අයවැය අද

අජිත් අලහකෝන්

2010 වසරේ රජයේ ආදායම සහ වියදම ඇතුළත් අයවැය යෝජනා අද (29 දා) පස්‌වරුවේ මුදල් නි. ඇමැති සරත් අමුණුගම මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරනු ලැබේ.

මෙම අයවැය ලේඛනයට පසුගිය මාස හයේ වියදම් මෙන්ම ඉදිරි මාස හය සඳහා වියදම් ද, ආදායම් ද, අයවැය හිඟය පියවා ගන්නා ආකාරය ද අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉද්sරිපත් කරනු ඇත.

2010 වසරේ රජයේ සමස්‌ත සේවා වියදම වෙනුවෙන් රුපියල් අනූහත්දහස්‌ හාරසිය හැත්තෑ හතර කෝටි අනූතුන්ලක්‍ෂ අනූපන් දහසක මුදලක්‌ අවශ්‍ය වන බව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනතේ සඳහන් විණි.

ඊට අමතරව මෙම වසරේදී ණය වශයෙන් රජය ලබාගන්නා මුදලේ සමස්‌තය රුපියල් කෝටි අනූඅටදහස නොඉක්‌මවිය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත.

රජය මෙම වසර සඳහා වැඩිම මුදලක්‌ වෙන්කර තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙනි. එය රුපියල් කෝටි විසි දහස්‌ දෙසිය විසි දෙකකි. සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි පන්දහස්‌ තුන්සිය දහයක්‌ ද අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි දෙදහස්‌ හත්සිය පනහක්‌ ද උසස්‌ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් කෝටි දෙදහස්‌ එකොළහක්‌ද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි හත්සිය තිස්‌හතරක්‌ ද වෙන්කර තිබේ.

නියෝජ්‍ය මුදල් ඇමැති අමුණුගම මහතා විසින් අද (29 දා) පස්‌වරු 2.00 ට අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව එය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (30 දා) ආරම්භ වේ. දෙවැනි වර කියවීමේ විවාදය සෙනසුරාදා ජූලි (03 දා) අවසන් වන අතර එදින සවස 6.00 ට අයවැය පළමු ඡන්ද විමසීම සිදු කෙරේ.

අයවැය කාරක සබා අවස්‌ථා විවාදය ජූලි 05 දා සිට 09 වැනිදා (සිකුරාදා) දක්‌වා පවත්වන අතර අවසන් ඡන්ද විමසීම 09 වැනිදා පස්‌වරු 6.00 ට සිදු කෙරේ.

අයවැය යෝජනා ඉදිරිපත් කෙරෙන අද පස්‌වරු 2.00 සිට රාත්‍රි 9.30 දක්‌වා පාර්ලිමේන්තුව පැවැත්වේ. ඉන්පසු දෙවැනි වර කියෑවීමේ විවාදය සහ කාරක සභා අවස්‌ථාවේ විවාදය ද හෙට (30 දා) සිට ජූලි 09 දා දක්‌වා පෙරවරු 9.30 සිට රාත්‍රි 9.30 දක්‌වා පැවැත්වීම විශේෂත්වයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.