අබිරහස්‌ මළ සිරුරක්‌ සැඟවීමට ගිය
ඕ. අයි. සී. හා ව්‍යාපාරිකයා පැය 48ක්‌ පොලිසියේ රඳවයි

හේමන්ත රන්දුණු සහ නලීන් හෙන්දුරුගොඩ

අබිරහස්‌ අන්දමින් මරුමුවට පත් වූ ඉන්දියන් ජාතික තරුණයකුගේ මළ සිරුර මුන්දලම කන්දතොඩුවාව ප්‍රදේශයේදී මුහුදට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන පුෂ්පලාල් ද සිල්වා සහ මරියානායගම් ලෙස්‌ලි රාඡ්කුමාර යන ව්‍යාපාරිකයා පැය 48 ක්‌ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය වෙත භාර දීමට පුත්තලම මහෙස්‌ත්‍රාත් සේසිරි හේරත් මහතා ඊයේ (28 වැනිදා) නියෝග කළේය. මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

මරණ පරීක්‍ෂණයෙන් පසුව තරුණයාගේ මළ සිරුර ඉන්දියානු තානාපති කාර්යාලය මගින් ඔහුගේ ඥතීන් වෙත භාර දීමට කටයුතු කරන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියට උපදෙස්‌ දුන්නේය.

මෙහිදී අබිරහස්‌ අන්දමින් මරුමුවට පත් වූ 24 හැවිරිදි තෙන්නරාල සෙල්වරාඡ් නමැති තරුණයාගේ මරණ පරීක්‍ෂණය ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ව්‍යාපාරිකයාට අයත් වැල්ලවත්තේ පිහිටි නිවස සහ ආපනශාලාව පොලිසිය මගින් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළ අතර ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් ද කටඋත්තර ලබාගෙන තිබිණි.

තරුණයකුගේ නිරුවත් මළ සිරුර මුන්දලම කන්දතොඩුවාව ප්‍රදේශයේදී මහමුදට දමද්දී ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා සහ ව්‍යාපාරිකයා මුන්දලම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දහවල් කාලයේදීය.

මෙහිදී මරුමුවට පත් වූ සෙල්වරාඡ් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 11 වැනිදාය. සැකකාර ව්‍යාපාරිකයාට අයත් වැල්ලවත්තේ පිහිටි අවන්හලේ සේවය කිරීම සඳහා මොහු ඉන්දියාවේ සිට පැමිණි බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණයා ගෙලවැළලාගෙන සියදිවි හානිකරගත් බවයි. තරුණයා මියයැම නිසා බියට පත්වී ඒ පිළිබඳව තම මිත්‍රයකු වන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට පැවසූ බවද ඔහුගේ කටඋත්තරයේ සඳහන් වේ. පසුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ උපදෙස්‌ මත මළ සිරුර මුහුදට දැමීමට රැගෙන ගිය බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

වයඹ පළාත බටහිර නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.