පරිසරය සිසිල් කරන විල් හා වැව්

නිමක්‌ නැති වන විනාශයත් කාර්මිකරණයේ වායු දූෂණයත් අවිධිමත් නාගරිකකරණයත් සුවිශාල කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිත් කොන්ක්‍රීට්‌ හා තාර දැමූ පළල් මහා මාර්ගත් යනාදී හේතු රාශියක්‌ නිසා පෘතුවි ගෝලීය පරිසරය නොකඩවා උණුසුම් වෙයි. ජනාකීර්ණ නගරවල ගොඩනැඟිලි තුළ ඇතිවන දරාගත නොහැකි උණුසුමට මුහුණදීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර යොදා ගැනීම නිසා ගොඩනැඟිලිවලින් පිටත පරිසරය තව තවත් උණුසුම් වෙයි. නොකඩවා වැඩි වන මේ උණුසුමට විසඳුමක්‌ වශයෙන් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම වායු දූෂණයට මෙන්ම විශාල බලශක්‌ති විනාශයකට හා ධන නාස්‌තියකට හේතුවේ. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් ඇතැම් රටවල් ගොඩනැඟිලි තුළ ජල තඩාග හා සිසිල් ජල ටැංකි යොදා ගැනීමට පෙළැඹී ඇත. සීත රටවල කාමර උණුසුම් කිරීම සඳහා උණුසුම් දිය පිරි ජල නළ යොදා ගන්නාක්‌ මෙන් උණුසුම් රටවල අධික උෂ්ණත්වයට මුහුණදීම සඳහා ගොඩනැඟිලි තුළ ගොඩනැඟිලි අවට පරිසරයේ දිය පිරි විල් හා ජල තඩාග යොදා ගැනීම ජනප්‍රිය විය හැක. එසේ වුවහොත් එය අපේ ඉපැරැණි අනුරාධපුර රාජධානිය ආදර්ශයට ගත් අරාබිකරයෙන් ආභාෂය ලැබීමක්‌ වනු ඇත.

ඉපැරැණි අනුරාධපුර අගනුවර ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහාත් ස්‌නානය කිරීම හා රෙදි සේදීම ආදී පිරිසිදු කිරීම් සඳහාත් පරිසරයේ උණුසුම අඩු කරගැනීම සඳහාත් නගරය තුළත් නගරය වටාත් ලොකු කුඩා වැව් ඇළවේලි පද්ධතියක්‌ තැනූ බව ඓතිහාසික සත්‍යයකි. අනුරාධපුර නගරයට සම්බන්ධ අභය වැව, තිසා වැව හා නුවර වැව යන මහවැව් තුනම කරවන ලද්දේ ක්‍රිස්‌තු පූර්ව හතර වැනි තුන්වැනි හා දෙවැනි සියවස්‌ තුළදීය. කුඩා අභය වැව විශාල කරන ලද්දේත් තිසා වැව ගොඩනංවන ලද්දේත් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ භක්‌තිමත් බුද්ධිමත් මහා දායකයාණන් වූ දේවානම්පියතිස්‌ස රජතුමාගේ මෙහෙයවීමෙනි. රුහුණේ තිස්‌ස වැව හා යෝධ වැව කරවන ලද්දේ දෙවනපෑතිස්‌ සොහොයුරු මහානාග කුමරුගේ මුණුබුරු කාවන්තිස්‌ස රජතුමා විසිනි. අනුරාධපුර නගරය හා සම්බන්ධ විශාලතම වැව වූ නුවර වැව කරවන ලද්දේ කාවන්තිස්‌ස රජ පුත් දුටුගැමුනු මහරජතුමන්ගේ සොහොයුරු සද්ධාතිස්‌ස රජතුමන් විසිනි. ක්‍රිස්‌තු පූර්ව සියවස්‌වල කරවන ලද වැව් පොකුණු හා ඇළවල් නිසා අනුරාධපුර නගරයත් තිස්‌සමහාරාම නුවර ඇතුළු රුහුණුq මාගම රජදහනත් සිසිල් වූ බව ඓතිහාසික සත්‍යයකි. විහාරාරාම භූමිවල පොකුණු කරවීම ද පන්සල් පරිසරයේ සිසිලස හා පිරිසිදු බව රැක ගැනීමේ පිළිවෙතේ අංගයක්‌ විය. අනුරාධපුර යුගයේ පටන් ශ්‍රී ලංකාව ඇසුරු කළ අරාබි ජනතාවට ද සිංහලේ ආභාෂය ලැබුණු බවට සැකයක්‌ නැත.

අනුරාධපුර රාජධානියේ බුදු සසුන පිහිටුවා සියවස්‌ අටකට පසු බිහිවූ ඉස්‌ලාම් ආගමේ ශාස්‌තෲවරයා වූ මොහමඩ් නබිතුමාගේ මඟපෙන්වීමෙන් අරාබිකරයේ මුස්‌ලිම් දේවස්‌ථාන ගොඩනැඟීමේදී එම දේවස්‌ථාන තුළම ජලාශ පිහිටුවා ඇත. එසේ දේවස්‌ථාන තුළම ජලාශ පිහිටුවන ලද්දේ කාන්තාර පරිසරයේ දුර්ලභ සම්පත වූ ජලය රැකගැනීමේ අවශ්‍යතාවත් පල්ලි තුළ සිසිල් වාතාවරණයක්‌ පවත්වා ගැනීමත් ඉස්‌ලාම් ආගමික යාඥවලට සහභාගිවීමට පෙර කළ යුතු සේදීම් හා පවිත්‍රතා කටයුතු සඳහා විය යුතුය. අද වන විට අරාබි නගරවල සුවිශාල ගොඩනැඟිලි තුළ ද ජල ගබඩා හා ජල ටැංකි පිහිටුවන්නට පෙළැඹී ඇත්තේ ජලය රැක ගැනීමත් පරිසරයේ සිසිලස පවත්වා ගැනීමේ අවශ්‍යතාවත් නිසාය. ලෝකයේ පස්‌ වැනි විශාල ජනගහණය වූ කෝටි විසි හතර ඉක්‌ම වූ මුස්‌ලිම් රාජ්‍යයක්‌ වන ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල සුවිසාල ගොඩනැඟිලි තුළ තට්‌ටුවක්‌ පාසා ජල ගබඩා පිහිටුවන්නට පෙළැඹී ඇත්තේ වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට යොදා ගන්නා පරිසර හිතවාදී ක්‍රියාමාර්ගයක්‌ ලෙසිනි. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය හා ආසියාවේ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය වූ අවධියේ බුරුම, තායි, කාම්බෝජ ආදී රටවල ජනතාව විහාරාරාම සෑදීමේදී හා විහාරාරාම භූමිවල පොකුණු ඇති කිරීමේදී පොළොන්නරුවේ ආදර්ශය ලබා ඇති බව ප්‍රකට කරුණකි. පොළොන්නරු නගරයට ජලය හා සිසිලස ලබාදෙන පරාක්‍රම සමුද්‍රය ඇතුළු ලොකු කුඩා වැව් ඇළවල් පෙරදිග බෞද්ධ රටවලට මෙන්ම පසු කාලයේදී ඉස්‌ලාම් දහම වැළඳගත් ඉන්දුනීසියා, මැලේසියා රටවලට ද ආදර්ශයක්‌ වී ඇත.

ශ්‍රී ලංකාවේ හැම පැරැණි නගරයකම ජල ප්‍රශ්නය විස¹ ගැනීමේ හා පරිසරයේ සිසිලස පවත්වා ගැනීමේ මාර්ගය වූයේ ලොකු කුඩා වැව්, විල්, පොකුණු හා ඇළවල් තැනීමය. වියළි කලාපයට අයත් හැම නගරයකමත් හැම ගමකමත් ජල අවශ්‍යතා ඉටුකර ගැනීමේ හා පරිසරයේ සිසිලස රැක ගැනීමේ වැඩපිළිවෙළට මුල් වූයේ වැව් ඇළ වේලි හා විල්, පොකුණුය. ප්‍රාග් ඓතිහාසික යක්‍ෂ ගෝත්‍රික ජනපදනමක්‌ ඇති කුලියාපිටිය, පන්නල හා බිංගිරිය වැනි සත්කෝරල ප්‍රදේශවල යක්‌විල හා ගෝණවිල වැනි පැරැණි විල්ගම් හමුවන්නේ ඒ ඉපැරැණියක්‌ උරුමය කියා පාන්නට මෙනි. යකුන් බැඳගෙන වැව් කරවූ බවට ජනප්‍රවාද බිහිවී ඇත්තේ ද විල් හා වැව්වලට සම්බන්ධ ඒ යක්‍ෂ ගෝත්‍රික ඓතිහාසික පදනම් නිසා විය හැක. රුහුණේ කරවූ තිස්‌ස වැව හා යෝධ වැව වැනි මහ වැව්වලට ද ඉපැරැණි වීරවිල හා තණමල්විල ආදර්ශයක්‌ වූ බවට සැකයක්‌ නැත. එසේ අතීතයේ උතුරේ උඩුවිල හා නැගෙනහිර සේරුවිල, සුංගාවිල, පොතුවිල පටන් දකුණේ මිරිඡ්ජවිල දක්‌වා වූ විල් ආදර්ශයට ගෙන සෑදූ වැව්, පොකුණු හා දිය පිරි ඇළවල් සැකසීම ජනතාවගේත් මිනිසාට හිතකර ගව, ඇත්, අස්‌, මුව, ගෝණ ආදී සතුන්ගේත් පක්‍ෂීන්ගේත් පවස නිවන, වගා කටයුතුවල ජල අවශ්‍යතා ඉටු කරන හා පරිසරයේ සිසිලස ආරක්‍ෂා කරන ක්‍රියාමාර්ගය විය. රටෙන් තුනෙන් දෙකක්‌ පමණ වූ වියළි කලාපය හිතකර තෙත් සිසිල් පරිසරයක්‌ බවට පත් වූයේ විසිපන්දහස ඉක්‌මවූ ලොකු කුඩා වැව්, විල්, පොකුණු හා ඇළවල් නිසා බව නිසැකය. සිංහලේ අවසන් අගනුවර වූ මහනුවර බෝගම්බර වැවෙන් කොටසක්‌ ගොඩකර බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාගේ මෙහෙයවීමෙන් හැදූ බෝගම්බර බන්ධනාගාරයත්, වැවෙන් තවත් කොටසක්‌ ගොඩකර සුදු නිලධාරීන්ට ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්නට තැනූ බෝගම්බර පිට්‌ටනියත් නිසා නොවන්නට බෝගම්බර වැව අද මෙන් දෙගුණයක්‌ විශාල වනු ඇත. එසේ වී නම් මහනුවර නගරය ලෝකයේ වායු දූෂණයෙන් මුල් තැන ගන්නා නගර අතරට එක්‌වන්නේ නැත.

අතීතයේ පරසතුරු ආක්‍රමණවලට මුහුණදීම අරමුණු කරගෙන හන්තාන කඳුවැටියටත් අනිවත්ත කන්දටත් බහිරව කන්දටත් මැදිවූ සානු බිමක ගොඩනැඟූ මහනුවර නගරය අද වන විට ලෝකයේ වායු දූෂණය වැඩිම නගර අතරට එක්‌වී ලෙඩකර පරිසරයක්‌ බිහිවී ඇත්තේ බෝගම්බර වැවෙන් භාගයක්‌ ගොඩ කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ක්‍රියාමාර්ගය අනුව යමින් නුවර නගරයට ඔරොත්තු නොදෙන වාහන තදබදයකට මඟපෑදූ නව යටත් විජිතවාදී බටහිර අනුකාරක වැඩපිළිවෙළ නිසාය. ලෝක උරුමයක්‌ බවට පත්ව ඇති දළදා මාළිගාව හා බෝගම්බර වැව ඇතුළු පූජනීය සුන්දර පරිසරය රැක ගන්නට නම් බෝගම්බර බන්ධනාගාරය මහනුවර නගරයෙන් ඉවත් කර බන්ධනාගාර භූමිය දියපිරි විලක්‌ බවට පත් කළ යුතුය. එසේම බෝගම්බර පිට්‌ටනිය කාබන් වැඩි ප්‍රමාණයක්‌ අවශෝෂණය කිරීමට සමත්වන ගස්‌ වැල් වර්ගවලින් සැදුම්ලත් උද්භිද උද්‍යානයක්‌ බවට පත් කළ යුතුය. කොළඹ නගරයේ ද බේරේ වැව විශාල කළ යුතුය. කෝට්‌ටේ, කොලොන්නාව, පැලියගොඩ, දෙහිවල, ගල්කිස්‌ස, මහරගම, පිළියන්දල, වත්තල, ජාඇල, කිරිබත්ගොඩ, කඩවත, මොරටුව නාගරික පරිසරයන්හි ද දිය පිරි විල් හා පළල් ඇළ පද්ධතියක්‌ පිහිටුවහොත් එම නාගරික ප්‍රදේශ ද සිසිල් වනු ඇත.

වැඩියෙන් ඉන්ධන දැවෙන වායුසමීකරණය කළ සුඛෝපබෝගී වාහන ගෙන්වීම නිසා ඒ වාහන භාවිත කරන ඉහළ සමාජ පංතීන්ට අයත් වූවන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා විය හැකි වුවත් දිනපතා වෘත්තීය අවශ්‍යතා සඳහාත් ආහාර ඇඳුම් හා බෙහෙත් මිලදී ගැනීම ආදී කටයුතු සඳහාත් අධ්‍යාපනය සඳහාත් නගරවලට එන බහුතර ජනතාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක්‌ එල්ල වනු නිසැකය. එහෙයින් ඉහළ සමාජ පංතීන්ට අයත් වූවන් සඳහා වායුසමීකරණ සහිත සුඛෝපභෝගී වාහන ගෙන්වීම මගින් රටේ විදේශ විනිමය වත්කම් පහළ දමනවා වෙනුවට රට පුරා පාරවල් දෙපස කාබන් වැඩිපුර අවශෝෂණය කරන ගස්‌ වර්ග වැවීමත් සුදුසු තැන්වල දියපිරි විල් හා පළල් ඇළ මාර්ග තැනීමත් උයන්, පොකුණු තැනීමත් විශේෂයෙන් වියළි කලාපය පුරා පැරැණි වැව් ඇළවේලි පිළිසකර කිරීමත් රටේ ආර්ථික සංවර්ධනයට හා මහජන සෞඛ්‍යයටත් මිනිසාට හිතකර සතුන්ගේ යහපතටත් හේතු වනු ඇත. වනාන්තර මැදින් වැටී ඇති මාවත් ඔස්‌සේ යන විටත් වැව් කණ්‌ඩි මතින් තැනූ මාර්ගවල යන විටත් අධික ඉන්ධන දහනයට හේතුවන අන්දමින් වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා කරවූ ගමන්ම ගමනේ යෙදෙන රට, දැය ගැන ගැඹුරු හැඟීමක්‌ නැති අය නිවැරැදි මඟට ගැනීම සඳහාත් පොදු මහජන අභිවෘද්ධිය සඳහාත් වායුසමීකරණය කළ වාහන ගෙන්වීම වෙනුවට බහුජන හිතසුව අරමුණු කරගෙන රට පුරා වැව් ඇළවේලි පිළිසකර කර සුදුසු තැන්වල විල් තැනීමත් පොකුණු සහිත උද්‍යාන කරවීමත් ජාතික අවශ්‍යතාවක්‌ වී තිබේ. ඕලු, නෙළුම්, මානෙල් මල් පිපුණු දියපිරි විල් හා ඇළවල් ඇසුරින් ලැබෙන සිසිලස ජන මනස සන්සුන් කර ශාන්ත භාවයට පත්වීමට හේතුවේ.

එසේ සිසු පරපුරේ හැකියාවන් වර්ධනය කිරීමට ආධාර වන ඖෂධීය ආහාර පැළෑටි සහිත සුන්දර පරිසරයක්‌ මගින් ඓතිහාසික ධර්මද්වීපය නව පණ ගැන්වීම පරිසර අර්බුදයෙන් දැවෙන ලොවටම වැඩදායක ආදර්ශයක්‌ බවට පත්වේ.

දස දහස්‌ සංඛ්‍යාත නටබුන් වැව් ඇළ, වේලි පිළිසකර කර, ශ්‍රී ලංකාව යළිත් වරක්‌ වැව් බැඳි රාජ්‍යය බවට පත් කරන අතරම වැව්ලටත් ආදර්ශයක්‌ වූ ඉපැරැණි ස්‌වභාවික විල් පාදා යුගයේ අවශ්‍යතාව අනුව අලුතෙන් ද විල් සිය ගණනක්‌ හා සරුසාර විල්ගම් දහස්‌ ගණනක්‌ නිර්මාණය කළහොත් ඒ අසිරිය බලන්නට දශ ලක්‍ෂ ගණන් සොබා සෞන්දර්යවාදී සංචාරකයන් සිරි ලක්‌දිවට ඇදී එනු ඇත. ඓතිහාසික වැව් බැඳි රාජ්‍යය නව පණ ගන්වා ලෝක උරුම ලෙස පිළිගැනුණු අනුරපුර පොළොන්නරු පුරාණ නගර හා රට පුරා වන පැරැණි විහාරාරාම අතීත ශ්‍රී විභූතිය විදහා දක්‌වන අන්දමින් ප්‍රතිනිර්මාණය කර පරිසරය පවිත්‍රව තබාගැනීමේ සාර්ථක වැඩපිළිවෙළක්‌ දියත් කළහොත් බුද්ධභූමි වන්දනාවට ඉන්දියාවට ඇදී යන ජන සංඛ්‍යාවට වැඩි පිරිසක්‌ පුංචි ශ්‍රී ලංකාවට ඇදී එනු නිසැකය. එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳෙන මගක්‌ වන අතර දැවෙන ලොව නිවා සනසන විශ්වන්තරවාදී දහම් පණිවුඩය ලොව පුරා පතුරුවන මගක්‌ ද වේ. ලොවටම ආදර්ශයක්‌ වන මේ සොබා පරිසරවාදී ජීව හිතවාදී සංවර්ධන වැඩපිළිවෙළත් සමගම විශ්වන්තරවාදී දහම් පණිවුඩය ලොව පුරා පතුරුවන්නට සමත්වන බෞද්ධ විශ්වවිද්‍යාල කීපයක්‌ තිසාවැව, කලාවැව, පදවිවැව, තිස්‌සවැව, පරාක්‍රම සමුද්‍රය, සේරුවාවිල, මාලිගාවිල, බෙල්ලන්විල ප්‍රධාන වැව් හා සුප්‍රකට විල් සහිත පරිසරයන්හි පිහිටුවීම ද ජාත්‍යන්තර අවශ්‍යතාවකි.

නව යටත් විජිතවාදී ගෝලීය සමාජ අර්බුදයත්, කාර්මිකකරණයේ අහිතකර ප්‍රතිවිපාකත්, නාගරික අධි ජනගහණයත්, වාහන තදබදයත් නිසා වැඩිවන පරිසරයේ උණුසුමත් සමග ඇතිවන අසහනය, ආතතිය හා මානසික නොසන්සුන් භාවය අඩුකිරීම සමාජය පුරා පැතිරෙමින් පවත්නා සාහසික ගති පැවතුම් අඩුකිරීමේ මඟක්‌ ද වේ. කෙතරම් හොඳ අධ්‍යාපනයක්‌ ලබා දුන්නත් පන්සල්. කෝවිල්, පල්ලි ඇසුර වැඩි කලත් අවිධිමත් නාගරික කරණයෙන්, කාර්මීකරණයෙන් වාහන තදබදයත් සමග පරිසරය උණුසුම් වන විට ජන මනස නොසන්සුන් වන හෙයින් ජනතා සිත් සතන් සන්සුන් කරන සුන්දර පරිසරයක්‌ සැකසීම මූලික සමාජ අවශ්‍යතාවක්‌ බවට පත්වී තිබේ. දිය පිරි වැව්, සුන්දර විල්, පොකුණු ඇල පද්ධති හා උද්‍යාන මගින් තෙත් සිසිල් පරිසරයක්‌ ඇති කිරීමේ පියවර නොගතහොත් වියළි කලාපයට ආසන්න තෙත් කලාපීය ප්‍රදේශද කෙමෙන් උණුසුම් වියළි ප්‍රදේශ බවට පත්විය හැක. එහෙයින් එක්‌ අතකින් තෙත් කලාපය උණුසුම්වීම අඩුකරන අතර වියළි කලාපයද හැකි උපරිම මට්‌ටමින් තෙත් සිසිල් කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීම හදිසි ජාතික අවශ්‍යතාවකි. වැව්, විල්, පොකුණු හා උද්‍යාන සහිත හිතකර පරිසරයක්‌ බිහිවීමත් සමග පරිසරය සුන්දර වී සොබා සෞන්දර්යයේ ආශ්වාදයෙන් ජන මනස සන්සුන් වේ. වැව්, විල්, පොකුණු ආශ්‍රිතව වැවෙන ඕළු, නෙළුම්, කෙකටිය, ලුනුවිල ආදී ඖෂධීය ජලජ පැළෑටි ආහාරවලින් ජනතාවගේ ශරීරය මෙන්ම මනසද නිරෝගී වේ. සංස්‌කෘත භාෂාවෙන් බ්‍රාහ්මී යනුවෙන් බ්‍රහ්මයාගෙන් ලැබුණු තෑග්ගක්‌ ලෙසින් හැඳින්වෙන ලුණුවිල ධාරණ ශක්‌තිය වඩවන ඖෂධයක්‌ද වන හෙයින් සිසුන්ගේ අධ්‍යාපන හැකියාව වර්ධනයටද උපයෝගී කරගත හැක.

වැව්, ඇල වේලි, විල්, පොකුණු හා වන උයන් උපයෝගී කරගෙන බුද්ධ භෝගය වූ වී ගොවිතැන දියුණු කිරීමත්, එළවළු, පළා, පලතුරු, ඔසුපැල හා හිතකර සුවඳ විහිදුවන මල් ගස්‌ ආදියෙන් සැදුම්ලත් ගෙවතු වගාවන් සඳහා ජනතාවගේ ගතත් සිතත් සම්මා ආජීව මාර්ගයේ යෙදවීම පරිසර අර්බුදයටත් සමාජ අර්බුදයටත් විසඳුමක්‌ වනු ඒකාන්තය. සොබා පරිසරවාදී ජීව හිතවාදී විශ්වාන්තරවාදී සම්‍යක්‌ දෘෂ්ටියෙහි පිහිටා සම්‍යක්‌ සංකල්පනා උපදවාගෙන යහපත් කර්මාන්තවල යෙදෙමින් සම්මා වායාමය අනුව යහපත් ප්‍රයත්නයක යෙදෙන්නේ නම් අණන සුඛය, අත්ථි සුඛය, භෝග සුඛය හා අනවඡ්ජ සුඛය ලැබෙනු නිසැකය. දැවෙන ලොව නිවා සැනසිය හැක්‌කේ අධික තණ්‌හාව, මෝහය මුල්වූ මිච්ඡා කම්මන්තය වෙනුවට සම්මා කම්මන්තය පදනම් කරගත් සම්මා ආජීව මාර්ගයේ ඉදිරියට යැමෙනි. ලොව ප්‍රධාන ධර්මතාවය වූ සොබා දහමට අනුකූලව සම්‍යක්‌ සංකල්පනා උපදවා ගනිමින් වැව්, විල්, පොකුණු, උයන් සකසමින් වන උයන් ආරක්‌ෂා කරගනිමින් සොබා පරිසරය වඩා හිතකර ලෙස දියුණු කරමින් ජීව ලෝකයේ යහපතට හේතුවන ආකාරයෙන් සම්මා වායාමයේ යෙදෙන ජනතාවට සෑම යහපතක්‌ම සැලසෙනු ඒකාන්තය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.