එංගලන්තයේ ගෝලය...!

ජගත් පාපන්දු ශූරතා ජර්මානු-එංගලන්ත තරගයේදී (27 දා) එංගලන්ත ක්‍රීඩක ෆ්‍රEන්ක්‌ ලැම්පාඩ්(08) විසින් තරගයේ 38 වැනි මිනිත්තුවේදී ජර්මනියට එරෙහිව වාර්තා කරන ලද ගෝලය දැන් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන මාර්තෘකාවක්‌ වී ඇත.

ඒ වන විට, එංගලන්ත කණ්‌ඩායම එක්‌ ගෝලයක්‌ (36 වැනි මිනිත්තුව - මැතිව් අප්සන්) වාර්තා කොට තිබූ හෙයින් එංගලන්තයේ ගෝල් සංඛ්‍යාව 2 ක්‌ විය යුතුව තිබුණි. එහෙත් තරග විනිසුරු ජෝඡ් ලැරිඩන්ඩා එය (දෙවැනි ගෝලය) ගෝලයක්‌ බවට සටහන් නොකළා පමණක්‌ නොව සිද්ධිය දුටු බවක්‌ හෝ නොපෙන්වීය. පැති විනිසුරු පැබ්ලෝ ෆැන්ඩිනි ද එය නුදුටුවා විය හැක.

ලැම්පාඩ් (8) විසින් එල්ල කරන ලද පන්දුව ගෝල් කණුවේ හරස්‌ පොල්ලෙහි වැදී ගෝල් සළකුණ සීමාවේ අඩියක්‌ පමණ ඇතුළට පතිත වී යළි ඉදිරියට ඉපිල යැමේදී, දැල රැකි මනුවෙල් නෙවුර් පන්දුව යළි ඉදිරියට තල්ලු කළේය.

මෙවැනි අවස්‌ථාවකදී, තරගයේ ප්‍රධාන විනිසුරුට මෙන්ම පැති විනිසුරුට දැඩි වගකීමක්‌ පැවරේ. යම් හෙයකින් එය ගෝලයක්‌ බවට පැති විනිසුරුවරයා (පැබ්ලෝ ෆැන්ඩිනි) තීරණය කළේ නම්, ප්‍රධාන විනිසුරු එයට එකඟ විය යුතු වේ.

නූතන තාක්‍ෂණය උපයෝගයෙන් ප්‍රෑන්ක්‌ ලැම්පාඩ්ගේ ප්‍රහාරය නියත වශයෙන්ම ගෝලයක්‌ බව සක්‌ සුදක්‌ සේ පැහැදිළි වුවත්, මෙවැනි අවස්‌ථාවක අවසාන තීරණයක්‌ සඳහා තාක්‍ෂණය උපයෝගී නොකර ගැනීම ජගත් පාපන්දු සම්මේලනයේ සභා සම්මත තීරණයක්‌ වේ.

එවැනි තීරණාත්මක අවස්‌ථාවකදී අවසන් තීරණයකට එළැඹීම සඳහා තාක්‍ෂණය උපයෝගී කරගත යුතු බවට ජගත් පාපන්දු සම්මේලනයට යෝජනා ඉදිරිපත් වුවද, ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්‌ඩලයේ බලවත් විරෝධය මත අදාළ යෝජනාව ප්‍රතික්‍ෂේප විය.

මෙවර ජගත් පාපන්දු ශූරතා තරග විනිශ්චය සඳහා තෝරා ගන්නා ලද විනිසුරුවන් සඳහා වූ තුන් වසරක පාඨමාලාවේදී මෙම ප්‍රශ්නය යළි ඉස්‌මතු විය. එහෙත් "ක්‍රීඩාව මානුෂික තීරණ මත ඉදිරියට යා යුතුය. එවැනි අවස්‌ථාව සම්බන්ධයෙන් අවසාන තීරණය පූර්ණ වශයෙන්ම විනිසුරුවරයා සතුවේ" යන තීරණය මත තාක්‍ෂණය ඉවතට විසි විය.

එබැවින්, එංගලන්තයේ මෙම ඓතිහාසික ගෝලය තරගාවලියේ තවත් එක්‌ සිද්ධියක්‌ පමණක්‌ බවට දැන් පත්ව ඇත.

වසර 1966 ජගත් පාපන්දු ශූරතා අවසන් මහ තරගයේදීද මෙම අවස්‌ථාවම උදා විය. එම අවසන් මහ තරගයේ කණ්‌ඩායම් දෙක මෙවර මෙන්ම ජර්මනිය සහ එංගලන්තය විය. එම අවස්‌ථාවේදී ප්‍රධාන විනිසුරු සහ පැති විනිසුරු අතර පැවැති සාකච්ඡාවකින් පසුව, ප්‍රහාරය එල්ල කළ එංගලන්ත ක්‍රීඩකයා නමින් තවත් ගෝලයක්‌ වාර්තා පොතෙහි ලියෑවිණ. තරගාවසානයේ ගෝල 4-2 වශයෙන් එංගලන්තයට ජය හිමිවිය.

(අසෝක)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.