පරිසරය වෙනුවෙන්  අපට කළ හැකි දේ

මිහිතලය මත ජීවත් වන විවිධ වූ සත්ත්ව කොට්‌ඨාස අතර දියුණු යෑයි සම්මත මිනිසා විසින් මිහිතලයට කරනු ලබන හානිය වෙනත් කිසිදු සත්ත්ව කොට්‌ඨාසයක්‌ වෙතින් සිදු නොවන්නකි. මෙම ස්‌වභාවය අනුව මිනිසාගේ මානසික දියුණුව, මිනිසා ඇතුළු සමස්‌ත සත්ත්ව ප්‍රජාවගේම විනාශය තීන්දු කිරීමට තරම් හේතු වන්නක්‌ වීද යන ප්‍රශ්නය වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රබල ප්‍රශ්නයක්‌ වේ. 2012 දී ලෝක විනාශයක්‌ පිළිබඳව යම් යම් පුරෝකථනයන් මේ වන විට දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය තුළ වාර්තා වෙමින් පවතී. ඒවා සෑම එකකම මෙන් අවධාරණය කරනුයේ මිනිසා විසින් කරන පාරිසරික ව්‍යසනයන් අනාගත ලෝක විනාශයට හේතු වන බවය. මේ පිළිබඳව ලෝකයේ බලවත් රාජ්‍යයන් ඇතුළු රටවල් 115 ක නායකයන් සහභාගි වූ ලෝක දේශගුණික වෙනස්‌වීම් කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු වූ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති අන්තර් ජාතික දේශගුණ වෙනස්‌වීම් පිළිබඳ සමුළුවේදීත්, පසුගියදා භූතානයේ තිම්පු නුවර පැවැති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුවේ 16 වැනි සාර්ක්‌ සමුළුවේදීත් අවධාරණය වූ ප්‍රධාන මාතෘකාවක්‌ වූයේ මිනිසා විසින් පරිසර විනාශයට කරන බලපෑම් නතර කිරිම පිළිබඳවය. වත්මන් ලෝකවාසීන්ට පරිසරයේ විවිධ වූ අහිතකර බලපෑම් දැඩිව දැනෙන්නට වීම ඊට හේතුවයි. ලෝක විනාශයක්‌ පිළිබඳව කියෑවෙන ඇතැම් කතා බොහෝ විට අතිශෝක්‌ති ප්‍රකාශ ලෙස පෙනුනත් මේවායින් මතුවන කරුණු කිසිසේත් නිශේධනය කොට දැක්‌විය නොහැක. ඒවා අවතක්‌සේරු කිරීමට ද නොහැකිය. ලෝකවාසීන් වන අප හමුවේ මෙවැනි ප්‍රබල පාරිසරික අනතුරුදායක තත්ත්වයක්‌ පවතින බව අවධාරණය කරමින් මෙම ලිපිය මගින් අවධානය යොමු කරනුයේ අපේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින පාරිසරික ව්‍යසනයන් වළක්‌වාලීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳවය.

ලෝක භූ දේශපාලන සංකල්පය මත සලකා බලන විට අවකාශීය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා කුඩා රාජ්‍යයක්‌ වුවත් පාරිසරිකමය වශයෙන් අප හිමිකම් කියන භූමිකාව සුවිශාල එකකි. එහි පාරිසරිකමය වශයෙන් පවත්නා පොහොසත්කම ඊට හේතුවයි. මධ්‍යම කඳුකරයෙන් පටන් ගෙන සමස්‌ත රට පුරාම අරිය ජලවහන රටාවක්‌ නිරූපණය කරමින් ගලා බසින ගංගා ෙද්‍ර`ණි 103 මගින් මෙරට පස පෝෂණයට ලබා දෙන දායකත්වය අමිලය. ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් හා අන්තර් මෝසම් මගින් ලබාදෙන වර්ෂාපතනය ද සශ්‍රීකත්වයේ අවියෝජනීය සාධකයන් ය. ශාක හා සත්ත්ව ප්‍රජාවන් මගින් නිරූපණය කරන ජෛවීය විවිධත්වය ද ලොව සුවිශේෂී වාර්තාවන් අතර පවතී. මෙරට තෙත් වනාන්තර, වියළි වනාන්තර, කඳුකර වනාන්තර මෙන්ම සැවානා වැනි පරිසර පද්ධතිවල පවත්නා ඖෂධීය ශාක පාරිම්පරික වෙදකමත්, ආයුර්වේද වෙදකමත් පෝෂණය කරන අමිල දායාදයෝ වෙති. කිසිදු වග විභාගයකින් තොරව මේවා විනාශ කිරීමේ කූට ව්‍යාපාරයන් විවිධ මානයන්ගෙන් යුක්‌තව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

අපේ මාතෘ භූමියේ පවතින මේ ස්‌වභාවික සම්පත්වල වටිනාකම් අවබෝධ කර ගනිමින් ඒවා රැක ගැනීමට අවශ්‍ය සංරක්‍ෂණවේදී, ඕනෑකමින් කටයුතු කිරීමක්‌ ඇතැම් පිරිස්‌ වෙතින් දක්‌නට නොවීම අද්‍යතනයේ දක්‌නට ලැබෙන අභාග්‍යකි.. නූතන ජනමාධ්‍යන්හි දෛනිකව වාර්තා වන බොහෝ ප්‍රවෘත්ති අතර පරිසර විනාශයන් පිළිබඳව වන ප්‍රවෘත්ති වැඩි වශයෙන් පළවීම අත්දකින්නට ලැබේ. පසුගිය කාල අවකාශය තුළ වරින් වර වාර්තා වන එවැනි පුවත් දෙස අවධානය යොමු කරන විටදි යම් යම් ක්‍ෂේත්‍රයන්හි පරසර ව්‍යසනයන් බහුලව වාර්තාවීම දක්‌නට ලැබේ. පසුගිය සති දෙකක පමණ කාලයක සිට අපට අසන්නට ලැබුණ පාරිසරික ව්‍යසනයන් අතර,

කෙහෙල්ගමු ඔයේ අනවසර මැණික්‌ ගැරීම

සෝමාවතී වනෝද්‍යානය තුළ සිදුකෙරෙන දැව සංහාරය සහ සත්ත්ව දඩයම

අනවසර වැලි ගොඩදැමීම මගින් සිදු කරන ගංගා ඉවුරු විනාශය

වැහිලිහිණිකූඩු කඩා අලෙවියට කටයුතු කිරීම

සාමාන්‍ය වර්ෂාවකදී පවා ගම් - බිම් යටවීම සහ නාය යැම් ආදිය ප්‍රධාන වශයෙන් දැක්‌වීමට හැකිය.

මේ රටේ ජාතික ආර්ථිකය පෝෂණය කිරීම උදෙසා සෘජු දායකත්වයක්‌ සපයන කර්මාන්තකරුවන් හෙවත් ව්‍යාපාරික ප්‍රජාවන් අතර ඇතැම් පිරිස්‌ පරිසර විනාශය වෙනුවෙන් කරන්නා වු දායකත්වය අති මහත් ය. තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය විසින් දෛනිකව ජනිත කරන අපද්‍රව්‍ය ක්‍රමවත් කළමනාකරණ වැඩපිළිවෙළකට බඳුන් කරන්නේ නැතිව පරිසරයේ විවිධ ස්‌ථානවලට දැමීම කරති. මෙය ඉතා ව්‍යසනකාරී වනුයේ මෙලෙස යම් කර්මාන්ත ක්‍රියාවලියක්‌ මගින් බැහැර කරන අපද්‍රව්‍යයන් අතර උපද්‍රවකාරී හෙවත් විනාශකාරී අපද්‍රව්‍ය ද තිබිය හැකි වීමයි. ජලයට, පසට, වායු ගෝලයට මෙන්ම මිනිසා ඇතුළු සමස්‌ත ජීවී පද්ධතියටම මේවා මගින් ව්‍යසනකාරී තත්ත්වයන් ඇති වීමට පවතින ඉඩකඩ වැඩිය. කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ඇතැම් කර්මාන්තකරුවන් රාත්‍රි කාලයට තමන්ගේ කර්මාන්ත ක්‍රියාවලිය විසින් ජනිත කරන විවිධ ස්‌වභාවයේ වූ අපද්‍රව්‍ය හිස්‌ ඉඩම්, පාළු ඉඩම්, ගංගා ඉවුරු හා තෙත් බිම් ආදී ස්‌ථානයන් වෙත බැහැර කර තිබෙනු බොහෝ අවස්‌ථාවන්හිදී අපට දැක ගත හැකිය. මෙය මනුෂ්‍යත්වයට නොගැලපෙන ඉතා පහත් ක්‍රියාවක්‌ වශයෙන් අවධාරණය කළ යුත්තේය.

යම් කර්මාන්ත ක්‍රියාවලියක්‌ මගින් ජනිත කරන අපදියර නිසි පාරිසරික ප්‍රමිතීන් යටතේ පිරිපහදු ක්‍රියාවලියකට යටත් කොට පරිසරයට මුදාහැරීම පවතින පරිසර නීතියයි. එහෙත් ඇතැම් කර්මාන්තකරුවන් හොරා පොලිස්‌ ක්‍රීඩාවේ යෙදෙමින් පිරිපහදු පද්ධති සවිකර තිබුණත් එය ක්‍රියාත්මක නොකර රාත්‍රි කාලයට, විශේෂයෙන් වර්ෂා සහිත අවස්‌ථාවන්හිදී මෙම අපදියර ආශ්‍රිත පරිසරයට මුදාහැරීම සිරිතක්‌ කරගෙන පවතී. මෙය ඉතා බරපතල වරදකි. තමන්ගේ ආර්ථික ලාභය ගැන පමණක්‌ සිතමින් මෙවැනි ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණවීම තුළ සිදුවන්නේ දිගු කාලීන වශයෙන් සමස්‌ත සමාජයටම වන්දි ගෙවන්නට සිදුවීමයි. මේ නිසා ප්‍රදේශයේ පරිසරයම දුගඳින් පිරී යමින්, ඉතා අවලස්‌සන හා පීඩාකාරී වටාපිටාවක්‌ නිර්මාණය කිරීමකි. පරිසරයට මෙවැනි වින කරමින් ලබන ආර්ථික වටිනාකම්හි පවත්නා නෛසර්ගික අගය කුමක්‌ද? අප ජීවත්වන වර්තමාන සමාජය තුළ මේ වැනි වංචනිකයන් ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ පරිසරයට වින කරමින් සිටී. මෙවන් මිනිසුන් පිළිබඳව අපේ ගීත සාහිත්‍යය තුළින් ප්‍රබල සන්නිවේදනයක්‌ සමාජගත කළ අවස්‌ථාවක්‌ ද මෙහිදී මගේ මතකයට නැගේ. වසන්ත කුමාර කොබවක ශූරීන් විසින් රචිත, රෝහණ වීරසිංහ සංගීතවේදියාණන් සංගීතවත් කළ, සුනිල් එදිරිසිංහ ශිල්පියාණන් ගායනා කරන මේ ගීතය දැක්‌විය හැකිය.

ගුරුළු වෙස්‌ දරා - ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා - හොරෙන් සිල් බිඳලන්නා
මලක රොන් වරා - මලේ රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස්‌ වෙසින් සිටින්නා

රටේ ජාතික ආර්ථික පෝෂණය කරන්නන් ලෙසින් පෙනී සිටිමින් පරිසර විනාශයට කටයුතු කරන මෙවන් මිනිසුන් වංචනිකයන් හැර අන් කවරෙක්‌ද? තමන්ගේ කර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී අයුරින් සිදු නොකිරීම යනු තවදුරටත් මේ ජීවී ලෝකයේ ආයුෂ අඩු කිරීමට දායක වීමක්‌ වන්නේය. තමන්ගේ මෙන්ම ජාතියේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තමන් විසින් කටයුතු කිරීමක්‌ වන්නේය. ජීවත් වීමට සුදුqසු සුවදායී පරිසරය විනාශ කිරීමට කිසිවෙකුට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් හෝ ඉඩක්‌ ඇත්තේ නැත. මිනිසා ඇතුළු සමස්‌ත ජීවී ලෝකයටම අයත් ජීවත්වීමේ අයිතිය නැසීමට පියවර නොගත යුතුය.

මෙරට රාජ්‍ය ආයතනික ව්‍යqහය, රාජ්‍ය නොවන පරිසර සංවිධාන මෙන්ම ජාතික පරිසර නියමු වැඩසටහන හරහා මෙරට පාසල් පද්ධතිය ඉතා පුළුල් ලෙසින් පරිසර සංරක්‍ෂණයට විවිධ මට්‌ටම් යටතේ උර දී සිටී. ඒවායේ විවිධ අඩු පාඩු පවතිනවා විය හැක. එහෙත් යම් මට්‌ටමකින් පරිසර සංරක්‍ෂණය උදෙසා අවංකව හා දූරදර්ශීව කටයුතු කරමින් පවතී. ඒවාට අනුගත වෙමින් මේ රටේ පරිසරය සුරැකීමට දායක වීමට විවිධ පරිමාණ වූ කර්මාන්තකරුවන් මෙන්ම සිවිල් පුරවැසියන් වන අප සියලු දෙනාම කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. පරිසර සංරක්‍ෂණය පිළිබඳ නිවැරැදි ආකාරයෙන් දැනුවත් වී අන්‍යයන්ට ආදර්ශවත් අයුරින් තමන්ගේ කර්මාන්ත ක්‍රියාවලීන් පවත්වා ගෙන යා යුතු වේ. ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමේදී ආර්ථික අතින් ශක්‌තිමත් වනවා සේම පාරිසරිකමය වශයෙන් ද උසස්‌ තලයකට යා යුතු වේ. තිරසාර සංවර්ධනයක අරමුණු සාක්‌ෂාත් වනුයේ එවැනි පසුබිමක සිදුවන සංවර්ධනයකින් පමණක්‌ බව මෙහිදී අවධාරණය කළ යුතුය.

වංචනිකයන් වෙමින් පරිසරය විනාශ කිරීමට ඇතැම් පිරිස්‌ කටයුතු කරන අතර සැබෑ ලෙසින් පරිසරය සුරැකීමේ අගය අවබෝධ කරගත් ව්‍යාපාරික ප්‍රජාවක්‌ ඇතුළු සිවිල් පුරවැසියන් විශාල පිරිසක්‌ සිටින බව ද අප අමතක නොකළ යුතු වේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන සමාගමක්‌ තමන් දැනට වායුගෝලයට තම කර්මාන්ත ක්‍රියාවලිය විසින් මුදාහරින කාබන් ප්‍රමාණය 25% කින් අඩු කිරීමට කටයුතු කරන බව පසුගියදා වාර්තා විය. මෙය ඉතා අගය කළ යුතු කාර්යයකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමට සෘජු දායකත්වයක්‌ දක්‌වන කාබන් දහනය හැකි පමණකින් අඩු කිරීමට පියවර ගැනීම කාලෝචිත පරිසර හිතකාමී පියවරක්‌ වේ. මෙලෙස වත්මන් පරිසර අභියෝග පිළිබඳව නිවැරදි අයුරින් දැනුවත් වී ඒවා පිළිබඳව නිසි තක්‌සේරුවකින් කටයුතු කරන ආයතනයන් තව තවත් දිරිමත් කිරීම යුගයේ කාර්යභාරයකි.

අපේ යුතුකම

ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් තවදුරටත් පරිසර විනාශයට හේතුවන කිසිම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට අපි වග බලා ගත යුතුය. ලෝකයේ විවිධ රටවල් දෙස බලන විට ජීවත්වීමට සුදුසු මේ තරම් සුන්දර පරිසරයක්‌ සමග කාලගුණික, දේශගුණික වාතාවරණයක්‌ සහිත රටවල් ඉතා විරලය. මිනිසත් බව ලැබීම ඉතා දුර්ලබ වාසනා ගුණයක්‌ වගේම ශ්‍රී ලංකාව වැනි රටක ජන්ම ලාභය ලැබීමත් එතරම් ම වාසනා ගුණයක්‌ වන්නේය. ගෝලීය සමාජයක්‌ පිළිබඳව කතා කරන වර්තමානයේ මේ තත්ත්වයන් පිළිබඳව යථාර්ථවාදීව අවබෝධ කර ගත යුතුය. බීමට ජලය නැති සිංගප්පූරු ජාතීන් මලයාසියාවෙන් ජලය ගෙනැවිත් පිරිසිදු ජලය පානය කරති. ලංකාවේ අපි ස්‌වාභාවිකව ලැබී ඇති පිරිසිදු ජල මූලාශ්‍ර දූෂණය කරමින් අපිරිසිදු ජලය පානය කිරීම දක්‌වා ගමන් කරමින් පවතී. මෙවැනි තත්ත්වයන් පිළිබඳව අපි යම් යම් ආයතනයන් වෙත ඇඟිල්ල දිගු කර අපේ යුතුකම් පැහැර නොහැරීමට වගබලා ගත යුතුය. අපේ දෛනික ජීවිතය පරිසර හිතකාමී ආකල්පවලින් පෝෂණය කර හැඩගස්‌වා ගැනීම කාලෝචිත අත්‍යවශ්‍ය පියවරක්‌ වේ. ඒ සඳහා සිවිල් පුරවැසියන් වශයෙන් මෙන්ම ව්‍යවසායකයන් වශයෙන් අප ක්‍රියාත්මක විය යුතු ආකාරයන් මෙසේ සම්පිණ්‌ඩනය කළ හැකිය.

දෛනිකව එකතු වන ගෘහස්‌ථ අපද්‍රව්‍ය නිසි කළමනාකරණ ක්‍රමවේදයකට යොමු කරවීම. මෙහිදී නිවෙස්‌වල මුළුතැන්ගෙයින් ඉවත දමන දිරාපත් වන අපද්‍රව්‍ය මගින් කොම්පෝස්‌ට්‌ පොහොර නිපදවා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුන්වා දී ඇති කොම්පෝස්‌ට්‌ බැරලයක්‌ භාවිත කළ හැකිය. එමෙන්ම දිරාපත් නොවන අපද්‍රව්‍ය සම්පත් පියස මධ්‍යස්‌ථාන වෙත මෙන්ම ඒවා මිලදී ගන්නා ආයතන වෙත ලබාදිය හැකිය.

යම් කර්මාන්තකරුවකු මෙතෙක්‌ පරිසර ආරක්‍ෂණ බලපත්‍ර ක්‍රියාවලියට අවතීර්ණ වී නොමැති නම් හෝ යම් ව්‍යවසායකයකු නව කර්මාන්ත ක්‍රියාවලියක්‌ ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් සිටින්නේ නම් එය ආරම්භ කිරීමට ප්‍රථම පරිසර ආරක්‍ෂණ බලපත්‍ර සඳහා අයෑදුම් කර නිසි පාරිසරික ප්‍රමිතීන් යටතේ එය ක්‍රියාත්මක කිරීමට පෙළඹීම.

ආයතන හා නිවෙස්‌ මට්‌ටමින් දෛනිකව එකතු වන විද්යුත් අපද්‍රව්‍ය අතර ඇතැම් ඒවා උපද්‍රවකාරී අපද්‍රව්‍ය විය හැකි බැවින් ඒවා තැන් තැන්වල නොදමා නිසි හානිදාdයක නොවන ක්‍රමවේද යටතේ බැහැර කිරීමට කටයුතු කිරීම.

උදාහරණ - භාවිතයෙන් ඉවත ලන ජංගම දුරකථන හා බැටරි එකතු කර ප්‍රතිචක්‍රීයකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා ඩයලොග් ටෙලිකොම් ආයතනය ඇතුළු දුරකථන සමාගම් ඒකාබද්ධ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ඔබ විසින් භාවිතයෙන් පසු ඉවත දමා ඇති එවැනි උපකරණ මධ්‍යම පරිසර අධිකාරියේ දිස්‌ත්‍රික්‌, පළාත් කාර්යාල සහ ප්‍රධාන කාර්යාලයේත්, ඩයලොග්, ටෙලිකොම් සමාගමේ සියලුම කාර්යාලවලත් තබා ඇති අදාළ බහාලුම් වෙත යොමු කළ හැකිය. ඉදිරියේදී මේවා විශ්වවිද්‍යාල, බැංකු, මාධ්‍ය ආයතන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ආයතන වෙත ද හඳුන්වා දීමට කටයුතු කෙරේ.

භාණ්‌ඩ නිෂ්පාදන සමාගම්, ආයතන, නිවාස ආදී සෑම මට්‌ටමකම සිටින කර්මාන්තකරුවන් මෙන්ම පුද්ගලයන් පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලියක්‌ යටතට තම නිෂ්පාදන ක්‍රියාවලීන් යොමු කරවීම. මෙමගින් අදහස්‌ වනුයේ අපද්‍රව්‍ය හෝ අපදියර වශයෙන් කිසිවක්‌ පරිසරයට නොදමා ඒ සෑම දෙයක්‌ ම නිෂ්පාදන ක්‍රියාවලියේ අමුද්‍රව්‍යයක්‌ ලෙස භාවිතයට ගැනීමයි. මෙමගින් සිදුවනුයේ අපතේ යැම් ඉතා අවම වීමයි. ආදායම් ඉහළ යැම සමඟ අමුද්‍රව්‍ය වශයෙන් භාවිතයට ගන්නා ස්‌වාභාවික සම්පත් ප්‍රශස්‌ථ භාවිතයට යොමුවීමයි. නාස්‌තියෙන් තොර නිෂ්පාදන ක්‍රියාවලිය හෙවත් සුපිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලිය වශයෙන් හඳුන්වන්නේ මෙයයි.

මෙවැනි ක්‍රියාමාර්ග ඔස්‌සේ සිවිල් පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාත්, ජාතියේ ජීවනාලිය බඳු කර්මාන්තකරුවනුත් පරිසරයට කිසිදු හානියක්‌ නොවන පරිදි පරිසර හිතකාමී පුරවැසියන් ලෙස අපේ මාතෘ භූමියේ පරිසරය රැක ගැනීමට දායකත්වය දැක්‌විය යුතුය.

සුනිල් උඩුකල
සහකාර අධ්‍යක්‍ෂ
මධ්‍යම පරිසර අධිකාරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.