අලිමිනිස්‌ අරගලයේ අවසානයක්‌ වෙනුවෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වියළි කලාපීය වනාන්තර හා වන අලින්ගේ නිජ බිම් ආශ්‍රිතව හටගෙන ඇති අලි මිනිස්‌ ගැටුම නමින් පාරිභාෂිත පරිසර ගැටලුව දින දිනම උග්‍ර අතට පත්වන්නේ එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයට බරපතල ගැටලු රැසක්‌ ඇති කරමිනි. මෙම අර්බුදයට පිළියමක්‌ ලෙස ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන අලි ඇතුන් තමන්ගේ නිජබිම් (Home Range) වලින් පළවා හැර වනජීවී රක්‍ෂිත වෙත කොටු කිරීම සම්බන්ධයෙන් අප ඉකුත් වසරේ දෙසැම්බර් මස පළමු වැනිදා සොබාසර මගින් සාකච්ඡාවට බඳුන් කළේ එවැනි අලි පළවා හැරීම් දෙකක්‌ (Elephant Drive) දිවයිනේ වයඹ වනජීවී කලාපය තුළ සිදුකෙරෙමින් පවතිද්දීය.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස මිය යමින් සිටින බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා පෙන්වා දෙමින් තිබියදී (අපද මේ පිළිබඳ සොබාසර ඔස්‌සේ කරුණු දක්‌වා ඇත්තෙමු) පවා ඉකුත් වසරේ අලි පළවා හැරීම් සංවිධානය කෙරුණේ අලි මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යළි යළිත් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව වඩාත් තීරණාත්මක සංධිස්‌ථානයකදී බව අපි පෙන්වා දුනිමු. නමුත් අවාසනාවක තරම නම් ඉකුත් වසරේ අලි මෙහෙයුමක්‌ ව්‍යර්ථ වූ පසුබිමක ප්‍රදේශවාසීන්ගේ හා දේශපාලන බල අධිකාරියේ බලපෑම මත යළිත් වයඹ කලාපයේ මහා පරිමාණ අලි පළවා හැරීමක්‌ සංවිධානය කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී තිබීමයි.

එහෙයින් වනජීවීයේද වන අලින් පිළිබඳ පර්යේෂකයන්ගේද ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්ගේද අදහස්‌ විමසමින් අලි නිජ බිම් උදුරාගෙන මෙම ගැටුමට පිළියම් සෙවිය හැකිද යන පැනයට විසඳුමක්‌ සෙවීමට අප තැබූ මුල් පියවරෙන් ඉක්‌බිති යළිත් අපට ඒ සඳහා ඉදිරි පියවරක්‌ තැබීමට මෙම වට පිටාව වඩාත් සුදුසු බව අපගේ විශ්වාසයයි. වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින්ද තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් 280 ක්‌ පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි. පසුකාලීනව වෙහෙරගල ව්‍යාපෘතිය මගින් ලැබෙන දියවරෙන් හෝ මෙම තත්ත්වය පහව යනු ඇතැයි අපේක්‍ෂා කළද අදත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය අලින්ගේ සුසාන භූමියක්‌ බවට පත්ව ඇති බව අදාළ වගකිවයුත්තන් පිළිගත යුතුය.

එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව මෑතකදී අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන්ද අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යැමට පටන්ගෙන ඇති බව කරලියට පැමිණි කාරණයකි. අදත් යාල හා ලුණුගම්වෙහෙර වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයැම එම වන උද්‍යාන වල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

මෙවැනි පසුබිමක්‌ තුළ අප අලි මිනිස්‌ අරගලයේ අවසානයක්‌ වෙනුවෙන් මෙරට මෙන්ම විදෙස්‌ රටවල් රැසකද අත්දැකීම් බහුල අලි ඇතුන් පිළිබඳ පර්යේෂණයෙහි ලා ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරා- ප්‍රනාන්දු මහතා සමග සංවාදයක්‌ ඇති කර ගතිමු. එහිදී මේ වන විට අවසානයක්‌ නොමැති අවසානයකට පැමිණ තිබූ වයඹ අලි මෙහෙයුම හා එයට අදාළ ඨඡී චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි පළඳවනු ලැබූ අලින්ගේ හැසිරීම් රටාවන් සම්බන්ධයෙන්ද අප මුලින්ම අවධානය යොමු කළෙමු.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේද සාමූහිකත්වයෙන් සිදුකෙරුණු මෙම කරපටි පැළඳවීම්වලට ලක්‌ කළ අලි ඇතුන් කේන්ද්‍රකොට ගත් එම පර්යේෂණ දත්ත මගින් පෙන්වා දෙන්නේ වයඹ කලාපයේ අලි රංචු පළවා හැරීමට භාජනය කළ විට ගමන් කරන්නේ ඔවුන්ගේ නිජ බිම් නොඑසේනම් වාසභූමි තුළම පමණක්‌ බවය. මෙම කලාපයේ ජීවත්වන අලි ඇතුන්ගෙන් අති මහත් බහුතරයක්‌ තමන්ගේ වාස භූමි පවත්වාගෙන යනු ලබන්නේ වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව වන අතර ඔවුන්ගේ පාරම්පරික වාස භූමි වලින් පිටතට මෙම අලි රංචු ගෙන ඒමට දැරූ උත්සාහයන් (2009 වයඹ අලි මෙහෙයුම) ද මුළුමනින්ම අසාර්ථක විය. එහිදී මාස දෙකකට ආසන්න කාලයක්‌ තම වාස භූමියේ කෙළවරට කොටුවී සිටි වයඹ කලාපයේ අලි රංචු ඒ කාලය තුළ අවට ගම්මාන කිහිපයකටද ගැටලු ඇතිකර යළිත් විදුලි වැට බිඳගෙන තම නිජ බිම පුරා පැතිරී ගිය බව දක්‌නට ලැබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ වැඩි මහලු පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි මිනිස්‌ ගැටුම විසඳීමට ලැබෙන දායකත්වය කෙබඳුද යන්න යළි යළිත් සඳහන් කළ යුතු නැත. එම කාරණය තවදුරටත් විද්‍යාත්මකව සපත කරමින් වයඹ මෙහෙයුමට පෙර කරපටි පැළඳවූ තනි අලියෙකු වූ "වීරා" නම් හස්‌ථියා අලි පලවා හැරීම මඟ හැර දළදාගම දෙසට සංක්‍රමණය වී එය අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණ තිබේ. මේ ආකාරයෙන් අලි පලවා හැරීම අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව පිරිමි වල් අලින් 15 ක පමණ වාර්තා වූ බවත් ඔවුන් මිනිස්‌ ජනාවාසවලට එළැඹ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කරන බවත් මේ වන විට රහසක්‌ නොවේ.

මේ ආකාරයෙන් වසරක්‌ පාසා තව තවත් අසාර්ථක අලි ඇතුන් පැන්නීම් මගින් ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම නුදුරු අනාගතයේදී වඩාත් භයානක ප්‍රතිඵල උදාකරනු ඇතැයි උපකල්පනය කළ හැක. එසේම අඳුරු අනාගතයේ පෙර දැක්‌මක්‌ ලෙස පසුගිය අවුරුදු කිහිපය තුළ වයඹ කලාපයේ දිගින් දිගටම සිදුකෙරුණු අලි පළවා හැරීම් හා වාස භූමි හීන වීමත් සමග අලි මිනිස්‌ ගැටුමද සීග්‍ර ලෙස වර්ධනය වූ බව කිව හැකිය. මේ සම්බන්ධයෙන් තවත් හොඳම උදාහරණයක්‌ ඔස්‌සේ දකුණු වනජිවී කලාපයේ අලි රංචු ගම් වැදීම සිදුනොකරතත් එම රංචු වලින් බිහිවන පිරිමි සතුන් කිහිප දෙනෙකු ප්‍රශ්නකාරී හැසිරීම් දැක්‌වීමයි. එසේනම් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන වයඹ කලාපයේ අලි රංචු අද ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ මගින් බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ මේ වන විට වයඹ කලාපයේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම් හා වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත අවශේෂ කැළෑ සහ අත්හරින ලද ඉඩම්ද ප්‍රමාණවත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගත හැකි බව ආචාර්ය පෘථිවිරා- ප්‍රනාන්දු මහතාගේ මතයයි. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට වැදීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

අලි මිනිස්‌ ගැටුමට විසඳුමක්‌ සෙවීමේදී වගා දේපළ හා භෞතික ආපදා වෙනුවෙන් වන්දි ගෙවීම හා රක්‍ෂණ ක්‍රම හඳුන්වාදීම ප්‍රමුඛ කාර්ය භාරයක්‌ විය යුතු බව අවධාරණය කළ යුතුය. නමුත් මෙම වගකීම පැවරිය යුත්තේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පමණක්‌ නොවේ. එම දෙපාර්තමේන්තුවට වන්දි ගෙවීමේ සෘජු වගකීම පැවරීම තුළින් හටගෙන ඇති ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්‌ම හඳුනාගත හැකි බැවින් මිනිසුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම්, සමාජ සේවා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධානද මෙම කටයුත්තට මැදිහත් කර ගැනීම මෙන්ම රක්‍ෂණ සමාගම්ද මැදිහත්කර ගෙන රක්‍ෂණ ක්‍රමෝපායයන් සැලසුම් කිරීම වැදගත් වේ.

මෙහිදී මෙම ගැටලුවට මුහුණ දෙන ජනතාවගේ ආකල්පමය වෙනසක්‌ ඇතිකර ඔවුන් මේ ප්‍රශ්නය දෙස බලන ආකාරයේ නව නැමීමක්‌ ඇති කිරීමද සඵල දායකය. එසේම අලි ඇතුන් සංරක්‍ෂණය හා පරිසරයට ලැදියාවක්‌ දක්‌වන පිරිස්‌ පුද්ගලයන් මෙන්ම රාජ්‍ය නොවන ආයතනද මෙම කාර්යයේදී දායක කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. අප අපගේ මතු පරම් පරාවන් උදෙසා අලි සම්පත රැක ගත යුතුය යන කරුණ වඩාත් සමාජගත කිරීම මගින් මේ සඳහා අවශ්‍යකරන නැඹුරුව තවදුරටත් වර්ධනය කළ හැක.

එසේම ආසියානු අලින් නැරඹීමට ඇති වඩාත් සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව හැඳිaන්විය හැකි නිසා මෙරට වන අලි සම්පත සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ආකර්ශනයක්‌ බව පත් කර එමගින් ලැබෙන විදේශ විනිමය මගින් කොටසක්‌ වන අලි සංරක්‍ෂණයට අලි මිනිස්‌ ගැටුමෙන් බැටකන ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කර ගැනීමටත් යොදා ගැනීම වඩාත් ප්‍රායෝගික බව කිව හැකිය.

ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි ආසියානු හස්‌ථි ජනගහනය පැතිරී සිටින රටවල් 12 ක ප්‍රමාණය හා සස¹ බැලීමේදී ශ්‍රී ලංකාවේ වන අලින් සංරක්‍ෂණය ඉදිරියෙන් පැවතියද අප තවදුරටත් එම තත්ත්වය නඟා සිටුවා ගත යුතු බව අවධාරණය කළ යුතුය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.