ඇසි දිසි මානය
හිස්‌ අහසේ සරණ  විහඟෙක්‌ සේ...

අප කුඩා කල දහම් පාසලේ යන අවදියේදී අපත්, ගුරුවරුනුත් මහත් අපහසුවට පත් වන එක්‌ අවස්‌ථාවක්‌ සිහි කරවනු කැමැත්තෙමි.

ඒ, කාමේසු මිච්චාචාර වේරමණී සික්‌ඛා පදයයි.

කුඩා ළමුන් වන අපට එකල ගුරුවරු මෙම ශික්‍ෂා පදයේ අර්ථය හරිහැටි කියා දුන්නේ නැත. කාමයේ වරදවා හැසිරීම නරක දෙයකැයි කියා ගුරුවරු මගහැර ගියා මිස, වරදවා හැසිරීම යන්න විග්‍රහ කර දුන්නේ නැත.

මඩොල් දූව නවකතාවේදී ද ගුරුන්නාන්සේ මේ ශික්‍ෂා පදය තේරුම් කර දෙන්නේ නැත. ශිෂ්‍යයෙක්‌ එය කුමක්‌දැයි නැවත ඇසූ කල ගුරුන්නාන්සේ වේවැල ඔසවා ශිෂ්‍යයාට දඬුවම් කරන්නට සැරසුණා මිස තේරුම කියා දෙන්නේ නැත.

කාම මිත්‍යාචාරය කුඩා දරුවන් දැන්ම දැන උගත යුතු නැතැයි ගුරුවරුනුත් වැඩි හිටියනුත් සිතුවා විය හැක.

තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ සැමියා හැර වෙනත් පුරුෂයකු හෝ ගැහැනියක ඇසුරු කිරීම කාම මිත්‍යාචාරය බවත් එය වරදක්‌ හෝ පාපයක්‌ය යන්නත් එහි තේරුමයි.

කුඩා ළමුන්ටමේ කාරණාව තේරුම් කර දීම තරමක්‌ අපහසු කටයුත්තක්‌ බව ඇත්තය. අතීතයේදී තමන්ට සැඟවූ ශික්‍ෂා පදය ළමුන් තේරුම් ගන්නේ වැඩිහිටියන්වූ පසුය.

බෞද්ධ ජනයා අපහසුවට පත් කරන මෙවැනි ගාථා ඛණ්‌ඩයක්‌ කරණීය මෙත්ථ සූත්‍රයේ තිබේ.

අප්ප කිච්චෝච

සල්ලහුක - වුත්ති

එම ගාථා ඛණ්‌ඩයයි. බැලූ බැල්මට හා ඇසෙන අන්දමට මේ ගාථා ඛණ්‌ඩය සිහංල භාෂාවේ අසභ්‍ය වදන් දෙකක්‌ සිහි ගන්වයි.

නමුත් කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව සහ එම සූත්‍රයේ අඩංගු ගාථා අරුත් සහිතව සොයා බලන විට අප අපහසුවට පත් කරන ඒ ගාථා ඛණ්‌ඩය භික්‍ෂු ජීවිතයේ ඉතා වැදගත් ස්‌ථානයක්‌ නැතහොත් ස්‌වරූපයක්‌ පිළිබිඹු කරන්නක්‌ බව පෙනේ.

අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයේ සසර කලකිරුණු භික්‍ෂූන් වහන්සේලා පන්සිය දෙනෙක්‌ හිමාලය පෙදෙසට ගොස්‌ එහි වන පෙදෙසක රුක්‌ මුල්හි බිම සුද්ධ පවිත්‍ර කර ගෙන භාවනා කරන්නට වූහ.

එම වනයෙහි ගස්‌වලට අරක්‌ගත් වෘක්‍ෂ දේවතාවුන්ට මේ භික්‍ෂූන් වහන්සේලාගේ පැමිණීමත් ඔවුන් තම අඩවියෙහි පැලපදියම් වීමත් මහත් ප්‍රශ්නයක්‌ බවට පත් විය. භික්‍ෂූන් වහන්සේලාට එක එල්ලේ විරුද්ධ විය නොහැකිවූ වෘක්‍ෂ දේවතාවෝ නොයෙක්‌ අමනුෂ්‍ය රූප මවමින්, භයානක ශබ්ද නංවමින්, අතිශය දුර්ගන්ධයක්‌ ඇති කරවමින් භික්‍ෂූන් වහන්සේලා මහත් අපහසුතාවට පත් කරන්නට වූහ. මේ නිසා භාවනා කිරීමේ කටයුතු සහමුලින් ම අවුල් වී ගොස්‌ භික්‍ෂූන් වහන්සේලා අසහනයට පත්වූහ.

මේ සඳහා කුමන පියවරක්‌ ගත යුතු දැයි දැනගනු පිණිස භික්‍ෂු පිරිස නැවත බුදුරජුන් මුණ ගැසීමට ගියහ. මෙපවත් ඇසූ බුදුහිමියෝ භාවනාව සඳහා මීට වඩා සුදුසු සෙනසුනක්‌ වෙන නැත. එබැවින් එහි ගොස්‌ මා විසින් දේශනා කරන මේ පිරිත මසකට අට වරක්‌ සංජCධායනා කරව්. එවිට වෘක්‍ෂ දේවතාවන්ට තොප බියගන්වනු නොහැකි වනවා පමණක්‌ නොව ඔවුන් ඔබලාට පුද සත්කාරද කරනු ඇතැයි වදාරමින් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළහ.

කරණීය මෙත්ත සූත්‍රයේ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ භික්‍ෂුවක විසින් කළ යුතු නොකළ යුතු දෑ මොනවාද භික්‍ෂුවකගේ හැසිරීම කෙබඳු විය යුතුද කරුණුයි.

සකෙකා උජුච සූජූච

සුවචෝ චස්‌ස මුදු අනතිමානී

භික්‍ෂුව මායා ගති නැති සෘජු අයකු විය යුතුය. එමෙන්ම සුවචයෙක්‌ හෙවත් කීකරු අයෙකු විය යුතුයි.

මෘදු විය යුතුයි. නමුත් අද කාලයේදී දේශපාලනඥයන් වැනි බලවත් පුද්ගලයන් තමන් යම් යම් මෙහෙවරයන්හි යොදා ගන්නට උත්සාහ කරන්නේ නම් ඒවාට අවනත නොවී මෘදුකම් නොපෑ යුතුයි. රළු පරළු කතා නොකළ යුතුය. පහසුවෙන් බැසගත හැකි තොටුපලක්‌ මෙන් කාටත් ප්‍රයෝජනයට ගත හැකි පිළිසඳර ඇත්තෙකු විය යුතුයි.

එමෙන්ම අනතිමාන හෙවත් අධික අහංකාර කෙනකු නොවිය යුතුයි.

සන්තුස්‌සකො ච සුභරෝච

භික්‍ෂුව සිය දායකයන්ට පෝෂණ්‍ය කළ හැකි තැනැත්තෙකු විය යුත්තේය.මට අසුවල් අසුවල් රසැති භෝජන දානය සඳහා ගෙනැවිත් දෙන්නැයි ඉල්ලා සිටීම භික්‍ෂුවට සුදුසු නොවේ. සපයා දිය නොහැකි අපහසු දේ ඉල්ලා සිටින භික්‍ෂුව දායකයන්ට රැකිය නොහැකි කෙනකු වනු ඇත. කටුක වූ හෝ ප්‍රනීත වූ ස්‌වල්ප ආහාරයක්‌ ලැබුණද ඉන් සතුටුව ප්‍රසන්න මුහුණින් සිටින භික්‍ෂුව "සුභර" වේ. භික්‍ෂුව සුභරෝච විය යුතු යෑයි බුදු හිමි ප්‍රකාශ කළහ.

අප්ප කිචෙචාච

සල්ලහුක - වුත්ති

අප කිචෙචාච යනු අල්ප කෘත හෙවත් කාර්යයන් බහුල නොවන කටයුතු අඩු කෙනකු විය යුතුය යන්නය. විහාරය හෝ පංසල නවීකරණය කරමින් ටයිල් අතුරමින් පංසල හැදීමේ නිමක්‌ නැති කටයුතුවල යෙදෙමින් කාර්ය බහුල අයෙකු බවට පත් නොවිය යුතු යෑයි යන්න එයින් අදහස්‌ වේ.

සල්ලහුක - වුත්ති

යනු භික්‍ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතු දැයි අරුත් රාශියක්‌ කුළු ගන්වා ඇති වචනයයි.

එහි අරුත සැහැල්ලු චාම් පැවතුම් ඇති යන්නයි. භික්‍ෂුව බහු භාණ්‌ඩික නොවිය යුතුයි. යම් දිසාවකට යන කල්හි පාසිවුරු, ඇතිරිලි, තෙල්, සකුරු ආදී බොහෝ උපකරණ පොදි බැද මිනිසුන් ලවා උරෙන් හෝ හිසින් උසුලවාගෙන ගිsය භික්‍ෂූන් බුදුන් කල සිට තිබේ. සැහැල්ලු චාම් පැවතුම් ඇති භික්‍ෂුවට අවශ්‍ය වන්නේ අට පිරිකරම පමණි.

තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, පාත්‍රය, කඩකැත්ත (දැලිපිහිය), ඉඳිකටුව සහ පෙරහන්කඩ අටපිරිකරයි.

අටපිරිකර පමණක්‌ ඇතිව යම් දිසාවක ගමන් කරන භික්‍ෂුව පියාපත් සහිතව සිව්දිගට ඉගිල්ලී යන පක්‍ෂියකු මෙන් නිදහස්‌ යෑයි බුදුහිමි කරණීය මෙත්ත සූත්‍රයේදී සඳහන් කරයි.

ප්‍රාඩෝ, බෙන්ස්‌ කාර්, ආදිය අද අටපිරිකරට ඇතුළත් වී ඇති සෙයක්‌ පෙනෙතත්, සල්ලහුක වුත්ති හෙවත් සැහැල්ලු චාම් පැවතුම් ඇති භික්‍ෂුවට අටපිරිකර පමණක්‌ම ප්‍රමාණවත් බැව් බුදුවදන වූ බව කරණිය මෙත්ත සූත්‍රයෙන් පෙනේ.

මෙම සූත්‍රය බුදු හිමි දේශනා කොට තිබෙන්නේ නිවන් මගට යනු කැමැති භික්‍ෂුවක මේ පරිදි හැසිරිය යුතු යෑයි හඟවනු පිණිසය.

අප්ප ගබ්සෝ කුලේසු අනනු ගිද්ධො යෑයි මේ සුත්‍රයේ තැනක සඳහන් වේ. කුලයෙහි හෙවත් තම ඥතීන් මිත්‍රාදීන් දායකයන් කෙරෙහි ඇලීමෙන් වැලකිය යුතු යෑයි යන අවවාදය ඉන් ලබාදේ. තම මවගේ පියාගේ නිවසට ගියද දායකයාදීන්ගේ නිවසට ගිය විටද හැසිරිය යුත්තේ ඇල්මකින් තොරවය. දායකයාගේ දුකෙහිS ඔවුන් සමඟ දුක්‌වීමත් ප්‍රීතියේදී ඔවුන් සමඟ එක්‌ව ප්‍රීතිවීමත් කාරණා දෙකම භික්‍ෂූන්ට අකැපය.

ඊට උදාහරණයක්‌ කිරිවත්තුඩුවේ ධර්ම කීර්ති නාහිමියන් සංස්‌කරණය කළ පාලි - සිංහල පිරිත් පොතේ දක්‌වා ඇත.

අනුරාධපුර උපත ලැබූ දරුවෙක්‌ එහිදී මහණව පසුව ඉගෙනුම සඳහා මාගම්පුරයට ගොස්‌ ඇත. කාලයක්‌ ඇවෑමෙන් ආපසු අනුරාධපුරයට පැමිණ වස්‌ වසන සමයෙහි එම භික්‍ෂුවගේ මව්පිය දෙදෙනා වෙනත් භික්‍ෂුවකැයි සිතා තම පුත්‍ර වූ භික්‍ෂුවට තුන් මසක්‌ වස්‌ කල ඇප උපස්‌ථාන කළහ. නමුත් මේ භික්‍ෂුව තමා ඔවුන් දෙපලගේ පුත්‍ර භික්‍ෂුව යෑයි කිසිදු විටෙකවත් මව්පියන්ට හැඟවූයේ නැත. කුලයෙහි හෙවත් ඥති මිත්‍රයන් කෙරෙහි නොඇලී සිටීම සිල්වත් භික්‍ෂුවගේ ගුණාංගය බව එයින් හැඟවේ.

මේ සටහන ලියනු ලැබුයේ, අද දවසේ භික්‍ෂූන් වහන්සේලාගේ පැවතුම්වල වෙනස පෙන්වන අරමුණින් නොවේ. දෙදහස්‌ හයසිය වසරක්‌ ඉක්‌ම ගොස්‌ ඇති මෙකල බුද්ධ කාලයේ සංඝ සමාජය පැතීම සුදුසු නොවේ.

නමුත් මෙකී ගුණයන්හි හැසිරෙන බොහෝ භික්‍ෂුන් වහන්සේලා තවමත් අපේ සංඝ සමාජයේ සිටිනු දක්‌නට ලැබීම මහත් වූ ප්‍රීතියකි.

දැන් අපි සල්ලහුක - වුත්ති යන්න අවබෝධ කරගෙන සිටින්නෙමු. ඉදින් මින් මතු විපිළිසර නොවන පිsරිසිsදු සිතින් අපට එය උච්චාරණය කළ හැක.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.