පිරිහුණු මහ පාරේ ඔබ එනතුරු මාරයා බලා සිටී

යහ ගුණයෙන් පෙරටම යනු කැමැති අපේ රියෑදුරු ප්‍රජාව රථ වාහන පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කරන නම්‍යශීලී ප්‍රතිපත්තිය මෙලොව මෙන්ම පරලොවදීත් සාකච්ඡාවට ලක්‌වනවා විය යුතුය. අපේ රියෑදුරෝ ත්‍රිරෝද රිය පැදවීමේ බලපත්‍රයෙන් ගුවන් යානයක්‌ පැදවීමට තරම් නිහතමානී යහ. මහ පාරේ ඉඩ නැත්නම් පදික වේදිකාව දිගේ වුව ගමන් කිරීමට තරම් කාර්යක්‍ෂම යහ. මහ පාර මැද ගලක්‌ තැබුවාක්‌ මෙන් නැවැතී මගීන් එකතු කිරීමට තරම් සංවරශීලීයහ. එයට එරෙහි වන ඕනෑම කෙනකුට (පොලිසියට හැර) ජීවිතයේ කවරදාකවත් නෑසූ තිත්ත කුණුහරුපයෙන් බැනීමට තරම් නිර්මාණශීලී යහ.

මේ සියලු සාධක එනම්, නම්‍යශීලීභාවය, නිහතමානීබව, සංවරශීලීබව සහ නිර්මාණශීලීබව යනාදියෙන් තේරුම් කෙරෙන්නේ සද්භාවයයි. එහෙත් ශ්‍රී ලංකාවේ රියෑදුරන් හා සම්බන්ධ වූ විට මේ වචන සියල්ලම පරිහානිගත ක්‍රියාවන්ට සම්බන්ධ ය. ත්‍රිරෝද රථ ලයිසමෙන් වෙනත් වාහන පැදවීමට යැම මගියාට මෙන්ම පදිකයාට ද මරු කැඳවයි. පදික වේදිකාව දිගේ බස්‌ යැමෙන් පදික වේදිකාව දිගේ ගමන් කරන අහිංසකයෝ මරුට බිලිවෙති. ගල් තැබුවාක්‌ මෙන් පාර මැද බස්‌ නතර කරන විට පිටුපසින් එන වාහනය බසයෙහි ගැටී මහත් අනතුරක්‌ සිදු වෙයි. මගීන්ට පදිකයන්ට හෝ සෙසු රියෑදුරන්ට කුණුහරුපයෙන් බැනීම ඉතා පහත් ක්‍රියාවකි. මේ රටේ ඇතැම් පාසල් සහ විශ්වවිද්‍යාල හැරුණු විට විනයක්‌ ඇත්තේම නැති ස්‌ථානය බවට මහපාර පත්ව තිබේ. කුරුණෑගල - දඹුල්ල පාරේදී කන්ටේනරයක්‌ සහ වෑන් රියක්‌ ගැටීමෙන් එකම පවුලේ හයදෙනකු මියගිය බවට පුවතක්‌ ඊයේ (28 දා) "දිවයිනේ" පළ විය. මළ හය දෙනාගෙන් දෙදෙනෙක්‌a කුඩා දරුවෝ වූහ. අඩි හතළිහකටත් වඩා දිග යෝධ වාහනයක්‌ වන කන්ටේනරයක වෑන් රියක්‌ ගැටීමෙන් සිදුවිය හැකි භයානක අනර්ථය ගැන අමුතුවෙන් කිව යුතුද? තමන් ගමන් කරන වෑන් රිය කන්ටේනර් රියක හැපෙන්නට යන බවට ඇති වන හැඟීම් මාත්‍රයම වෑන් රියේ ගමන් කරන අයගේ හද ගැස්‌ම නැවැත්වීමට ප්‍රමාණවත් ය. කන්ටේනර් රථයක්‌ ඉදිරිපිටදී මගී වෑන් රියක්‌ යනු ගිනිපෙට්‌ටියකි.

මේ රටේ මහ පාරේ විනය 1977 න් පසු ක්‍රමයෙන් රථ වාහන වැඩි වීමත් සමඟම වේගයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. මේ පිරිහීමට මූලිකවම වගකිවයුත්තෝ ප්‍රයිවට්‌ බස්‌කාරයෝ ය. මේ රටේ මහ පාර සුසානයක්‌ බවට පත්කිරීමේ මූලික වගකීම ප්‍රයිවට්‌ බස්‌ රියෑදුරන්ට හිමි ය. ඊළඟට කන්ටේනර් ප්‍රවාහනය මගින් මේ රටේ පාර ඉතාම විශාල තදබදයක්‌ ඇති ස්‌ථානයක්‌ බවට පත්විය. කන්ටේනර් රියක්‌ පාරට දැමූ විට මහ පාර සම්පූර්ණයෙන්ම පාහේ වැසී යයි. එය තිරිංග තද කරන විට අවට ප්‍රදේශයම සලිත වී මහ පාරේ රැලි හටගනී. එය හරවන විට අවට ඇති වාහන පණ බේරාගෙන පැන යා යුතු අතර යම්තමින්වත් කන්ටේනරයක වෙනත් වාහනයක්‌ ගෑවුණොත් ඒ වාහනය කන්ටේනරයේ ඇමිණී මගීහු පරලෝකප්‍රාප්ත වෙති. කන්ටේනර් ප්‍රවාහනයට අදාළ නීතියක්‌ නැත. එබැවින් දවසේ පැය 24 පුරාම කන්ටේනර් මගින් බඩු ප්‍රවාහනය සිදු වෙයි. එහි තේරුම දවසේ පැය 24 පුරාම වාහන තදබදය පවතින බවය. කන්ටේනර් මගින් බඩු ප්‍රවාහනය කිරීම රාත්‍රි කාලයේදී පමණක්‌ කළ යුතු බවට නීතියක්‌ මෙයට කලකට පෙර ප්‍රකාශයට පත්ව තිබිණි. අද ඒ නීතිය ආගිය අතක්‌ නැති අතර කන්ටේනර් දහස්‌ ගණනක්‌ මහ පාරේ අයිතිකරුවන් බවට පත්ව ඇත.

පසුගිය පොසොන් සමය මේ රටේ මහ පාරේ විනය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවට හොඳම සාධකය විය. අනුරාධපුරයේ සහ මිහින්තලයේ වන්දනාවෙහි යන ව්‍යාජයෙන් වෑන් රථවල තිස්‌ හතළිස්‌ දෙනා බැගින් නැඟී මත්පැන් පානය කරමින් සහ කුණුහරුප කියමින් හැසිරුණු ආකාරය අපි ඇසින් දුටුවෙමු. වෙනත් අවුරුදුවලදී කොටින්ට ඇති බිය නිසා කිසිදු වන්දනාවක නොගොස්‌ අකුලාගෙන සිටි ජනයා ත්‍රස්‌තවාදය නැති වීමේ හයිය හිතට ගෙන පොලිසිය ඉදිරිපිටදීම අසංවර ලෙස හැසිරුණහ. මෙවැනි විටදී පොලිසිය ද නිරුත්තර ය. මන්දයත් පොලිසිය එයට විරුද්ධ වුවහොත් එම ක්‍රියාව අර්ථකථනය වන්නේ "අනුරාධපුර වන්දනාවට පොලිසිය විරුද්ධයි" යන මාතෘකාව යටතේය. ඒවාට බිය නොවී නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලමු. මහ පාරේ විනය හැදීම සාමුහික වගකීමක්‌ කර ගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.