ජල සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාව

මානව ඉතිහාසය, විකාශන අවධිය තුළ ජලාශ්‍රිත ශිෂ්ටාචාර කිහිපයෙන් එකක්‌ ලෙසටත්, අසමසම වාරි තාíණයේ හිණි පෙත්තටම නැඟි රට ලෙසටත් බිහි වූ ශ්‍රී ලංකාව අද වනවිට වෙනදාටත් වඩා බැරෑරැම් ලෙස "ජල අර්බුදයකට" මුහුණ දී සිටී. ඇතැම් වියළි කලාපීය ප්‍රදේශ "නියඟයෙන්" පීඩා විඳින අතරතුර, ගම්පහ කොළඹ, කළුතර, ගාල්ල දිස්‌ත්‍රික්‌ක වල පහත් බිම් ප්‍රදේශ "ගංවතුරෙන්" ගිල ගනිමින් තිබේ.

විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන විට ශ්‍රී ලංකාද්වීපයට වසරක්‌ තුළ සාමාන්‍යයෙන් ලැබෙන ඝන මීටර් මිලියන 130 ක පමණ වර්ෂාපතනය අසමානව ලැබේ. එමෙන්ම වියළි කලාපයට ලැබෙන වර්ෂා ජලයෙන් 35% ක්‌ මුහුදට ගලා යන අතර, තෙත් කලාපයට ලැබෙන වර්ෂා ජලයෙන් 65% ක්‌ අදටත් මුහුදට ගලා බසී. තවද කෙතරම් වර්ෂා ජලය ලැබුණත් මාස 3-4 ක කාලගුණික නියඟයකින් පසුව නැවතත් මෙරට "කෘෂි ජල සම්පාදනයේ" අර්බුදයකට හෝ පානීය ජල අර්බුදයකට වාර්ෂිකව මුහුණපාන බව නොරහසකි.

තවද මෙරට වියළි කලාපයට මිලිමීටර් 1500 කට ආසන්න වාර්ෂික වර්ෂාපතනයක්‌ ලැබෙන අතර, එය උතුරු අප්‍රිකානු රටවලට සාපේíව ගතහොත් තෙත් කලාපීය වර්ෂාපතන ස්‌වභාවයකි. එහෙත් අප උග්‍ර ජල අර්බුදයකට වාර්ෂිකව නතු වන්නෙමු. ඒ අනුව මෙම ලක්‌ දෙරණට ලැබෙන ජල සම්පත් මනා ලෙස අප "කළමනාකරණය කරන්නේදැයි නැවත වරක්‌ සිතා බැලීම වටී.

ලොව පුරා පවතින ජල අර්බුදයෙන් දිනපතා ළමුන් 3800 ක්‌ මියයන වතාවරණය තුළ, ලොව පුරා බිලියන 1.1 ක ජනතාවකට අවම ජල අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි පසුබිමකදී, ප්‍රමාණවත් ජලයක්‌ ලැබ, අප ද ජල අර්බුදයකට ගොදුරු වෙමින් සිටී.

එමෙන්ම දළ වශයෙන් ජාතික ආදායමෙන් 20% ක්‌ පමණ නියෝජනය කරන, සේවා නියුක්‌තියෙන් 33% පමණ ආවරණය කරන, මෙරට කෘෂි අංශයට ලැබී ඇති අවධානය ප්‍රමාණවත් දැයි නැවත වරක්‌ සිතා බැලිය යුතුය. කන්ද උඩරට එළවළු ගොවියාගේ සිට වියළි කලාපීය ගොවියා දක්‌වාම සලකා බලන විට, ඔවුනගේ බඩපොත්ත හැකිලෙන්නේ නියඟයේ කර්කශතාවටම නොව, මිය යන බහුවාර්ෂික බෝග හෝ කන්න බෝග නිසාත්, වියදම් කාරී ලෙස ජලපොම්ප භාවිත කරමින් තම වගාබිම් ආරídකර ගැනීමට යත්න දැරීම නිසාත්ය. ඒ අනුව මේ රටේ හරි අඩක්‌ ජනතාවගේ ජීවන තත්ත්වය උස්‌පහත් වීමට, ලැබෙන වර්ෂා ජලය හෝ තිබෙන භූතල හා භූගත ජලය කළමනාකරණය කිරීමේ තරම බෙහෙවින් තීරණාත්මක සාධකයක්‌ වන බව පෙනේ.

හාස්‍යයට කරුණ නම් ලොව දියුණුම වාරි ශිෂ්ටාචාරයක්‌ මෙන්ම උසස්‌ම වාරි තාíණයක්‌ පැවති මෙරටට තවමත් "විධිමත් ජල ප්‍රතිපත්තියක්‌" නොමැති කමයි. මෙරට ජල ප්‍රතිපත්තිය කරළියට ගෙන ඒමේ ක්‍රියාවලිය, එය ඕනෑවටත් වඩා මූල්‍යකරණය දෙසට නැඹුර වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, අතරමඟ නතර වී ඇති බව මොනවට පැහැදිලි වේ.

මේ අතරතුර ජනගහන වර්ධනය වැඩිවීමත්, අවශ්‍යතා වැඩි වීමත්, අවශ්‍යතා සංකීර්ණ වීමත්, කර්මාන්ත වැඩි වීමත්, කෘෂි කටයුතු තීව්‍ර වීමත්, සංචාරක හා සනීපාරíක සේවා සඳහා ඉල්ලුම වැඩි වීමත්, පාරිසරික අවශ්‍යතාව වැඩි වීමත් විසින් ගොඩ නගන ජල අවශ්‍යතාව මගින් "ජල ඉල්ලුම" වැඩි වෙමින් පවතී. මේ අතරතුර තිබෙන ජලය දූෂණය වීමත්, අවිධිමත් භාවිතයත්, නියඟ වැඩිවීමත් හේතුකොටගෙන වර්තමාන "ජල අර්බුදය" තව තවත් තීව්‍ර වෙමින් තිබේ. මේ නිසාවෙන් ජල අර්බුදය හරහා "ලාංකේය සමාජ - අර්ථික - පාරිසරික සංවර්ධනය", අභියෝගයට ලක්‌ වෙමින් පවතී.

එබැවින් මහාචාර්ය සී. එම්. මද්දුම බණ්‌ඩාර, මහාචාර්ය ඊ.ආර්.එන් ගුණවර්ධන, ආචාර්ය පී. බී ධර්මසේන ඇතුළු විද්වතුන් රැසක්‌ මෙන්ම මෙම ලිපියේ කතුවරයා විසින් ද කළ පර්යේෂණ/අධ්‍යයන වලින් පෙනී යන්නේ, මූල්‍ය කරණයට නැඹුරු නොවූ ජල ප්‍රතිපත්තියක්‌ හැකිතාක්‌ ඉක්‌මනින් මෙරටට හඳුන්වාදීම අත්‍යාවශ්‍ය බවයි.

ඊට අමතරව ජාතික මට්‌ටමින් සලකා බලන විට අදාළ ආයතන ශ්‍රී ලංකාවේ ජලසම්පත් කළමනාකරණයේ පහත කේෂ්ත්‍ර දෙස ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කොට තිබේ දැයි ගැටලුවකි.

තෙත් කලාපීය ගංගා, අතර මැදි හෝ වියළි කලාපීය ප්‍රදේශවලට හරවා යෑවීමට ඇති විභවතාවන් ගෙන් කෙතරම් ප්‍රමාණයක්‌ අප ප්‍රයෝජනයට ගෙන ඇතිද?

වියළි කලාපීය ගංගා හෝ වැව් පද්ධති වල එක්‌ රැස්‌වන ජලය කෙතරම් කළමනාකාරීත්aවයකින් අප භාවිත කරයිද?

වියළි කලාපය පුරා දැනට සක්‍රීයව පවතින, එහෙත් රොන්මඩ නිසා 40 - 60% කින් ධාරිතාව අඩු වී ඇති 12,000 පමණ වන කුඩා වැව් සමුදායේ නියමිත ධාරිතාව ප්‍රයෝජනයට ගෙන ජලය රැස්‌කර ගන්නේ කවදා ද?

දැනට අභාවයට ගොස්‌ ඇති කුඩා වැව් 4000 කට ආසන්න ප්‍රමාණය නැවත පුනර්ජීවන කිරීමට, තවමත් ප්‍රමාද ද?

තිරසාර වැව් පරිසර පද්ධති අංග ලíණයන් වන අවම තරමින් "ගස්‌ ගොම්මන" "පෙරහන" "කට්‌ටකඩුව" යන අංගයන්වත් නැවත පුනර්ජීවනය කිරීම සිදුවන්නේ කවදා ද?

නාගරික ජල පරිහරණයෙන් නාස්‌ති වන 20-30% තරම් වන ප්‍රමාණය නැති හෝ අවම වන්නේ කවදා ද?

අතරමැදි හෝ වියළි කලාපීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල "ඩොලර්" ප්‍රමාණවත් ලෙස පාංශු ජල සංරíණයට, භූගත ජල සංවර්ධනයට හෝ ඒකාබද්ධ ජල කළමනාකරණය දෙස යොමු වී තිබේද?

ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවල වර්ෂා ජලය, වාරි ජලය හෝ ඉඩම් පරිහරණය සම්බන්ධ රාජ්‍ය ආයතනයන්, පාංශු ජල සංරíණයට, භූගත ජල සංවර්ධනයට හා ජල කළමනාකරණ ප්‍රවේශයන් වලට (මූල්‍ය අගයකට පරිවර්තනය කිරීමට නොව කාර්යíම පරිහරණයකට) ප්‍රමාණවත් ලෙස අවධානය යොමු කොට තිබේද?

මේවාට පිළිතුරු ලැබිය යුතුය.

එසේ නොවුවහොත් විශිෂ්ට වාරි තාíණයක්‌ පැවති, ජෛව විවිධත්වයෙන් හා සොබා අලංකාරයෙන් අනූන මේ රටේ සමාජ-ආර්ථික-පාරිසරික සංවර්ධනය, ජල අර්බුදය හරහා නුදුරු දිනකදීම දැඩිs ලෙස අභියෝගයට ලක්‌ වනු නො අනුමානය.

මුදිත  ප්‍රසන්නජිත් පෙරේරා,
කථිකාචාර්ය,
භූගෝල විද්‍යා අංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.