ලුණුගම්වෙහෙර වනෝද්‍යානය ප්‍රචලිත කිරීමට
පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

ශ්‍යාම් නුවන් ගනේවත්ත ලුණුගම්වෙහෙර සංචාරයකින් පසු

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ අවශ්‍ය යෑයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය තවමත් පවතින්නේ ඉතා අවම මට්‌ටමක බවත් ඒ නිසා, පුළුල් ප්‍රචාරක වැඩසටහනක්‌ තුළින් දෙස්‌ විදෙස්‌ සංචාරකයන් වැඩි වැඩියෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් ඇමැති සියඹලාපිටිය කීවේය.

ඇමැතිවරයා මේ බව කීවේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වෙමිනි. මේ නිරීක්‍ෂණ සංචාරයට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා සහ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පී. එම්. ධර්මතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ ද සහභාගි වී සිටියහ.

ජාතික වනෝද්‍යාන තුළින් ඉදිරියේදී රජයට විශාල ආදායමක්‌ උපයා ගත හැකියි. ඒ සඳහා රටේ සියලුම ජාතික වනෝද්‍යාන සංචාරක ආකර්ෂණස්‌ථාන ලෙස වැඩි දියුණු කරන බවත්, මෙම ජාතික වනෝද්‍යානවල මානව සහ භෞතික සම්පත් ඉහළ නංවන බව ද නියෝජ්‍ය ඇමැති සියඹලාපිටිය කීවේය.

මා මේ වනවිට ජාතික වනෝද්‍යාන රැසක සංචාරය කළා. ඒ පිළිබඳ ලොකු අවබෝධයක්‌ ලබා ගන්න මෙම සංචාරයන් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. ඒවා මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න ගැනත් මට දැන් වැටහීමක්‌ තිබෙනවා. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ළඟදි පටන් ගත් එකක්‌. තවමත් මේ සඳහා සංචාරකයන් එනවා අඩුයි. ගොඩක්‌ අය යාලටයි යන්නේ. යාල වගේම වනසතුන් ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුළදීත් දැකගන්න පුළුවන්. ඒ නිසා මේ සංචාරයට එක්‌ව සිටින මාධ්‍ය ආයතන රැසක ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන්ගෙන්. මෙම ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ජනතාව අතර ප්‍රචලිත කිරීමට උපකාර කරන ලෙස තමා ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා

මේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දියුණු කිරීමට ක්‍රියාකාරී සැළැස්‌මක්‌ අවශ්‍යයි. එවැනි දෙයක්‌ කලින් තිබුණේ නැහැ. මේ වනෝද්‍යානය දියුණු කිරීම සඳහා මගේ යෝජනාද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ඉදිරියේදී ලබා දෙනවා.

මෙහිදී වනජීවී නිලධාරීන් ඇමැතිවරුන් දෙපළට පෙන්වා දුන්නේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන භූමිය තුළ ගෘහාශ්‍රිත ගවයන් තණකෑම, ගොවිතැන් කිරීම, අනවසර දැව කැපීම, අනවසර ධීවර කටයුතු, සතුන් දඩයම් කිරීම සහ ගංජා වගා කිරීම වැනි දේ සිදු වෙමින් තිබෙන බවත් ඒ තත්ත්වයන් පාලනය කිරීමට ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිටින සහ තිබෙන නිලධාරීන් හා සම්පත් ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී මෙම ගැටලු පිළිබඳ ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙස ඔබගේ අදහස කුමක්‌දැයි "දිවයින" ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර කීවේ ලුණුගම්වෙහර ජාතික වනෝද්‍යානයේ අනවසර දැව කැපීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ බව ඔප්පු කළහොත් තමා හෙටම ඉල්ලා අස්‌වන බවයි. මෙම ජාතික වනෝද්‍යානය සඳහා අදාළ තමාගේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.