|
|
|
|
|

සංස්‌කරණය : නාරද නිශ්ශංක
හිතන්නට බොහෝ දේ ඉතිරි කොට
සරත් රූපසිංහ නික්‌ම ගියේය
රන් මසුරන් කිරි ගරුඬ තලාවක....
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා - ආවා සොයා
ආවා සොයා ආදරේ
දෙසවන් වැසුවද - දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ
දිනිදා නැගෙනා සේ
ආවා සොයා - ආවා සොයා - ආවා සොයා ආදරේ
ලස්‌සන මල් දහසක් අතරෙන්
ඔබගේ දසුන පෙනෙයි
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනෙයි
මා ලයේ - කුළුදුලේ අනන්ත හැඟුම් මැවේ.. රන්මසුරන්....//
චිත්‍රපටය-ආවා සොයා ආදරේ
පබැදුම - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
ගායනය - ජෝතිපාල සහ ඇන්ජලින්
ශ්‍රී ලාංකේය සිනමාවට අතිශයින්ම ආදරය කළ ප්‍රේක්‍ෂක ආකර්ෂණය
දිනාගත් ජනප්‍රියම චිත්‍රපට පෙළක් නිෂ්පාදනය කළ සරත්
රූපසිංහයන් පසුගිය සතියේ සදහටම ජීවිතයෙන් සමුගෙන නික්‌ම ගියේය.
1972 අප්‍රියෙල් 07 වැනිදා මුල්වරට තිරගත වූ ලෙනින් මොරායස්
අධ්‍යක්‍ෂණය කළ "එදත් සූරයා අදත් සූරයා " සරත් නිෂ්පාදනය කළ
මුල්ම චිත්‍රපටයයි. ආරියරත්න කහවිට කතාව සහ දෙබස් ලියූ එම
සිනමා පටය ඇන්ටන් ග්‍රෙගරි සහාය අධ්‍යක්‍ෂණය කළ අතර එම්. කේ.
රොක්‌සාමි සංගීතවත් කළේය. ගාමිණී පොන්සේකා, මාලනී පොන්සේකා,
සේනාධීර රූපසිංහ, ඇන්තනි සී පෙරේරා, එච්. ඩී. කුලතුංග, බන්දු
මුණසිංහ, සම්පත් ශ්‍රී නන්දලෝචන, ලයනල් දැරණියගල, ශාන්ති ලේඛා,
පර්ල් වාසුදේවි, අලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු, එඩී ජූනියර්, බී.
එස්. පෙරේරා ආදී පිරිසක් එහි රඟපෑහ. සුදු පාට මීදුම්
ගලාලා... (ජෝති- ඇන්ජලින් පසුබිම් ගී ගැයූ) ජනප්‍රිය ගීත
රැසක් එදත් සූරයා අදත් සූරයා" නරඹද්දී අපට සිහිපත් වෙයි. එහි
ඇතුළත් ගීත අද පරපුර අතරත් අතිශයින්ම ජනප්‍රිය වී තිබේ. සරත්
ඉන් අනතුරුව 1973 අගෝස්‌තු 3 වැනිදා මුල්වරට තිරගත වූ, ලෙනින්
මොරායස් අධ්‍යක්‍ෂණය කළ "හොඳම වෙලාව" නිෂ්පාදනය කළේය. ගාමිණී
- මාලනී සමඟ විජය කුමාරතුංග, ශ්‍යාමා අල්ගම, ස්‌වර්ණා
මල්ලවආරච්චි, ඇන්තනි සී. පෙරේරා ආදීහු එහි රඟපෑහ.
ඇන්ටන් ග්‍රෙගරි සම අධ්‍යක්‍ෂණය කළ ආරියරත්න කහවිට දෙබස් ලියූ
"හොඳම වෙලාව" සංගීතය අධ්‍යක්‍ෂණය කරන ලද්දේ ද රොක්‌සාමි
විසිනි. 1975 අප්‍රියෙල් 12 වැනිදා මුල්වරට තිරගත වූ ලෙනින්
මොරායස් විසින් අධ්‍යක්‍ෂණය කළ ධර්මසිරි ගමගේ දෙබස් රචනා කළ
"ආවා සොයා ආදරේ" සරත් රූපසිංහයන් නිපද වූ අතිශයින්ම සාර්ථක
චිත්‍රපටයකි. සරත් දසනායකයන් විසින් සංගීතවත් කළ එම චිත්‍රපටයේ
ද ගාමිණී - මාලනි සමග එච්. ඩී. කුලතුංග, පියදාස විෙ-කෝන් රීටා
රත්නායක, ටෝනි රණසිංහ, බන්දු මුණසිංහ ආදිහු රඟපෑහ. 1978 මැයි
19 වැනිදා තිරගත වීම ඇරඹුණු "හිත මිතුරා" චිත්‍රපටයද සරත්
නිෂ්පාදනය කළේය.
ධර්මසිරි ගමගේ දෙබස් ලියූ සරත් දසනායක සංගීතවත් කළ එම
චිත්‍රපටයේ ගාමිණී සමඟ ශ්‍රියානි අමරසේන, රෙක්‌ස්,
ඇලෙක්‌සන්ඩර්, ටෝනි, ඇන්තනි සී ආදීන්ද රඟපෑහ. ලෙනින්ට "හිත
මිතුරා" අධ්‍යක්‍ෂණය කිරීම සරත් බාර කළේය. ජෝති - මිල්ටන්
පෙරේරා ගයන - උසී උසී නෝනේ මගේ ලිසී නෝනේ මොනවද ඕනේ කියා
දියල්ලා....// ගීතයද අතිශය ජනප්‍රිය වූවකි. ලතා, මිල්ටන් ගැයූ
දැලක් ඇදෙනවෝ... හිතක් පිරෙනවෝ. අපගේ ඔරු පාරු අරන්....."
ලොකු මාළු වැල්ල සොයා එනවෝ... ආදී එදා මෙදා එක ලෙස ජනප්‍රිය
ගීත කිහිපයක්‌ම එහි ඇතුළත් ය. සරත් රූපසිංහයන් නිෂ්පාදනය කළ හා
අධ්‍යක්‍ෂණය කළ එකම වර්ණ චිත්‍රපටය "සංඛපාලි" චිත්‍රපටයයි.
සරත් නිෂ්පාදනය කළ "සංඛපාලි" ඔහු මුලින් කළ වාණිජ චිත්‍රපට
පෙළට වඩා සැබෑ වෙනසක් පිළිබිඹු කළ ඓතිහාසික කතාවක් ආශ්‍රය
කරගත් කලාත්මක සිනමා නිර්මාණයකි. එමෙන්ම සරත් රූපසිංහ - ඇන්ටන්
ග්‍රෙගරි සමග එක්‌ව සිනමා අධ්‍යක්‍ෂණයට ද පිවිසුණේ "සංඛපාලි"
(1980) චිත්‍රපටයෙනි. අපේ ප්‍රවීණ කැමරා ශිල්පියකු වූ ඩොනල්ඩ්
කරුණාරත්න කැමරාව මෙහෙය වූ "සංඛපාලි" හි ගාමිණී, රෙක්‌ස්,
රොබින්, ස්‌වර්ණා මල්ලවආරච්චි, අනුෂ්කා මැදිවක, එඩී ජයමාන්න,
මර්වින් ජයතුංග, සොමී රත්නායක, ක්‌ලීටස් මෙන්ඩිස් ආදී
පිරිසක් එම චරිත නිරූපණය කළහ. ජනප්‍රිය රැල්ලේ වාණිජ චිත්‍රපට
කතා ධාරාවේ චිත්‍රපට පෙළක් සරත් නිපදවීම නිසා එම නිර්මාණ
විචාරක පැසසුමට එදා එතරම් භාජනය නොවුණද සිනමාහල් කරා
ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කරමින් කැඳවා ගැනීමට ඔහුගේ චිත්‍රපට
බෙහෙවින්ම සමත් විය. හින්දි චිත්‍රපට ද මෙහි ගෙන්වා පෙන්වන
සමයක වුවද එම ඇතැම් චිත්‍රපට අපේ සිනමා ශාලාවල තිරගත වූයේද
අතිරේක දර්ශන වාර ද සහිතවය. අපේ සිනමාවේ ස්‌වර්ණමය යුගය ලෙස
සැළකෙන 70 දශකය සරත් රූපසිංහගේ චිත්‍රපට සම්ප්‍රාප්තිය
සනිටුහන් කළ වකවානුවයි. එම කාල පරාසය තූළ ඔහු වැන්නන්ගේ
මූල්‍යමය දායකත්වය තුළින් අපේ ශ්‍රී ලංකේය සිනමාව කර්මාන්තයක්
හැටියට ගොඩනැගිමට ලැබුණ පිටිවහල සුළුකොට තැකිය හැකි නොවේ.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සරත් රූපසිංහයන්
පාසල් වියේ ක්‍රීඩාවට බෙහෙවින්ම ඇලුම් කළ අයෙකු විය. ඔහු
විදුහලේ පාපන්දු කණ්‌ඩායමද නියෝජනය කළ බව මම අසා තිබේ. සරත්
ක්‍රීඩාවට, ව්‍යාපාර ක්‍ෂේත්‍රයටත් කලාවටත් ඇලුම් කළ සොඳුරු
මිනිසෙක් විය. චිත්‍රපට කලාවෙන් ලැබුණ ආත්ම සතුට ඔහු මහත් සේ
අගය කළේය. සරත්ගේ සොහොයුරු නීල් රූපසිංහ ද ප්‍රකට චිත්‍රපට
නිෂ්පාදකවරයකු හා අධ්‍යක්‍ෂවරයෙකි. "දැන් මතකද", "ලස්‌සන
කෙල්ල", "හතර දෙනාම සූරයෝ", "ආදරය හිතෙනව දැක්‌කම", "යකඩයා"
වැනි ඔහු කළ අති සාර්ථක වූ චිත්‍රපට එදා මෙන්ම ප්‍රේක්‍ෂක
හදවත් දිනා ගන්නට සමත් වී තිබේ.
සරත් රූපසිංහයන් පිළිබඳ මේ සටහන ලියද්දී ඉහත අටුවා ටිකා මා
සඳහන් කළේ අද පරපුර (නළුනිළි පරපුරත් සමඟ) ඔහු වැන්නන් ගැන ඇති
අල්ප අවබෝධය නිසාය. හෙතෙම සිනමා කර්මාන්තයේ එදා යෙදී සිටියදි
බොහෝ විට සෘජුව තම අදහස් ප්‍රකාශ කළ චිත්‍රපට නිෂ්පාදකවරයකු
විය. එකල චිත්‍රපට ප්‍රදර්ශන පෝලිමක් තිබූ බැවින් චිත්‍රපට
ප්‍රදර්ශනය මහත් අවුලක් බවට පත්ව තිබුණු වකවානුවක ඔහුගේ
"සංඛපාලි" චිත්‍රපටය තිරගත විය. ඇතැම් නිෂ්පාදකයන් තම
චිත්‍රපටය සිනමා ශාලාවල නොකඩවා ප්‍රදර්ශනය කරලීමට (ආදායම් අඩු
වෙත්දීත්) මුදල් දමා වැඩි දින ගණනක් තම චිත්‍රපට සිනමාහල්වල
රඳවා ගැනීමට ගත් ප්‍රයත්නයේදී සරත් ඊට දැඩි ලෙස විරෝධය පළ
කළේය. "මගේ සංඛපාලි චිත්‍රපටය දවස් පනහේදී සිනමාහල්වල
ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගනිමින් ඊළඟ ප්‍රදර්ශන මණ්‌ඩලයේ
සිනමාහල්වලට යෑවීමට මම පියවර ගත්තා. චිත්‍රපටයක ආදායම අඩු
වෙනකොට ඇතැමුන් චිත්‍රපටයේ ප්‍රවේශ පත්‍ර මිලට ගෙන රසිකයන්ට
නොමිලේ දුන්න අවස්‌ථා තිබුණා. චිත්‍රපටය සිනමා හලෙන් ගැලවීම
වලක්‌වන්න සිනමාහල් සේවක හිත් දිනා ගන්නට නොයෙකුත් සංග්‍රහ
දීමේ පුරුද්ද නිසා ඊළඟට තිරගත වන චිත්‍රපටයේ නිෂ්පාදකයා
ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. කලින් චිත්‍රපටයේ නිෂ්පාදක ලබා
දුන් සංග්‍රහ ඊළඟ චිත්‍රපටය නිෂ්පාදකවරයාගෙනුත් බලාපොරොත්තුවීම
අරුමයක් නොවේ. අතින් මුදල් දමා චිත්‍රපට බලෙන් සිනමාහල්වල
රඳවා ගැනීම ගෞරවයක් නැති දෙයක්. මේ දූෂණ වළක්‌වන්න සංස්‌ථාව
ක්‍රියා කළ යුතුයි. මෙවැනි ක්‍රියා නිසා චිත්‍රපට පෝලිම තවත්
දිග්ගැස්‌සෙනවා." දවස් පනහේ 100 වාර්තා තැබීමට කරන මෙවැනි
ක්‍රියා අප්‍රසන්නයි" සරත් රූපසිංහයන් 1980 නොවැම්බර් 27
වැනිදා සිත්සර පත්‍රය සමඟ (ඩී. කීරගලආරච්චි පැවැත්වූ)
සංවාදයකදී කියා සිටියේය.
සරත් රූපසිංහයන් මීට කලකට පෙර කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේදී මට හමුවූයේ අග්‍රගන්‍ය නළු ගාමිණී
පොන්සේකා වෙනුවෙන් පැවැත්වුණු "රජ දැක්‌ම" උපහාර ප්‍රණාම
උළෙලේදීය. ගාමිණී එම උළෙලට එනතුරු BMICH ආලින්දයේ අපි සරත්
රූපසිංහයන් සමඟ සතුටු සාමීචියේ යෙදුනෙමු. "අපි දැන් වියපත්
මිනිස්‌සු. ගාමිණීත් අපිත් දැන් එහෙමයි. ඒත් අපි කරපු චිත්‍රපට
කිසිවක් වයසට ගිහින් නැහැ. දැන් අලුත් පරපුරක් අපේ
චිත්‍රපටවල ගීත රස විඳිනවා. හරිම සුන්දරයි නේද? ඉතින් වියපත්
නොවුණු සිනමාවක් නේද අපි කරලා තිබෙන්නේ. "සරත් රූපසිංහයන් මා
සමග පවසද්දී අසළ සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රකට කලාකරු
ධර්මසිරි ගමගේ සූරීන්ද සරත්ගේ වදන් පෙළ අනුමත කළ අන්දම ද මේ
මොහොතේ සිහිපත් වෙයි. සරත් රූපසිංහයන් පිළිබඳ මේ සටහන ලියද්දී
ඔහුගේ අවමඟුල් උළෙලේ මා අත්දුටු දසුනක් ද සඳහන් නොකරම බැරිය.
සරත් රූපසිංහයන්ගේ දේහය පිළිබඳ අවමඟුල් උළෙලේ දක්‌නට ලැබුණු
කනගාටුදායක සිද්ධිය වූයේ (චිත්‍රපට නිෂ්පාදක රත්නපාල මරවනාගොඩ
ඇතුලූ කිපදෙනෙකු හැරෙන්ට) අද කිසිදු ජනප්‍රිය කලාකරුවකු එහි
දක්‌නට නොවීමය. සරත් රූපසිංහයන් කවුද කියාවත් අද අලුත් නළු
නිළි පරපුරවත් නොදන්නවාද විය හැක. අවමඟුල් උළෙල මෙහෙයවූ
තැනැත්තා ඔහුගේ චිත්‍රපට ගැන කියත්දී සහභාගි වූවන් ඇතැමුන්
එකිනෙකා දෙස බලන්නට වූයේ නළු නිළියන් කවුරුන්ද පැමිණ ඇත්තේ....
සොයන්නට මෙනි ඔහුගේ චිත්‍රපටවල සිටි බොහෝ නළු නිළියන් අද
ජීවතුන් අතර නැත. ඉන්න කිහිපදෙනාද වියපත් බවට පත්ව සිටිති.
නිළි රැජින මාලනී පොන්සේකා හා ටෝනි රණසිංහ ද තවත් කලාකරුවන් ද
සරත්ගේ දේහය තැන්පත් කර තිබූ නිවසට ඊට පෙර පැමිණ ගෞරව
දැක්‌වුහ. මාලනීට ඉන් ඉක්‌බිතිව විදේශ සංචාරයකට පිටත්ව යැමට
සිදුවිය.) මෙහිදී මට සිහිපත් වන්නේ විජය කුමාරතුංග ගැනය. ඔහු
සමඟ චිත්‍රපටවල රඟ පෑ නොපෑ නළු නිළියන් හා ඔහු රඟ නොපෑ
චිත්‍රපට නිපද වූ නිෂ්පාදකයන්ගේ ද අවසන් මොහොතටත් පැමින විජය
ඔවුනට ගෞරව දැක්‌වූ අවස්‌ථා ද මට සිහිපත් වේ. අද නළු නිළියන්
අතරින් ගමනක් බිමනක් යැමට ඇති - හැකි අයට විශේෂයෙන් විජය
වැන්නන්ගෙන් ගත හැකි ආදර්ශය අපමණය. යම් හෙයකින් සරත්ගේ
සොහොයුරු නීල් රූපසිංහයන් සංස්‌කෘතික හෝ වෙනයම් ඇමැතිකමක් හෝ
නියෝජ්‍ය ඇමැති පදවියක් මෙවර හෙබ වී නම් අපේ සමහර කලාකරුවන්ගේ
තත්ත්වය වෙනස් වී ඇතැම් මුහුණු එහිදී දකින්නට හැකි වන්නට
තිබුණ බව සිතේ. මන්දා එවන් දසුන් මම අනන්තවත් දැක ඇති නිසාය.
මේ කරුණ මා පෙන්වා දෙනුයේ කාගේවත් හිත රිදවීමකට නොවේ. ඇත්ත
තත්ත්වය මෙය බව පහදා දීමටය. මෙවන් දසුන් යළි දක්‌නට නොලැබේවා
යි ද මම ප්‍රාර්ථනා කරමි.
නාරද නිශ්ශංක
|
|
|
|