිබෙන බව ද අප මතක තබාගත යුතුය. යුද්ධයට කැප වූ රණවිරුවන්ගේ ප්‍රශ්න ද තිබේ. ඔවුන්ට ද අලුත් ජීවිත ලබාදිය යුතුය. ඒ අතරම දෙමළ ජනතාව ගැන ද විශේෂයෙන් බැලිය යුතුය. නැත්නම් යළිත් දෙමළ තරුණයන් නොමඟ යෑවීමට ඉඩ තිබේ.

දෙනගම - ධම්මික රණවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.