ඔස්‌ට්‍රේලියාවේ නව අගමැතිනි වැඩ ආරම්භ කරයි

වොෂිංටනය

ඔස්‌ටේ්‍රලියාවේ පළමු අගමැතිවරිය ලෙස පත් වූ ජුලියා ගිලාර්ඩ් වෙත ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සුබ පතමින් කියා සිටියේ ඈ සමග එකට එකතුව වැඩ කිරීමට තමා සූදානමින් සිටින බවය. හතළිස්‌ අට හැවිරිදි ජුලියා වේල්ස්‌හි උපත ලැබුවෙකි. ඔස්‌ටේ්‍රලියාවේ හිටපු අගමැති කෙවින් රද්ට අගමැති ධූරය අහිමි වුයේ එක්‌තරා ආකාරයක කුමන්ත්‍රණයකින් පසුවය.

ජනාධිපති ඔබාමා සමග පැවැති සාකච්ඡාව විනාඩි විස්‌සක පමණ කාලයක්‌ පුරා පැවැති ඇති අතර එහිදී ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්‌ථානයේ පවතින යුද්ධයට ඔස්‌ටේ්‍රලියාවේ සහය තවදුරටත් පෙර පරිදිම ලැබෙනු ඇති බවය.

ඇෆ්ගනිස්‌ථානයේ විදේශීය හමුදා රඳවා සිටීම සම්පූර්ණයෙන් අනුමත කරන බවත් මේ පිළිබඳව ඔස්‌ටේ්‍රලියාවේ කැපවීම ඇමරිකානු ජනාධිපතිවරයාට අනාගතයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් ඈ සඳහන් කළාය.

දැනට ඔස්‌ටේ්‍රලියානු භටයන් 1500 ක්‌ ඇෆ්ගනිස්‌ථානයේ සේවයෙහි නිරතව සිටින අතර මේ මාසය තුළ භටයන් පස්‌දෙනෙක්‌ මරණයට පත් වී ඇති බවද වාර්තා වේ.

ඇෆ්ගනිස්‌ථානු හමුදා එරට ආරක්‍ෂාව භාර ගන්නා තෙක්‌ ඔස්‌ටේ්‍රලියානු හමුදා එහි සිටිනු ඇති බවත් ඈ සඳහන් කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.