සිංගප්පූරු යොවුන් ඔලිම්පික්‌ තරගාවලියට
ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙක්‌

සුසිල් ප්‍රේමලාල්

ලබන අගෝස්‌තු 14 සිට 26 දක්‌වා සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ප්‍රථම යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ සහභාගි කරවීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුව ඊයේ (28 වැනිදා) අවසන් වරට තීන්දු කොට ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ නිර්දේශයන් අනුව නියමිත සුදුසුකම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකුද නියමිත සුදුසුකම් සපුරාලීමට නොහැකි වූ (
UNIVERSALITY PLACES) අයට හිමි වරප්‍රසාදය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුද යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් වරම් ලබා ඇති බව ඊයේ (28 දා) පස්‌වරුවේ කොළඹ ඔලිම්පික්‌ හවුස්‌ හි පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ යෝජිත සංචාරයේ කණ්‌ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන යන මහත්වරු අනාවරණය කළහ.

ඒ අනුව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හසින්ත සමරසිංහ(මේස පන්දු), මහනුවර ත්‍රිත්ව විදුහලේ හේෂාන් උනන්බෝව(පිහිනුම්), කොළඹ ආනන්ද විදුහලේ ඩිල්ෂාන් කාරියවසම් (බැඩ්මින්ටන්), මහනුවර මහ මායා බාලිකා විදුහලේ මාධවී වීරතුංග(පිහිනුම්) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නියමිත සුදුසුකම් ලබමින්ද වලල ඒ. රත්නායක මැදි මහ විදුහලේ ඉඳුනිල් හේරත්(මලල ක්‍රීඩා), අම්බලන්ගොඩ ධර්මා ශෝක විදුහලේ නුවනි නවෝද්‍යා(මේස පන්දු) සහ මොරටුව කන්‍යාරාමයේ ලක්‌ෂා ෂෙහානි(බැඩ්මින්ටන්) සුදුසුකම් නොලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වරප්‍රසාදය යටතේ අදාළ සංචාරයට තෝරාගෙන ඇත.

ලෝකයේ රටවල් 170 ක යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ(වයස අවුරුදු 18 ට අඩු) සහභාගිත්වයෙන් ප්‍රථම වරට පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වය සඳහා වැය වන සියලුම මුදල් ජාතික ඔලිම්පික්‌ කමිටුව මගින් දරනු ඇත.

මොරටුව කන්‍යාරාමයේ ලක්‌ෂා ෂෙහානිට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඇතුළත් වීමේ වරම අවසන් මොහොතේ උදාවූ බවත්, කණ්‌ඩායම් ප්‍රධාන නිශාන්ත පියසේන මහතාගේ දැඩි උත්සාහය මත එය හිමිවූ බවත් පැවැසූ ජාතික ඔලිම්පික්‌ කමිටු සභාපතිවරයා ඇය කණ්‌ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධව බැඩ්මින්ටන් සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය විවිධ මත පළ කළ බවද පැවැසීය.

යෝජිත සංචාරක කණ්‌ඩායමට පුහුණු කරුවන් දෙදෙනකු පමණක්‌ ඇතුළත් වීම සම්බන්ධව (මේස පන්දු සහ පිහිනුම්) ජනමාධ්‍ය නැගූ ප්‍රශ්නයකදී තවත් පුහුණුකරුවකු සහභාගි කරවීමට ඇති ඉඩකඩ සොයා බලා එම අවස්‌ථාව ලබා දෙන බවද මෙහිදී ඔලිම්පික්‌ කමිටු සභාපතිවරයා ප්‍රතිඥවක්‌ දුන්නේය.

කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස නිශාන්ත පියසේන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුව ඒකමතිකව තීන්දු කරන ලද්දේ (අයදුම්පත් කැඳවීමකින් තොරව) හෙතෙම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්‌ඩායම් ප්‍රධානියා ලෙස ඉටු කරන ලද සුවිශේෂී කාර්ය භාරය ගැන සලකා බලා බවද ප්‍රනාන්දු මහතා පැවැසීය.

මීට අමතරව ජගත් රාජපක්‍ෂ මහතා මේස පන්දු සහ පෙම්ලත් උයන්හේවා(පිහිනුම්) පුහුණුකරුවන් ලෙස කණ්‌ඩායමට නම් කොට ඇති අතර කාන්තා භාර නිලධාරිණිය ලෙස නිල්මිණි ඩිරෙක්‌ට්‌ තෝරාගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.