සිංහල පද්‍ය සාහිත්‍යයේ නිරූපිත බෞද්ධ මුහුණුවර

සිංහල සාහිත්‍යය පොදුවේ ගත්විට බෞද්ධ සාහිත්‍යයකි. හේතුව අපේ පැරණි ගද්‍ය කාව්‍යකරුවන් හෝ පද්‍ය කාව්‍යකරුවන් ගත් විට එක්‌කෝ බෞද්ධ යතිවරුන්ය නැත්නම් පඬිවරුන්ය. මේ නිසා සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, බෞද්ධ සාහිත්‍යය කියා හැඳින්වීමේ වරදක්‌ ඇත්තේ ද නොවේ. මේ තත්ත්වය දහඅටවැනි ශත වර්ෂයේ යාකොල්වේ ගොන්සාල්වෙස්‌තුමා පැමින සිංහල ක්‍රිස්‌තියානි සාහිත්‍යය ගොඩනැංවීම දක්‌වා වූ කාලය මුළුමනින්ම බෞද්ධ සිංහල සාහිත්‍යයක්‌ ලෙස හැඳින්විය හැකිය. මෙහිදී දණ්‌ඩීන්ගේ කාව්‍යාදර්ශයේ අනුවර්තනයක්‌ ලෙස ලියෑවුණු "සියබස්‌ලකර" (අනුරාධපුර යුගය) නමැති කෘතියෙහි එන "පෙදෙන් බුදුසිsරිතැ" (පද්‍යයෙන් නම් බුදු සිරිත ලියෑවිය යුතුයි) යන නියමය එම කෘතිය අනුවර්තනයක්‌ බවට කදිම නිදසුනක්‌ වෙයි. මේ නියමය හේතුවෙන් කවි ලියනවා නම් ලිවිය යුත්තේ බුද්ධ චරිතය ගැනය යන නියමයට යටත්වය අපේ කවීන් කවි ලියුවේ. මේ නිසා අපේ පැරණි පද්‍ය සාහිත්‍ය සම්පූර්ණයෙන්ම ජාතක කතා මුල්කරගත් සාහිත්‍යයක්‌ වුණි. ඉන්දියානුවන් මහා භාරතය හා රාමායනය ඔවුන්ගේ පැරණි කෘති සඳහා මූලාශ්‍ර කොට ගත්තා සේ අපි ජාතක කතා මූලාශ්‍ර කොට කවි ලිවීමට පෙළඹුණෙමු. මේ අනුව "සස ජාතකය" - "සසදාවත" හැටියටත් "මඛාදේව ජාතකය" "මුවදෙව්දාවත" හැටියටත් "කුස ජාතකය", "කව්සිළුමිණ" හැටියටත් සත්තුභත්ත ජාතකය "කාව්‍යශේඛරය" හැටියටත් බොහෝ ජාතක කතා කාව්‍ය බවට පත්වුණි.

මේ තත්ත්වය යම් ලෙසකින් දෙදරා ගියේ ගම්පොළ යුගයේදී සංදේශ කාව්‍ය ලියෑවීමත් සමඟය. "පෙදෙන් බුදු සිරිතැ" යන අණ තොතකා අපේ සංදේශ කාව්‍යකරුවන් "පෙදෙන් රජ සිරිත" වර්ණනා කරන්න පටන්ගත් බව ඉන් පැහැදිලි වෙයි. නමුත් ඒවායෙන් බෞද්ධ ස්‌වරූපය නැති වී ගියේ නැත. හංස සංදේශය වැනි කාව්‍යයක්‌ ගත් විට අප එය හඳුන්වන්නේ බෞද්ධ දූත කාව්‍යයක්‌ හැටියටය.

මේ පැරණි බෞද්ධ සාහිත්‍ය පිළිබඳ විමසීමක්‌ කරන විට විවිධ මතවාදයන් පළවෙයි. එනම් "පෙදෙන් බුදු සිරිතැ" නමැති නියමය නිසා අපේ පොදු ජන ජීවිතය සිංහල කවියට බද්ධ වුණේ නැති බවයි. මේ මතය ඉදිරිපත් කරන විචාරකයන් පෙන්වා දෙන්නේ සීගිරි ගී එම නියමයට යටත් නොවූ අවස්‌ථාවක්‌ හැටියටයි. ඒ හෙයින් සීගිරි ගී තුළින් පොදු ජන ජීවිතයේ සිතුම් පැතුම් කවියට නැඟුණි. මේ කවි රජවරු සිටුවරු වගේම සාමාන්‍ය පංතියේ රජක ස්‌ත්‍රීන් (රෙදි අපුල්ලන ස්‌ත්‍රීන්) අතින් පවා ලියෑවුණි. ඔවුන් යොදාගත් උපමා රූපක, අලංකාර ආදී සියල්ල සංස්‌කෘත සාහිත්‍යයට ගැති නොවී අපේ සිංහල ගැමි සමාජයෙන් උකහා ගත් දේය. මේ නිසාය විචාරකයන් කීවේ "පෙදෙන් බුදු සිරිතැ" යන නියමය නිසා අපේ පොදු ජන දිවිය සිංහල කවියෙන් ඈත් වූ බව. මීට හේතු කීපයකි. දඹදිව ජාතක කතාවලට පසුබිම වීම, ප්‍රධාන චරිතය බෝධිසත්ත්වයන් වීම, කාව්‍යාදර්ශය ආශ්‍රයෙන් සියබස්‌ලකර පෙන්වා දෙන්නේ අලංකාරවාදී කාව්‍ය මාර්ගය වීම. මේ නිසා අපට ආදේශ කරගත නොහැකි සෘතු වර්ණනා පවා ඒ කාව්‍යයන්ට ඇතුළත් වුණි. එයත් අපේ ජන ජීවිතය සිංහල කවියට කාන්දු වීමට තිබූ අවස්‌ථාව ගිලිහී යැමක්‌ බවට මත පළවෙයි. මහනුවර මාතර අවධිය වන විටත් අපේ පොදු ජන ජීවිතය කවියට විෂය නොවුණත් භාෂා භාවිතය, උපමාරූපක ආදිය ගෙන බැලූ විට අපේ සිංහල කවීන් මේ බෞද්ධ කතා ඉතාම සප්‍රාණිකව සජීව අන්දමින් ඉදිරිපත් කළා යෑයි පැවැසිය හැකිය. විශේෂයෙන්ම කුස ජාතකය පදනම් කරගත් කව්සිළුමිණ නමැති මහා කාව්‍ය (දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත) සිංහල සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතියක්‌ ලෙස විචාරකයන් සලකනයි. මේ නිසා කවි සමයට ගැති වුණත් අපේ ජන ජීවිතය නිරූපණය නොවුණත් මේ නිර්මාණ ඉතාම විශිෂ්ට ගණයේ පවතින බවට පිළිගැනෙයි.

මේ පිළිබඳ අදහස්‌ පළකරන කුමාරතුංග මුණිදාස මහතා පවසන්නේ කව්සිළුමිණේ එන මධුපානෝත්සව වර්ණනාවේ එක කවියක්‌ සංස්‌කෘත මහ කාව්‍යයක්‌ තරම් වටිනවාය කියාය. ඒ තරමටම අපේ සිංහල කවීන් තමන්ගේ ප්‍රතිභාව විදහා දැක්‌වූවේය. මාර්ටින් වික්‍රමසිංහයන් පවසන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්‌ථාවක්‌ පැමිණියා නම් ඒ අවස්‌ථාවේ අතට ගත්තේ ගුත්තිල කාව්‍යය වගේම තමන්ගේ ජීවිතයේ ශෝකජනක අවස්‌ථාවක්‌ පැමිණියා නම් ඒ අවස්‌ථාවේත් අතට ගත්තේ ගුත්තිල කාව්‍ය බවයි. එය එතුමා සලකන්නේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතියක්‌ ලෙසයි. මෙය කව්සිළුමිණේ එන අලංකාර රීතියෙන් බැහැරව යමින් ජන කවියාගේ ජනකවි මඟ අනුගමනය කරමින් වෑත්තෑවේ හිමියන් කළ සුවිශේෂ නිර්මාණයකි. ඇත්තෙන්ම බෞද්ධ කාව්‍යයක්‌ හැටියට ගත් විට වඩාත්ම පහන් සංව්ගයක්‌ ඇතිවන්නේ ගුත්තිල කාව්‍ය තුළින් කීමෙහි වරදක්‌ නොවෙයි. කව්සිළුමිණ කුස ජාතකය වුණත් එහි ප්‍රධාන රසය ශෘංගාර රසය ය. ගුත්තිලය වැනි කාව්‍යයක්‌ ගත් විට එහි ඇත්තේ කරුණා රසය ය. එමෙන්ම කාව්‍යශේඛරය සමස්‌තයක්‌ ලෙස ගත්විට තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සාර්ථක කෘතියක්‌ නොවුණත් එහි යම් යම් කොටස්‌ ගත් විට විශිෂ්ට කවි ශක්‌තියක්‌ පෙන්නුම් කරයි. මේ නිසාම අපේ පැරණි බෞද්ධ සාහිත්‍යය නූතන සාහිත්‍යයේ පෝෂණයට ඉවහල් වූ බව අවිවාදයෙන් සඳහන් කළ හැකිය. මහනුවර මාතර අවධිය වන විට ජාතක කතා රාශියක්‌ පුස්‌තිකා හැටියට පළවුණි. ඒවා පොදු ජනතාව අතර ජනප්‍රිය කෘති බවට පත්වුණි. විශේෂයෙන් මාතර අවධියේදී ජාතක කතා කවියට නැඟීම දැකිය හැක. එය කොයි තරම් ජනප්‍රිය වුණාදැයි පැවැසුවහොත් ජාතක කතා ලෙස සඳහන් නොවන කතා පවා ජාතක කතා ලෙස දක්‌වමින් කවි පොත් නිකුත් වුණි. කිරිමැටියාවේ මුදලිඳු විසින් රචනා කළ "මහාපදරංග ජාතකය" එවැන්නකි. නමුත් ජාතක පොතේ එබඳු ජාතකයක්‌ නැත. කිරිමැටියාවේ මුදලිඳු කර තිබෙන්නේ මහා භාරත කතාවට බෞද්ධ භාවයක්‌ ආරූඪ කිරීමය. එහි එන දුර්යෝදන නමැති දුෂ්ඨ චරිතය දෙව්දත් බවට පත්වෙයි. අර්ජුන නමැති වීර චරිතය බෝධිසත්වයන් බවට පත්වෙයි. මේ නිසා මේ ජාතක කතා නමැති නාමය වෙනත් කතාන්තර කවියෙන් කීමේදී ද භාවිත කෙරිණි . ජාතක කතා කවි කර කීම එතරම්ම ජනප්‍රිය සාහිත්‍යයක්‌ බවට පත්වුණි. මේ අතරින් වඩාත් ජනප්‍රිය ජාතක කතා බවට පත්වූයේ වෙස්‌සන්තර සහ කුස ජාතකය. කවීන් රාශියක්‌ විවිධ කාලවල, මේ ජාතක කතා කවියෙන් කීමට උත්සාහ කළේය.

අපේ සාහිත්‍යයට සංස්‌කෘත සාහිත්‍යයෙන් ගැලවීමක්‌ තිබුණේ නැත. දහනවවැනි සියවස වනතුරුත් අපට ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය හමුවුණත් නාට්‍ය දෘෂ්‍ය කාව්‍යයක්‌ හමුවන්නේ නැත. නමුත් සිංහල ලේඛකයන් සංස්‌කෘත දෘෂ්‍ය කව්‍ය පරිශීලනය කළ බවට සාධක අපේ පැරණි සාහිත්‍යයේ වෙයි. ඒ අනුව අපේ සාහිත්‍යකරුවා සම්පූර්ණයෙන්ම වැඩුණේ සංස්‌කෘත සාහිත්‍ය ආභාෂයේ බව අපට පිළිගන්නට සිදුවෙයි. එහි වාසි හා අවාසි දෙකම ඇත. අපේ රට දූපතක්‌ ලෙස පවතින විට කිසියම් ප්‍රධාන සාහිත්‍ය ධාරාවක ආභාෂය ලබන්න සිදුවෙයි. මේ නිසා ප්‍රධාන වශයෙන් අපට බලපෑවේ සංස්‌කෘත සාහිත්‍ය ය. ඊට අමතරව පාලි භාෂාවේ බලපෑමක්‌ ද ඇතිවණි. කොහොම වුවත් කාව්‍යමය භාෂාවක්‌ නිර්මාණය කරගන්න සංස්‌කෘත සාහිත්‍ය විශාල ප්‍රයෝජනයක්‌ වුණි. සීගිරි ගී ලියූ කවීන් පවා සංස්‌කෘත සාහිත්‍යය පරිශීලනය කළ බවට සාධක ඇත. නමුත් ප්‍රතිභා සම්පන්න කවීන් අපේ කවියේ දේශජ ලක්‍ෂණ සොයාගෙන ගියේය. ගුත්තිල කාව්‍ය වැනි නිර්මාණයකින් අපි ඒ බව දකිමු. අපේ ගද්‍ය කාව්‍යකරුවන් සංස්‌කෘත මිශ්‍ර භාෂාවක්‌ භාවිත කළත් පද්‍ය කාව්‍යකරුවන් මොනම අවස්‌ථාවකදීවත් සංස්‌කෘත වචනයක්‌වත් භාවිත කළේ නැත. බුදුදහමේ ගැඹුරු කොටස්‌ පවා හුදු හෙළ බසින් කීවේය.

අපේ සම්භාව්‍ය සාහිත්‍යය ගත්විට අප කල්පනා කරන්නේ මෙය බෞද්ධ සාහිත්‍යයක්‌ නිසා මින් වහනය විය යුත්තේ බෞද්ධ සුවඳ බවයි. නමුත් අපේ සාහිත්‍යකරුවන් එබඳු පටු සීමාවක සිටියේ නැත. කුස ජාතකය වැනි කතාන්තරයක්‌ බුදුන්වහන්සේ දේශනා කළේ මාගමුන් නම් ඉතා පාපී සත්වයෝය කියන කාරණය ඔප්පු කරන්නටය. නමුත් දෙවැනි පරාක්‍රමබාහු නමැති සිංහල බෞද්ධ කවියා, මේ ජාතක කතාව ගෙන ඉතා උපක්‍රමශීලී ලෙස තමන්ගේ ප්‍රධාන කතා රසයට අදාළ ලෙස නිර්මාණය ඉදිරිපත් කළේය.

ජාතක කතාවක මූලික අංග කීපයක්‌ ඇත. එනම් වර්තමාන කතාව, අතීත කතාව හා සමෝධානයයි. පරාක්‍රමබාහු රජු මෙයින් වර්තමාන කතාවත්, සමෝධානයත් කපාහරියි. එමෙන්ම කුස ජාතකයේ පුරාණ කර්මය කියා දෙයක්‌ ඇත. එනම් ඇයි කුස රජුගේ නාසය කැවුමක්‌ මෙන් හැදුණේ කීමටමය. ඒ සියලු දේ එතුමා බැහැර කරයි. එයින් අපට පැහැදිලි වන්නේ අපේ කවීන් පෙදෙන් බුqදු සිරිතැ යන නියමය භාවිත කළ ද ඒ හැමකකුම බෞද්ධ කාව්‍යයක්‌ කිරීමට බලාපොරොත්තුව වුණේ නැති බවයි . මේ කතා බෞද්ධ නමුත් මොවුන්ට තමන්ගේ සීමා බන්ධන ලිහිල් කර ගැනීමේ වුවමනාවක්‌ තිබූ බව මෙයින් පැහැදිලි වෙයි. ඒ නිසාය ගුරුළුගෝමීන් සුළු කළිඟු දා වත ප්‍රේම ගද්‍ය කාව්‍යයක්‌ බවට පත් කළේ. එසේ නැතිව මේ දෙක අතරේ දෝලනය වන්නට ගියා නම් කවියා අසාර්ථක වනු ඇත. ඒ අසාර්ථක වීම පිළිබඳ හොඳම උදාහරණය නම් "කාව්‍යශේඛරය"යි.

නූතන පද්‍ය සාහිත්‍යය තුළ බෞද්ධ ලකුණ ඉතාමත් අඩුවෙනිs අපට දකින්නට ලැබෙනුයේ. කොළඹ යුගයේ මුල් පරපුරේ හා දෙවැනි පරපුරේ ඉඳහිට බෞද්ධ ලකුණ දකින්නට ලැබෙයි. ආනන්ද රාජකරුණා කවීන් බුදුරජාණන් වහන්සේ උදෙසා වෙනම ම පුස්‌තිකා කර ඇත. මහින්ද හාමුදුරුවෝ "රත්නමාලී කාව්‍ය" කියා රුවන්වැලිසෑය පිළිබඳ කාව්‍යයක්‌ කර ඇත. පී. බී. අල්විස්‌ පෙරේරා, මීමන ප්‍රේමතිලක වැනි කවීනුත් යම් නිර්මාණ කර තිබේ. ප්‍රේමයේ ගෘඪ බව ආදරයේ සිමෙන්ති ගැන කතා කළ සිරි ගුණසිංහ වැනි කවීන් පවා ඇතැම් අවස්‌ථාවල සාර්ථක බෞද්ධ කවි ලියා ඇති බව පැහැදිලි වෙයි. ඇතැම් විට බෞද්ධ චින්තනය පිළිබඳ යම් විවේචනයක්‌ එල්ල කරන අමරසේකරයන් ගේ "ගඟ ළඟ බුදුරුව" කවි පංතියත් සඳහන් කළ හැක. මේ අතර දැකිය හැකි විශේෂම කෘතියක්‌ බවට පත්වන්නේ පරාක්‍රම කොඩිතුවක්‌කුගේ "රශ්මි" කාව්‍ය සංග්‍රහයයි. නූතන කවීන් අතර පාලි සාහිත්‍යය ඇසුරින් යම් ප්‍රයෝජනයක්‌ ලබාගත හැකිද යන අත්හදාබැලීමක්‌ කෙරුණේ මේ පද්‍ය සංග්‍රහයෙනි. ථෙර ථේරී ගාතා හා ඇතැම් ජාතක කතා කොඩිතුවක්‌කු තමන්ගේ කවි ශක්‌තියෙන් ඔපමට්‌ටම් කර ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඩබ්ලිව්. ඒ. අබේසිංහ ධම්මපදය නූතන සිංහල කවියට නඟමින් සිංහල කවීන්ට අත්වැලක්‌ සපයා තිබේ. මොන තරම් පරිවර්තන බිහි වූවත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ථෙර ථේරී ගාථා විශේෂයෙන් දැක්‌විය හැකිය. එම කෘතිය නිකුත් වූ විට ඇතැම් පඬිවරුන් එතුමාට චෝදනා කළේ "නොතේරී ලියූ ථේරී" කියාය. නමුත් එම ගාථා පරිවර්තනයත් ඒ පිළිබඳ එතුමා ඉදිරිපත් කළ විග්‍රහයත් සිංහල බෞද්ධ සාහිත්‍යය පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන සෑම කෙනකුම කියවිය යුතූය.

සාකච්ඡාවක්‌ ඇසුරිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්න
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. සිංහල පද්‍ය සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ කෘති ගණනාවක්‌ පළ කළ විද්වතෙකි. සම්මානනීය ගීත රචකයෙකි. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.