පාරවල් නෑ, ජලය නෑ, විදුලිය නෑ, වෛද්‍ය පහසුකම් නෑ
වසර සිය ගණනක්‌ පැරැණි බක්‌මිටියාව ගමට කාගේවත් පිහිටක්‌ නැහැ

අම්පාර - ජයරත්න ගෝනපීනුවල

පාරම්පරික ගැමි ජනතාවක්‌ ජීවත්වන බක්‌මිටියාව ගම්මානය අක්‌. 2012 වපසරියක පවුල් 185 ක්‌ පමණ ජීවත්වන ගම්මානයකි. මෙම පවුල් සංඛ්‍යාවෙන් පවුල් 48 ක්‌ සමෘද්ධිලාභීන්ය. සම්පූර්ණ ජනගහණය 668 කට ආසන්න මෙම බක්‌මිටියාව ගම්මානයේ අතීතය 1818 වර්ෂයටත් පෙර ඌව වෙල්ලස්‌ස කැරලි සමයේ සංක්‍රමණය වූ ජනපදිකයන්ගෙන් ආරම්භ වී ඇත.

දේශපාලනඥයෝ ඡන්ද සංඛ්‍යාව අඩුනිසා ඡන්ද කාලයට පමණක්‌ එම ගම්මානයට ගොස්‌ ඡන්දය ලබාගැනීම හැර ඔවුන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට වැඩි උනන්දුවක්‌ නොගත්හ.

එම තත්ත්වය නිසා ගමට යන පාර සංවර්ධනය වී නැත. සුනාමි ව්‍යසනයත් යුද්ධයත් නිසා පැමිණි රාජ්‍ය නොවන ආයතන ගමට පාර හදන්නට විශාල මුදලක්‌ වෙන්කර භාගයට හැදූ පාලම් බෝක්‌කු පමණක්‌ ජනතාවට දායද කර මුදල් විනාශකර ඇත. ගමට විදුලිය, පානීය, ජලය නැත. ඩිස්‌පැන්සරියක්‌ නැත. බක්‌මිටියාව ගම්මානයේ තිබෙන යුද හමුදා කඳවුරෙන් හදිසි අසනීපයකට බෙහෙත් ගැනීමට ගම්මුන් හුරුවී ඇත. මේ මිනිසුන්ටත් දියුණුවේ අරණලු උදාවිය යුතුය.

වත්මන් ජනාධිපතිතුමාගේ දුෂ්කර ගම්මාන අතුගා දමන සංකල්පයට බක්‌මිටියාව ගම්මානයත් ඇතුළත් විය යුතුය. එම ජනාතාවගේ මූලික යටිතල පහසුකම් හෝ ලබාදීම දේශපාලනඥයන්ගේ වගකීමකි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත ක්‍රියා නිසා මෙම ජනපදිකයන් සෑහෙන ප්‍රමාණයකගේ ජීවිත අහිමි විය. බක්‌මිsයාව ගම්මානයට පන්නල්ගම සිට කි. මී. පහක්‌ පමණ දීර්ඝ වූ මඟ දෙපස විශාල වන සම්පතක්‌ විනාශ කර දෙපස ඉඩම් බෙදාදීමේ ව්‍යාපෘතියක්‌ දියත්කර පන්නල්ගම, තොට්‌ටම, කුමන ජනපදිකයන් සඳහා බිම් කැබලි 100 වෙන්කර ඇතත් එම ව්‍යාපෘතිය ඇනහිට ඇත. කැපූ දැව දකින්නටවත් නැත. වැහි කාලයට බක්‌මිටියාව ප්‍රධාන මාර්ගය පස්‌පලකින් හමුවන දූවිලි ඔය උතුරා කිසිවෙකුටත් එහා මෙහා යැමට නොහැකිව ගමේ කොටුවී සිටින වාර අනන්තය.

ප්‍රධාන ආර්ථිකය වන හේන් ගොවිතැන ඔවුනට දැන් කරගෙන යැමට නොහැකි තත්ත්වයට නීති පැන වී ඇත. මොරාගෙ වැව කේන්ද්‍ර කරගෙන අක්‌. 38 ක්‌ පමණ වී වගාව කෙරුනත් නිසි වාරියෝජනා ක්‍රම සකස්‌ වී නැත. මොරාණවැව ප්‍රතිසංස්‌කරණය කළහොත් අක්‌කර සියගණනක්‌ වගා කිරීමට හැකි වී ඔවුන්ගේ ආර්ථිකය ද ශක්‌තිමත් වනු ඇත. මෙම ගම්මානයේ 50% ක්‌ පමණ වැසිකිළි නොමැතිකම සෞඛ්‍යයටද තර්ජනයක්‌ වී ඇත. වසර සියගණනක්‌ බක්‌මිටියාවේ ජීවත්වන අපේම මිනිසුන් වෙනුවෙන් වත්මන් රජය යටතේවත් අවධානය යොමු නොවුණහොත් ඔවුන්ගේ ඉදිරි පරම්පාරවට අනාගතයක්‌ නොමැති තත්ත්වයකට පත්වීම නොවැළැක්‌විය හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.