විදේශ එන්.ජී.ඕ. වලට ජාතික ආරක්‍ෂාවට එරෙහි වීමට ඉඩදිය යුතුද?

"යටත් වූ කොටි මරා දැමූ බව නෝර්වේ පවසයි"
Norway Says Surrendering rebels Killed.

පසුගිය බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ නෝර්වේහි ආරංචි මාර්ග අප හට හදිසි තොරතුරක්‌ දැනුම්දෙමින් කියා සිටියේ ඩැනිඩා (Danida) නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවෙන් පැමිණි මාධ්‍ය කණ්‌ඩායමක්‌ නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් හමුවීමට යවන බවත් ඒ සාකච්ඡාව ඉල්ලා ඇත්තේ ඩැනිඩා සංවිධානය බවත්ය. A meeting with Solheim was requested by the organiscers of the Danida.

මේ රහස්‍ය තොරතුරු ඔස්‌ලෝහි ද්‍රවිඩ ආරංචි මාර්ගද සනාථ කරනු ලැබීය. මෙලෙස ශ්‍රී ලංකාවට සතුරුකම් කළ ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වූ සෝල්හයිම් සමග පසුගිය සිකුරාදා නෝර්වේ විදේශ අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාව ගැන අපි සෙනසුරාදා "දිවයින" පුවත්පතින් (Exclusive) හෙළිකලෙමු.

සිකුරාදා රාත්‍රියේ බ්‍රිතන්‍යය හා යුරෝපා කොටි වෙබ් අඩවි දෙකක්‌ මගින් එරික්‌ සෝල්හයිම් කළ ප්‍රකාශය විසුරුවා හරිනු ලැබීය. වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් යටත්වීමට එකඟ වූ බව ශ්‍රී ලංකා රජයට දැන්වූ බවත් තමා කොටින්ට පැවසුවේ සුදු කොඩි ඔසවා යටත් වන ලෙස බවත් යෑයි සඳහන් කළ සෝල්හයිම් පැය කීපයකට පසු ඔවුන් මියගිය බව සඳහන් වූයේ යෑයිද දක්‌වා ඇත.

මෙහිදී සෝල්හයිම් තවදුරටත් පවසා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ විද්වත් මණ්‌ඩලයට නෝර්වේ රජය පූර්ණ සහාය දක්‌වන බවයි.

මෙහිදී නැඟෙන බරපතල ප්‍රශ්නය නම් විද්වත් මණ්‌ඩලයට එරෙහිව ශ්‍රී ලංකාවේ ජනාධිපති හා රජය සිය දැඩි විරෝධය පළකර සිටියදී ඩැනිඩා සංවිධානය සෝල්හයිම්ගේ සාක්‌ෂියට ප්‍රචාරයක්‌ ලබාගැනීමට මෙරට මාධ්‍ය කණ්‌ඩායමක්‌ ඩෙන්මාර්කයේ සිට ඔස්‌ලෝ වෙත ගෙන ඒමයි.

මාධ්‍ය පුහුණුව ලබාගැනීමට යෑයි දක්‌වමින් ඩෙන්මාර්කයට ගිය විසිදෙනකුගෙන් යුත් කණ්‌ඩායමට කොටි හිතවාදීහු කීපදෙනෙක්‌ද අයත් වූහ.

මේ කණ්‌ඩායම නතරවී සිටියේ ඔස්‌ලෝ නගරයේ පාක්‌ ඉන් හෝටලයේය. රජයේ විද්යුත් නාලිකාවක නියෝජිතවරියන්ද එකී කණ්‌ඩායමට අයත්ය. තමන් පැමිණියේ මාධ්‍ය පුහුණුව ලබාගැනීමට මිසක්‌ යුද අපරාධ ගැන සෝල්හයිම්ගෙන් සාක්‍ෂි ලබාගැනීමට නොවේ යෑයි මාධ්‍ය කණ්‌ඩායම විසින් පැවසිය යුතුව තිබූ නමුත් ඔවුහු සෝල්හයිම් බැහැදැකීමට ගියහ. මේ නිසා මෙකී සිද්ධිය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයකි. මෙහිදී ඩැනිඩා සංවිධානයේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම පැහැදිලිය. මෙයට පෙර නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධ නොරාඩ් ආයතනය මෙරට සෑම ක්‍ෂේත්‍රයකටම සහ පාර්ශ්වයකටම විශාල ලෙස අරමුදල් ලබාදී ව්‍යාජ සාමයක්‌ මවා පෙන්නුම් කිරීමට ක්‍රියාකරනු ලැබීය.

දැන් එම කොන්ත්‍රාත්තුව දියත්කර ඇත්තේ ඩෙන්මාර්ක්‌ විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධ ඩැනිඩා (Danida) ආයතනයයි.

මේ තත්ත්වය මත ඩැනිඩා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.මෙකී සංවිධානයට එරික්‌ සෝල්හයිම් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීම සඳහා ක්‍රියාකිරීමට කිසිදු හිමිකමක්‌ නැත. ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් වැසියන් ඝාතනය කළ බව සනාථකරවීම සඳහා ඩැනිඩා සංවිධානය මේ අයුරින්ම ඇමරිකානු මාධ්‍ය කණ්‌ඩායමක්‌ කාබුල් නුවරට ගෙනයන්නේද? මෑතකදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානයේ සභාපතිනි ලුවිස්‌ ආබර් ප්‍රකාශයට පත්කළ වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව දක්‌වා තිබිණි.

මේ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානයට අරමුදල් සපයන පාර්ශ්වයක්‌ නම් ඩෙන්මාර්ක්‌ විදේශ අමාත්‍යංශයයි. ඩැනිඩා ක්‍රියාත්ක වන්නේ එකී අමාත්‍යංශය යටතේයි. මේ නිසා එරික්‌ සෝල්හයිම්ගේ දෙපා ළඟට මාධ්‍ය කණ්‌ඩායමක්‌ ගෙන යැමට ඩැනිඩා සංවිධානය ක්‍රියාකර ඇත්තේ මෙරට රජයටත් ආරක්‍ෂක බලධාරීන්ටත් එරෙහිවය. ඩෙන්මාර්කයේ ඩැනිඩා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ මෙකී ක්‍රියාදාමයෙන් සනාථ වන්නේ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන තවදුරටත් යුද ජයග්‍රහණය පරාජය කිරීමට රහස්‌ සැලසුම් දියත් කිරීමයි.

රජය මෙහිදී අවධානයට ලක්‌ කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ මාධ්‍ය පුහුණුවට යෑයි කියමින් ඩෙන්මාර්කයට ගෙන ගිය මාධ්‍ය කණ්‌ඩායම එරික්‌ සෝල්හයිම් මුණගැසුණේ කුමකටද යන්නයි. මෙයට තෙමසකට පෙර නෝර්වීජියානු රජය ශ්‍රී ලංකාවට වෙනත් ඉල්ලීමක්‌ කරමින් වන්නි මෙහෙයුම් අවසාන අදියරේ සිදුවූ ක්‍රියාදාමය හෙළිකරන්නැයි ඉල්ලා තිබිණි.

මේ ඉල්ලීම රජය විසින් එකහෙළාම ප්‍රතික්‍ෂේප කෙරිණි. දැන් සෝල්හයිම් බෑන් කී මුන්ගේ විද්වත් මණ්‌ඩලයට පසුපස සිටින එක්‌ ප්‍රධාන පාර්ශ්වයක්‌ වන්නේ එරික්‌ සෝල්හයිම්ය. කොටි නායකත්වය බේරාගැනීමට දැඩි උත්සාහයක්‌ ගත් සෝල්හයිම්ගේ අලුත්ම උත්සාහය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් කර රජයෙන් පලිගැනීම බව පැහැදිලිය. පසුගිය වසරේ මැයි 20 වැනිදා එරික්‌ සෝල්හයිම් විසින් නෝර්වේහි ඇප්ටන් පෝස්‌ටන් පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් තමාගේ යාළුවන් (කොටි) සියලු දෙනා මැරිලා යෑයි දන්වා තිබිණි. මේ නිසා බෑන් කී මුන්ගේ විද්වත් මණ්‌ඩලයට ඔහු පූර්ණ සහාය දක්‌වන හේතුව තේරුම් ගැනීම අපහසු නොවේ. එහෙත් සෝල්හයිම්ට උදව් කරන විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වන්නේ කොළඹ සිටය.

එන්. ජී. ඕ. මහලේකම් කාර්යාලය සහ එන්. ජී. ඕ. කටයුතු ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නිසා රජය නොපමාව මේ ආරක්‍ෂාවට එරෙහි විදෙස්‌ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පන්නා දැමිය යුතුය. මෙයට හොඳඹ නිදසුන ඩෙන්මාර්කය හරහා මාධ්‍ය කණ්‌ඩායමක්‌ සෝල්හයිම්ගේ පාමුලට ගෙනයැමයි. රුසියාවේ ආරක්‍ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ක්‍රියාකරන එන්. ජී. ඕ. නායකයන් මොහොතක්‌වත් රුසියාව තුළ තබාගැනීමට මම ක්‍රියානොකරන්නේ යෑයි රුසියානු අගමැති වැලැඩ්මීර් පුටිං වරක්‌ පැවසීය. එසේනම් ඩැනිඩා වැනි එන්.ජී.ඕ. සංවිධාන අරමුදල් සපයමින් දියත් කරන කුමන්ත්‍රණවලට ඉඩදිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.