ආණ්‌ඩුවෙන් ගසා කෑමේ චාරිත්‍රය

නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්‌ඩපය සෑදීම සඳහා වෙන් කෙරුණු රුපියල් කෝටි 10 ක මුදලින් රුපියල් කෝටි 9 ක්‌ ගසා කා ඉතිරි හරියෙන් විශ්වවිද්‍යාල මණ්‌ඩපය සෑදීමේ පුවත ඊයේ (18) දිවයින මගින් හෙළිs කරන ලදී. මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනා ගිගුරුම් සහිත වැසි දිනවලදී සිය සිරුරුවලට අකුණු සන්නායක සවි කරගෙන සිටීම සුදුසු බව යෝජනා කරමු. කිසියම් රජයේ කටයුත්තක්‌ සඳහා වෙන් කළ මුදලින් සියයට 90 ක්‌ම ගසා කෑම ගැන අපට වාර්තා වූ මුල් අවස්‌ථාව මෙය විය යුතුය. සාමාන්‍යයෙන් ආණ්‌ඩුවේ මුදල් ගසා කෑම චාරිත්‍රානුකූල කටයුත්තකි. ආණ්‌ඩුව කිසියම් කාරණයක්‌ සඳහා මුදලක්‌ වෙන් කළ විට එයින් කීයක්‌ හෝ වංචා නො කළොත් එය විශාල අඩුපාඩුවක්‌ සේ සිතීමේ "චින්තනයක්‌ " අප රටේ ගොඩ නැංවී ඇත. ඒ නිසා කිසියම් රජයේ වැඩකට රුපියල් 10 ක්‌ අවශ්‍යනම් රුපියල් 15 ක්‌ නිකුත් කළ යුතු බවට පිළිගැනීමක්‌ එක්‌දහස්‌ නවසිය අසූ ගණන්වලදී මේ රටේ යෝධ සංවර්ධන වැඩපිළිවෙළක්‌ බාරව ක්‍රියා කළ ඇමැතිවරයකු තුළ විය. රුපියල් 10 ක්‌ නිකුත් කළ විට එයින් රුපියල් 5 ක්‌ ගසා කන නිසා අවශ්‍යකාරිය නිම කර ගත නොහැක. ඒ බැවින් ගසා කෑම සඳහා අමතර රුපියල් 5 ක්‌ තැබුවොත් වැඩෙත් කෙරී ගසා කෑමත් සිදුවී සියලු පාර්ශ්ව අගතියෙන් තොරව සංතෘප්ත වන බව ඇමැතිතුමා කල්පනා කළේය.

ආණ්‌ඩුවේ බඩුවකින් කැබැල්ලක්‌ කඩාගෙන කෑම කිසිදා පාපයක්‌ නොවන බව කල්පනා කරන්නෝ අප අතර බහුල ය. ලංගම බසයට නගින සිසුවා එහි ආසනයේ ඇති රබර් ඇතිරිල්ලෙන් කැබැල්ලක්‌ කඩා එය මිරිකමින් ගොස්‌ ගමනාන්තයේදී බිම දමා බැස යයි. දුම්රියේ විදුලි පංකාව, විදුලි බල්බ යනාදිය මගීන් විසින් ගලවාගෙන යනු ලබන්නේ ගෙදරින් ගෙනා දේ හැටියට සළකා ය. ඒ බැවින් ත්‍රිකුණාමල සරසවි මණ්‌ඩපය සෑදීමට වෙන් කෙරුණු රුපියල් කෝටි 10 න් 9 ක්‌ ගෙදර ගෙන යැම ගැන උවමනාවට වඩා පුදුම විය යුතු නැත. අප පුදුම විය යුතු වන්නේ අදාළ කොන්ත්‍රාත්තුකරුවා හෝ බලධාරියා රුපියල් කෝටි 10 කින් කළ යුතු වැඩය රුපියල් කෝටි 1 කින් නිමවා ළමයින්ට එහි ඉගෙන ගැනීමටත් සළස්‌වා තිබීම ගැනය. මෙසේ ඉතා අඩු මිලට හැදූ සරසවි මණ්‌ඩපය ගව ගාල් කිහිපයක්‌ හා සමාන වීම නොවැළැක්‌විය හැකිය. ගඩොල් සිමෙන්තියෙනුත් බැඳිය හැකිය. මැට්‌ටෙනුත් බැඳිය හැකිය. සිමෙන්තියෙන් බඳින විට මිල වැඩි වන බිත්තිය මැට්‌ටෙන් බඳින විට මිල අඩුවෙයි. එසේම එය කඩා වැටීමේ ප්‍රවණතාවද ඉතා ඉහළ ය. ත්‍රිකුණාමල සරසවි පීඨයේ ළමුන් 350 කට වැසිකිලි 1 බැගින් ඇත. එහි තේරුම එක සිසුවකු විනාඩිය බැගින් ගත කළත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවටම වැසිකිළි යැමට පැය 6 ක්‌ ගතවන බවය. මෙය ඉතා සැළකිල්ලෙන් පරීක්‍ෂාවට ගත යුතු කාරණයකි. අධ්‍යාපනය ඇරඹී දැනටමත් වසර දෙකක්‌ සම්පූර්ණ කර ඇති මේ සරසවිය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතා දැඩි පියවරක්‌ ගැනිමට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක සූදානම් වන බව දැනගන්නට තිබේ. දේශපාලනයේදී මෘදු වුවද පරිපාලනයේදී ඉතා දැඩි ප්‍රතිපත්තිගරුක භාවයක්‌ දක්‌වන එස්‌. බී. දිසානායක ළමයින්ට සිදුවූ මේ අසාධාරණයේදී ඉක්‌මන් පියවර ගනු දැක්‌ම අපගේ ද අභිලාෂයයි.

ශ්‍රී ලංකාවේ උසස්‌ අධ්‍යාපනය මෙන් ද්විතියික අධ්‍යාපනය අමාත්‍යංශය තුළ සිට පාලනය කළ නොහැක. දේශපාලනය විසින් කාබාසිනියා කර දමන ලද විශ්වවිද්‍යාල ක්‍රමය තුළට කි¹ බසින "ක්‍ෂේත්‍ර ඇමැතියෙක්‌" මේ සඳහා අවශ්‍යය. එස්‌. බී. දිසානායකට එසේ වීම ඉතා පහසුය. කලක්‌ තමන් යටතේ පැවැති සමෘද්ධි ව්‍යාපාර ජාලය සමග උපරිම සම්බන්ධකම් පැවැත්වීමට තමන් දේශපාලනය තුළ නොසිටි කාලයේදී පවා එස්‌. බී. ට හැකියාව තිබිණ. සමෘද්ධි ව්‍යාපාරය යනු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජීවයෙන් කොටසකි. එවැනි හැකියාවක්‌ ඇති දක්‍ෂ ඇමැතිවරයකුට මේ රටේ විශ්වවිද්‍යාල දේශපාලනය සමග ගැටීම දුෂ්කර නොවනු ඇති බව අපගේ විශ්වාසයයි. ත්‍රිකුණාමල සරසවියේ සිසු දරුවන් වෙනුවෙන් කැපවීමට හැකිවීම පින්කමකි. නිකම් පින්කමක්‌ නොව පල දෙන පිංකමකි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.