හැඬූ කඳුළින් සිංහරාජයේ පණු දළයා ඔබට ලියයි

සිංහරාජයේ වාසය කරන අවසන් අලි තිදෙනාගෙන් මම ඔබ විසින් කරදරකාරිම අලියා වශයෙන් හඳුන්වනවා නොඅනුමානය. එහෙත් මගේ දුක්‌බර කතාව ඔබට මෙසේ ලියා තැබිය යුතුයි. කිරි දරුවකු තම මවගේ පපුවේ ගැස්‌මට ආදරය කරන ලෙසින් මගේ ශෝකී රාවය ද ඔබේ හදවතට දැනෙනු ඇතැයි මා දැඩි සේ විශ්වාස කරමි. කාලයක්‌ තිස්‌සෙ සැලසුම් සකස්‌ කරමින් සිංහරාජයේ දිවි ගෙවන හස්‌තිරාජයන් වන අප මෙසේ කැලයට ගෙන ගොස්‌ දමන්නට උත්සාහ කළ බව ඔබ දන්නා කරුණකි. යළිත් අප තිදෙනා යාල කැලයට ගෙන ගොස්‌ දමන්නට උත්සාහ දියත් වෙමින් පවතී. නමුත් සිංහරාජයෙන් අධ්‍යාපනික, පාරිසරික හා සෞන්දර්යාත්මක වශයෙන් විපුල පල ලබා ගන්නා ඔබ ඒ සොඳුරු වන පියසෙන් අපව පිටමං කරන්නට දරන උත්සාහය අපට තේරුම් ගත නොහැකි ගැටලුවකි. අවසන් අලි තිදෙනා වශයෙන් සිංහරාජයේ දිවි ගෙවන අප ශ්‍රී පාද අඩවියේ සිටින අපේ නෑදෑයින් හැරුණු විට මෙරට තෙත් කලාපයේ වනාන්තරයක වෙසෙන අවසන් අලි තිදෙනාය. අපගේ චර්යා රටාවන්ට අනුව ජීවිත කාලය තුළ වර්ග කි.මී. 50-200 අතර ප්‍රදේශයක අපි සැරිසරමු. ඒ අනුව වසරේ මාස දෙක තුනක කාලයක්‌ විටින් විට අපි සිංහරාජය අවට ගම්මාන කිහිපයකට ගමන් කරමු. සිංහරාජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කජුගස්‌වත්ත, මානික්‌කවත්ත, කෝප්පකෑල්ල, ලියනෙක්‌කන්ද, සයිප්‍රස්‌, රඹුක 4 කණුව ඉලුඹ කන්ද වැනි ගම්වලට අපි එලෙස ගමන් කරමු. එහෙත් මෙම ගම්මානවල ජනතාවට කිසිදු හානියක්‌ නොකරන්නට වග බලා ගන්නා අප කෙසෙල් ගසක්‌ පොල් ගසක්‌ ආහාරයට ගන්නා ඇත. ඒත් ලංකාවේ අනෙක්‌ ප්‍රදේශවල ජීවත් වන අලින් මෙන් කිසිවිටෙකත් මුළු වගාවට හානි කර පසුව ගෙවල්ද බිඳ වී ටික ද කා දමා යන අයුරින් නොවේ.

අප ඕනෑ තරම් ඉහත ගම්වල නිවාස ළඟින්ම ගියත් මේ දක්‌වා එක නිවසක්‌ වත් කඩා හානිකර නොමැත. නමුත් නොහික්‌මුණු මිනිසුන්ගේ කරදර දරා ගත නොහැකිව මේ දුක ඔබට කියන මාගේ පාදයෙන්ම යටකර දෙදෙනකු මරා දැමීමට මට සිදුවිය. එකී සිදුවීම් සංවේදීව අසන්නට තරම් මැදිහත් හතවත් ඔබට ඇතැයි මම විශ්වාස කරමි. වරක්‌ මා ගමකට ගිය විට කාන්තාවක්‌ මා හට ගිනි පෙල්ලකින් දමා ගැසුවාය. වේදනාව ඉවසගත නොහැකි වූ මා හට ඇය පාගා දැමීම හැර කළ යුතු දෙයක්‌ නොවීය. තවක්‌ වරෙක මා ගමකට පැමිණි විට අධික බීමතින් යුතු අයෙක්‌ මාගේ වල්ගය කපාගෙන එන බව පවසමින් මා හට අලිවෙඩි ගසමින් මා ළඟටම පැමිණුනි. ඒ මොහොතේ මට ඇති වූ කෝපයත් වේදනාවත් එම මිනිසාගේ ජීවිතය අවසන් කරන්නට හේතු විය.

සිංහරාජය අවට ගම්වල බොහෝ පිරිසක්‌ අපට ආදරය කරන අතර ටික දෙනකු අපට විවිධ කරදර කරයි. ඔවුන් මට කිහිපවිටක්‌ම වෙඩි තබා ඇත. මගේ ඇඟ තුවාල වී ඇත්තේ පැට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ කිරීම නිසාය. මෙවන් කරදර පීඩා ද ඉවසමින් සුපිරිසිදු ජලයෙන්, සුපිරිසිදු වාතයෙන් පෝෂිත නිමැ වූ වන බිමක්‌ වන සිංහරාජයේ සත්ව ප්‍රජාවට අභිමානයක්‌ ගෙන දෙමින් එහි වෙසෙන අප සිංහරාජය අවට ගම් කිහිපයකට කරදරයක්‌ යෑයි සලකමින් අප එයින් පිටමං කරන්නට උත්සාහ කරන්නේ ඇයි ද යන්න අපට නොතේරේ. ඔබ විසින් අපව සිංහරාජයෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය දිනෙක සිංහරාජයේ අපේ මිතුරන් වූ මුව පොවුවන්, දිවියන්, රාජාලියන්, කැහිබෙල්ලන්, මැඩියන්, බුලත් හපයන්ගේ හදවත්වල අපගේ සමුගැන්ම නිසා ඇතිවන වේදනාව පාළුව හා හුදෙකලාව මිනිසුන් වශයෙන් ඔබට තුරන් කළ හැකිදැයි මට නොදනිමි.

සිංහරාජයේ අපව අල්ලා යාල කැළේට රැගෙන යන්නට උත්සාහ කරන බලධාරීන්ට නොතේරෙන එහෙත් අපට තේරෙන කරුණු කිහියක්‌ මා ඔබට පවසමි. සිංහරාජයේ ජීවත්වන අප උපතේ සිටම වසර 30 කට වඩා මෙහි ජීවත්ව ඇත. එනිසාම අපි තෙත් කලාපීය වනාන්තරයක දේශගුණික ලක්‌ෂණවලට අනුවර්තනය වී සිටිමු. සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී 3000-5000 අතර වේ. නමුත් අප ගෙන ගොස්‌ දමන්නට උත්සාහ කරන යාල වනෝද්‍යානය වියළි කලාපය වනෝද්‍යානයක්‌ වන අතර එහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 750 කටත් අඩුය. සැමදා වැස්‌ස ලැබෙන සිංහරාජයේ දිවි ගෙවූ අප වසරේ වියළිම කාලයට එහි ජීවත්වන සතුන් පවා ජලය නොමැතිව මියයන යාලට ගෙන ගොස්‌ දමන්නට අප කළ වරද කුමක්‌දැයි කියනු මැන.

සිංහරාජයේ අප ඇවිද යන හැම අඩි පාරකම මෙහි ජීවත් වූ අපේ පරපුරේ අතීත මුතුන් මිත්තන්ගේ මතකය රැඳී ඇත. එම අඩි පාරවල් ඔස්‌සේ ඇවිද යමින් අප සිංහරාජයේදී ආහාර වශයෙන් ගත් ප්‍රධාන දේවල් යාලදී කිසි දිනෙක අපට හමු නොවනු ඇත. සිංහරාජය තුළ අපේ ප්‍රධාන ආහාර වන්නේ කිතුල් බට, වේවැල්ය. නමුත් මේ කිසිවක්‌ නොමැති යාලට අපව රැගෙන යන්නට ඔබ උත්සාහ කරන්නේ නම් එය කුසගින්නෙන් යුතුව මරණයේ එලිපත්තටම යැමට අපට කරන ආරාධනාවක්‌ බඳු නොවේද?

හරිත වර්ණයෙන් ගැවසීගත් සදා හරිත වනපෙතක්‌ වන සිංහරාජය යුනෙස්‌කෝ සංවිධානය මගින් 1989 සිංහරාජයේ පවතින ජෛවීය හා පාරිසරික අගය සැලකිල්ලට ගෙන මිනිසා හා ජෛව ගෝල වැඩසටහන යටතේ ලෝක උරුම රක්‌ෂිත වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ඔබ නොදැන සිටින්නට හේතුවක්‌ නැත. එසේම එවන් ලෝක උරුම රක්‌ෂිතයකින් ශාක සත්ව හෝ ජානමය වශයෙන් කිසිවක්‌ පිටතට රැගෙන යැම හෝ එලෙසම පිටතින් කිසිවක්‌ එම ස්‌ථානයට රැගෙන ඒම නීති විරෝධීය. එසේ නම් සිංහරාජයේ අප එයින් පිටතට රැගෙන යැම නීති විරෝධී මෙන්ම එහි ලෝක උරුමය ද කෙළෙසා දැමීමක්‌ බව ඔබ තේරුම් ගත යුතුමය.

සත්ව සමාජයේ ජීවත් වන අලින් වන අපට වඩා මානව සමාජයේ ජීවත් වන දැනුමින් මුහුකුරා ගිය ඔබ දැනගත යුතු තව එක්‌ දෙයක්‌ ඇත. එනම් ජෛව පද්ධතියක එක පුරුකක්‌ ඉවත් වුවහොත් එම පද්ධතියම කඩා වැටෙන බවය. සිංහරාජයේ ජෛව විවිධත්වයේ ප්‍රධාන පුරුකක්‌ වන අප ඉන් ඉවත් වුවහොත් එම පද්ධතියද කඩා වැටිය හැකි නොවේද?

සිංහරාජයේ අපි කරදරයක්‌ යෑයි එහි අවට ගම්වල සමහරුන් සිතනතාක්‌ කල් අපගේ ජීවිත දැඩි අවදානමක පවතින බව යළිත් මා ඔබට මතක්‌ කරමි. එම විරසකය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද අපි ඔබට යෝජනා කරමු. අප ගමට පැමිණි විට එක්‌ අයෙක්‌ අලි වෙඩි පත්තු කරන අතර පසුව මුළු ගමම විටෙක අප වටකර අලි වෙඩි පත්තු කරති. එවන් විටෙක අපට කැලයට යා ගත නොහැකිය. එසේම මීට මාස 2 කට පෙර කැකිල්ලපිටිය ගමට ම පැමිණුන විට ගමේ අය මං වටකර අවට කැලෑ කුට්‌ටිවලට ගිනි තැබුවේය. එදාද මට කැලයට යා ගත නොහැකි විය. තවත් හද කම්පා කරවන සිදුවීමක්‌ මීට මාස 5 කට කලින් සිදු විය. සිංහරාජයේ අප වැඩිපුරම ගැවසෙන තැනක්‌ වන්නේ හඳපාන් ඇල්ල ප්‍රදේශයේය. එම ප්‍රදෙAශයේ අප කෑමට ඇලුම්කරන බට පඳුරු ඇත. ඒත් එම ප්‍රදේශයේ පතල් ගැරූ අය අක්‌කර 5 ක ප්‍රදේශයක්‌ ගිනි තබා විනාශ කළේය. මිනිසුන්ගේ ඉහත නොහොබිනා ක්‍රියා නොසලකමින් අප පමණක්‌ කරදරකාරයන් යෑයි ඔබ සිතන්නේ නම් එය ඔබ මානව සංහතියටම කරන නින්දාවක්‌ බවත් සලකන්න. අප ගමට පැමිණි විට ඒ බව ගමේ අනෙක්‌ අයට දන්වන්නේ කෙසේද? අපට අලි වෙඩි දමන්නේ නම් එය කරන්නේ කෙසේද? ජීවිත හා දේපළ හානි ඇති නොවී අපව ප්‍රකෝප නොවන ආකාරයට අප නැවත කැලයට යවන්නේ කෙසේ ද කියන කාරණය සිංහරාජය අවට ගම්වල ගැමියන්ට කියා දෙනු මැන. එසේ වුවහොත් ගැමියන් සහ අප අතර නිහඬ සහජීවන ගිවිසුමක අරුණලු සිංහරාජයේ විසල් රුක්‌ යොමු අතරින් මතු වනු ඇත.

අපේ පරපුරේ අලින් 1400 ක්‌ මරා දැමූ මේජර් රොජස්‌ නමැත්තා 41 වැනි වියේදී මියගියේ අලියකුට වෙඩි තැබීමට සූදානම් වන මොහොතේ අකුණක්‌ වැදීමෙනි. නුවරඑළියේ ඔහුගේ සොහොනට අදද අකුණු ගසයි. අප සිංහරාජයෙන් පිටමං ඔබේ හිස්‌වලටද ඔබේ සොහොන්වලටද ස්‌වභාවධර්මයා ඒ දඬුවම දෙනු ඇත. මතු භවයක හෝ සිංහරාජයේ ඉපදෙන්නට අප පාරමී දම් පුරමී. ඔබ අපව සිංහරාජයෙන් රැගෙන ගිය දිනෙක ඔබ සිංහරාජයට පැමිණ මෙහි ඇළ දොලවල ගලා බසින පළිඟු කැට වන් දිය දහරේ පහස විඳින්නේ සිංහරාජයේ සුපිපි කුසුම්වල මකරන්දයෙන් පිරිගිය මඳ පවනේ රසය විඳින්නේ කෙලෙසදැයි අපට පවසනු මැන........

මීට

සිංහරාජයේ "පණු දළයා"
ප්‍රසාද් හරින්ද කුමාර
පින්තූර- රඹුක e- Village සහ පුෂ්පලාල් ඉන්දික

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.