|
|
|
|
|

පිළිතුර ඔබ මැ සොයාගන්න!
බුදු තෙමඟුල නිමිත්තෙන් රට පුරාම ඇති වී තිබෙන අලුත් සතුට හා
ප්‍රබෝධය දකින කාගේ වුවද නෙත් සිත් පහන් වේ. දකුණ පමණක් නොව
උතුරට ද වෙසක් අසිරිය දැනී තිබීම අපගේ සොම්නසට හේතු වේ. කොළඹ
නගරයේ මෙන්ම වෙනත් නගර කීපයකද තොරණ හා පහන් කූඩු ඉදිකර ඇත. මං
මාවත් වෙසක් සැරසිලිවලින් අලංකාර වී තිබේ. මඟ දෙපස දන්සල්ය.
පන්සල්වල පින්කම්ය. සීල දාන භාවනාවලින්ද අඩුවක් නැත.
සුරාසල් දින දෙකකට හෝ වැසී ගොසින්ය. මස් මරණ තැන්ද තාවකාලිකව
වැසී ඇත. මරණයට නියම වූ සතුන්ගෙන් කොටසකට ජීවිත දානය ද හිමි
වේ. මරඟන රැඟුම් දැක්‌වූ ඇතැම් රූපවාහිනි නාලිකාවලින් ද බුදු
සිරිත හා බුදු ගුණ දැක්‌වේ. එෆ්. එම්. ගුවන් විදුලි ද සිල් ගත්
සෙයකි. එව, කව, බොව යන මිහිsරි වදන් බොහෝ දෙනකුගේ මුව"ග ලෙළ
දෙයි.
කෙබඳු ආශ්චර්යයක් දැයි සිතෙන තරමටම හැමතැනම, හැමදෙයම වෙනස්
වී ඇති අයුරු පෙනේ. එහෙත් මේ දින දෙක තුන නැතහොත් වෙසක් සතිය
අවසන් වන විටම යළිත් රටත් අපත් නතර වන්නේ කොතැනද? බිංගෙවල්
තුළට වැදුණු මී රැළක් යම් අවසරයකින් එළියට එන්නාක් සේ සියලු
දෙනාම සිය පුරුදු ජීවිතවලට යොමු නොවෙත්ද?
ඇත්ත වශයෙන්ම අප සියලු දෙනා විසින්ම සිහිකළ යුතු, අවධානය යොමු
කළ යුතු ඒ පිළිබඳවය. අපට අප ගැන අපගේ ක්‍රියාකාරකම් ගැන සතුටු
විය හැකි දැයි අපගේම හෘදය සාක්‍ෂිය විමසා බැලීමට මේ වෙසක්
සතිය උචිත බව අපගේ යෝජනාවයි. අප අමතක කළ දේ අපට වැරදුණු තැන්
විවේකීව බලා ඒවා හදා ගත හැකි නම් කෙතරම් අගේද?
අපට උඩින් සිටින රට කරවන ඇත්තන් විසින්ද තමන් දෙස පළමුවත් දනන්
හා රට දෙස දෙවනුවත් බැලිය යුතුය. රටක් වශයෙන් අපට තිබෙන එකම
සතුට නිදහස් රටක් නිදහස් දැයක් ලෙස අප පත්ව සිටීමයි. බෝම්බ
පුපුරා ගිය වෙඩි හඬ උතුරා ගිය රටේ බුදු බණ, සාදු නද ඇසෙයි. එය
අපමණ සතුටකි. එහෙත් බුදු බණ අසන තරමට ඒවා පිළිපදින බවක් කිව
හැකිද?
තුනුqරුවන් සරණ ගිය රාජ්‍ය නායකයකු අපට සිටියි. දහමට ගරු කරන
අදහම දුරලන රටක් තැනිය යුතු යෑයි කියන රාජ්‍ය නායකයකු සිටියි.
එහෙත් පිළිවෙත් ගරුක සමාජයක් අපට තිබේද? එබඳු සමාජයක්
ක්‍ෂණිකව, දවසකින් දෙකකින් ගොඩනැඟිය නොහැකි බව ඇත්තය.
බෞද්ධයාට උචිත ජීවන ප්‍රතිපදාව අද අපට අමතක වී නැද්ද? පන්සිල්
යනු බෞද්ධයන්ට පමණක් නොව ඕනෑම ලබ්ධියකට උචිත හා ප්‍රායෝගික
ප්‍රතිපත්තියක් නොවේද? බුදුන් වහන්සේ සරල චාම් ජීවිතයක් ගත
කළ අයුරු අපි මේ දිනවල මන්තර සේ මතුරමු. ධර්ම දේශකයන්
වහන්සේගෙන් අසමු. එහෙත් අප ලුහුබඳින්නේ සාටෝපවත්a ජීවිත නොවේද?
බොරු සෝබනවලට ඉච්ඡා බස්‌වලට අපේ ඇතැම් නායක කාරකාදීන්
දක්‌වන්නේ කෙබඳු ඇල්මක්‌ද?
හත්වැනි පාර්ලිමේන්තුවට පත්ව සිටින ගරු මන්ත්‍රීවරයකුට ඇ. ඩො.
50,000 ක තීරුබදු රහිත වාහනයක් ලබාදීමට තීරණය කර ඇතැයි කියති.
අනේ සාදු මන්ත්‍රීතුමන්ලා අප ගැන උරණ නොවෙත්වාෘ මේ තරම්
මුදලක් ඒ සඳහා වුවමනාදැයි නිකමට වත් අසන ගරු මන්ත්‍රීතුමෙක්
සිටිත්ද?
බුදුන් වහන්සේ දිවමන්ව වැඩ විසූ කල තමන් වහන්සේට පිරිනැමීමට
සූදානම් වූ මොන තරම් භෞතික සැප සම්පත් මන්දිර ප්‍රතික්‍ෂේප
කළෝද? එදා ඉසුරුමතුන් හා කුලීනයන් ප්‍රයෝජනයට ගත් අශ්ව රථයක්
හෝ උන්වහන්සේට නොවූ බව අපි දනිමු. එහෙත් අද බුදු පුත්‍රයන්
වහන්සේලාට වුවද සුපිරි වාහන නැතිවම බැරිය. ගිහි නායකයන් ගැන
කියනුම කවරේද?
අද මේ සමාජ පත්ලේ රැඳී තිබෙන අඳුර දෙසද අප බැලිය යුතුය.
මව්වරුන් දරුවන් ගඟ දියට දමන්නේත් වැසිකිළිවළට වීසි කරන්නේත්
ඇයි? පටාචාරලා, කිසාගෝතමීලා අදත් මේ සමාජය තුළම නොසිටිත්ද?
බුදුවරයෙක් නැති බව සැබෑය. එහෙත් බුද්ධ ධර්මය තිබේ. මහා
සංඝරත්නය වැඩ සිටිති. එමතු නොව නිර්මල බුදු දහම පවත්නා එකම රට
ද ශ්‍රී ලංකාවයි. පෙර කල "දහම් දිවයින" යන සාඩම්බරය ද අපට විය.
එහෙත් අද දහමක් හිතේ නොරැඳි සමාජයක් බවට අපි පත්වෙමින්
නොසිටිමුද?
වෙසක් සඳ තවමත් අහසේ සුදිලෙයි. වෙසක් පැතුම් තවමත් සුපිපෙයි.
එහෙත් ඒ සියල්ල හෙට අනිද්දා සිතින් පිස දමා යළිත් හිස ගිනිගත්
මිනිසුන් ලෙස අපි දිව යමුද? දබර වෙමුද? දොස් නඟමුද? ගහ බැණ
ගනිමුද? පිළිතුර ඔබමැ සොයා ගත යුතුයි.
|
|
|
|