එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ
"විශේෂ කමිටුව" ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීමක්‌
මහජන එක්‌සත් පෙරමුණෙන් නිවේදනයක්‌

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කීම මූන් මහතාට ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස්‌ වාර්තා කිරීමට විශේෂ විමර්ශන කමිටුවක්‌ පත්කිරීම ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයටත්. නිදහස හා ස්‌වාධීනත්වයටත්, ඒකීයභාවයටත් එල්ල කරන ලද කුමන්ත්‍රණකාරී ඇඟිලි ගැසීමක්‌ බව මහජන එක්‌සත් පෙරමුණ ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එම පෙරමුණ විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්‌වේ.

මානව හිමිකම් ආරක්‌ෂා කිරීමට ශ්‍රී ලංකා රජය දැනටමත් විදිමත් පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවේද අගය කිරීමක්‌ කර ඇති අවස්‌ථාවේ බටහිර ආධිපත්‍යවාදය විසින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට හා ප්‍රතිගාමී ක්‍රමවේදයක්‌ වෙනුවෙන් ගෙන යන මෙම ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා.

අධිරාජ්‍යවාදී, විජිතවාදී හා යටත් විජිතවාදී පාලනයන්ගෙන් නිදහස ලැබූ රටවලට එරෙහිව බටහිර ආධිපත්‍යවාදය ගෙන යන ඉතා පැහැදිලි ක්‍රියාවක්‌ ලෙස මෙම ක්‍රියාවලිය අප හඳුනාගෙන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම ප්‍රමුඛස්‌ථානයෙහිලා සලකා කටයුතු කළ යුතුයි. ඒ සඳහා එක්‌වන ලෙස අප මිත්‍ර රටවලටද ආයාචනය කර සිටිනවා.

අභිමානවත් ශ්‍රී ලංකාව භූමියෙන් කුඩා රටක්‌ වුවද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බෙදුම්වාදී ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය රට තුළ සහමුලින්ම පරාජය කළ එකම රට ලෙස මෑත ඉතිහාසයේ රන් අකුරින් ලියෑවී ඇති අවස්‌ථාවේ එය අගය කිරීමට නොහැකිව ත්‍රස්‌තවාදටය මුදල්, ආයුධ, ආධාර ලබාදුන් රටවල් දරන මෙම උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස්‌ වාර්තා කිරීම සඳහා පත්කරන ලද මෙම විශේෂ විමර්ශන කමිටුව හකුලා ගන්නා ලෙස මහජන එක්‌සත් පෙරමුණ ප්‍රකාශ කර සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.