ජගත් මහලේකම්ගේ කමිටුවට එරෙහිව
හෙළ උරුම උද්ඝෝෂණයක්‌


සිරිමන්ත රත්නසේකර

එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මහා සංඝරත්නය හා එහි සාමාජිකයෝ ඊයේ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ සිට පාගමනින් තුන්මුල්ල එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගිය හෙළ උරුම සාමාජිකයෝ මෙම විරෝධතාවයේ නිරත වූහ.

"මැරූ කොටියාට පණ දෙන මූන්ගේ උපදේශක තුන්කට්‌ටුවට ඉඩ නොදෙමු" මැයෙන් ලියන ලද බැනරයක්‌ පෙරටු කරගෙන පෙළපාලිකරුවෝ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගමන් කළහ.

හෙළ උරුම නායක ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි ඇතුළු ගිහි පැවිදි නායකයෝ මෙම පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන් කරනු දක්‌නා ලදී.

"කොටි වනසා දිනාගත් නිදහස පාවාදෙන ද්‍රේහීන් පිටුදකිමු", "මවුබිමේ නිදහස වෙනුවෙන් බටහිර බලපෑමට එරෙහිව පෙළගැසෙමු", "මැරූ කොටියාට පණදෙන මූන්ගේ උපදේශක කමිටුවට ඉඩ නොදෙනු" විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

මෙම උද්ඝෝෂණයේදී අදහස්‌ දැක්‌වූ ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ පැවැසූහ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අද ත්‍රස්‌තවාදයේ ඒජන්තයන් ලෙස ක්‍රියා කරනවා.

කුරිරු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් දිනාගත් රට ගොඩනැගීමට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. මෙම පෙළගැස්‌ම ඒ උදාර කාර්යය සාක්‍ෂාත් කර ගැනීමයි. සාමයට ලැදි ජාති මාමක, දේශප්‍රේමී ජනතාව ඒ සඳහා පෙළගැසී තිබෙනවා.

ලෝකයේ ගැටුම් නිරාකරණය කිරීමට, සාමය ස්‌ථාපිත කිරීමට ගොඩ නැගූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි කුමන්ත්‍රණයක්‌ කිරීම දෛවයේ සරදමක්‌. ඔවුන් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදයේ එජන්තයින් ලෙස ක්‍රියා කරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.