49 වැනි වසර සපුරන මහජන බැංකුව
"ඉතුරුම් තෙමස" හඳුන්වා දෙයි


ජනහද දිනූ මහජන බැංකුව 2010 ජුලි පළමුවැනිදා සිය අභිමානවත් 49 වැනි සංවත්සරය සමරයි. එහෙයින්ම මහජන බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් නව නිපැයුමක්‌ හඳුන්වා දෙන්නට කටයුතු යොදා ඇත. "ඉතිරි කිරීමේ" සංකල්පය ආර්ථිකයට ඉතා වැදගත්ය. ඉතිරි කිරීමේ සංකල්පය මෙරට ප්‍රචලිත කරන්නට වැඩි දායකත්වයක්‌ දැක්‌වූයේද මහජන බැංකුවයි. මේ නිසාම මහජන බැංකුවට ජනතාවගේ ඉතිරි කිරීම් දිරිගැන්වීම සඳහා විශාල වගකීමක්‌ ඇති බැවින් හඳුන්වා දෙන්නට නියමිත නිපැයුමද ඊට සමගාමී එකකි.

මෙය නම් කර ඇත්තේ "49 වැනි සංවත්සර ඉතුරුම්පත" යනුවෙනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය වටිනාකම් තුනකින් නිකුත් කිරීමයි. ඒ අනුව රුපියල් පන්දහසක, රුපියල් පනස්‌දහසක හා රුපියල් ලක්‍ෂයක්‌ බැගින් වූ "ඉතුරුම්පත්" ඊට අයත්ය. මෙම ඉතුරුම්පතෙහි වලංගු කාලසීමාව මාස හයක්‌ දක්‌වා දිවෙයි. වටිනාකම් තුනකින් යුත් මෙම "49 වැනි සංවත්සර ඉතුරුම් පත්" මාස තුනක්‌ අවසන් වූ පසු දිනුම් ඇදීමකට යොමු කරනු ලබයි. එයින් දිනුම් අවස්‌ථා රාශියක්‌ හිමිකර ගැනීමේ අවස්‌ථාව ගනුදෙනුකරුවන්ට සැපයේ. ඒ අනුව පළමු ත්‍යාගය ඇතුළුව තෑගි 700 ක්‌ පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. පළමු තෑග්ග ලෙස බස්‌නාහිර පළාත තුළ රුපියල් මිලියන සියයකට ආසන්න අති සුඛෝපභෝගී නිවසක්‌ දිනාගැනීමේ අවස්‌ථාව උදාවේ. ඉතිරි ත්‍යාගයන් සඳහා රත්‍රං පවුමක්‌ (පවුමක කාසියක්‌) හිමිකර ගැනීමේ අවස්‌ථාව ගනුදෙනුකරුවන්ට ලැබේ. දිවයින පුරා පිහිටා ඇති සෑම මහජන බැංකු ශාඛාවකටම දිනුමක්‌ ඇදෙන ආකාරයට මේ දිනුම් ඇදීම සිදු කෙරේ.

මහජන බැංකු නිලධාරීන් ගොවිබිම, වැඩපල, ධීවරයන් මේ ආදී වශයෙන් රටේ සමස්‌ත ජනතාව ආවරණය වන පරිදි ඔවුන් හමුවට ගොස්‌ ඔවුනට කරුණු පැහැදිලි කර දී මෙහි ඇති වැදගත්කම පෙන්වා දෙන්නට කටයුතු කරයි. ශාඛා මට්‌ටමින් උපරිම ඉතුරුම්පත් ප්‍රමාණයක්‌ මිලට ගෙන ඉතිරි කිරීමේ අගය ජනතාවට වටහා දීමට ඔවුන් කටයුතු කරයි. මෙය ගනුදෙනුකරුවාට දිනුමක්‌ ඇදුනත් නැතත්, ඔහු ජයග්‍රාහකයකු බවට පත්වන්නේ නිතැතින්ම ඔහු ජාතික ආර්ථිකයට යම් දායකත්වයක්‌ සපයා ඇති බැවිනි.

"49 වැනි සංවත්සර ඉතුරුම්පත" මාස හයක්‌ ඉක්‌මවූ පසු තමනට නැවත මාරුකර ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ. ඒ අනුව සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට හිමිවන පොලී අනුපාතයට සැලසුණු පොලියක්‌ද සමග ඔවුනට එම මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට පොලියක්‌ පමණක්‌ හිමිවන නමුදු 49 වැනි සංවත්සර වාසනා ඉතුරුම්පත මගින් ගනුදෙනු කරන්නන්ට. වාසනාව උරගා බැලීමේ හැකියාවක්‌ ද පවතී. එමෙන්ම මේ වන විට මහජන බැංකුවේ ගිණුම් හිමියන්ටද මේ අවස්‌ථාව විවරව ඇත.

හයසිය පනස්‌ එකක්‌ පමණ ඉක්‌මවූ ශාඛා හා සේවා මධ්‍යස්‌ථාන ජාලයකින් සමන්විත මහජන බැංකුව උතුර නැගෙනහිර ප්‍රදේශයන්හිද ශීඝ්‍රයෙන් සිය ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් සිටී. එමෙන්ම මේ වනවිටද එම පළාත්වල වැඩිම ශාඛා හා සේවා මධ්‍යස්‌ථාන ජාලයක්‌ හිමි වන්නේද මහජන බැංකුවටයි. මේ සියලු ශාඛා හා සේවා මධ්‍යස්‌ථාන මගින් මහජන බැංකුව සමග එකතුවී සිටින ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව (Customer Base) මිලියන 11 ද ඉක්‌මවයි. එය මිලියන 20 ඉක්‌මවන ශ්‍රී ලාංකික ජනගහනයෙන් හරි අඩක්‌ පමණ වීම විශේෂත්වයකි.

මහජන බැංකුවේ සංවත්සරය වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් මාලාව විශේෂ අවස්‌ථා ගණනාවකට බෙදා වෙන්කර ඇත. එම කාලය නම්කර ඇත්තේ "ඉතුරුම් තෙමස" යන නමිනි. ඒ අනුව ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්‌වා කාලය ඊට අදාළ ක්‍රියාකාරකම් සඳහා වෙන් වේ.

"49 වැනි සංවත්සර ඉතුරුම්පත්" වැඩසටහනට සමගාමීව පෙර කී ලෙස ඉතුරුම් තෙමස තුළ වැඩසටහන් රැසක්‌ දියත් කෙරේ. ඊට බෞද්ධ, කිතුනු, මුස්‌ලිම් සර්ව ආගමික වැඩසටහන් ද අයත්ය. එමෙන්ම ජුලි පළමු වැනිදා සංවත්සරය එළැඹෙනදා දිවයිනේ පිහිටි සියලුම මහජන බැංකු ශාඛාවන්හි චාම් උත්සවයක්‌ පැවැත්වේ. එහිදී තමන්ගේ හොඳම හා පැරණිතම ගනුදෙනුකරුවන් සඳහා ත්‍යාගයන් හා සමරු තිළිණ පිරිනැමීමටද උපහාර පිදීමටද කටයුතු සූදානම් කර ඇත. එමෙන්ම විවිධ සමාජ සද්කාර්යයන් රැසක්‌ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රාදේශීය ශාඛා විසිහතරකින් සමන්විත වූ මහජන බැංකු ශාඛාවන්ට අදාළ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට එක්‌ සමාජ සුබසාධන වැඩපිළිවෙළක්‌ තෝරාගන්නා ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව දිළිඳු දරුවන් සඳහා අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම, ශිෂ්‍යත්ව ලබාදීම, රෝහල් වාට්‌ටු ප්‍රතිසංස්‌කරණය කිරීම, දුප්පතුන්ට නිවාස තනාදීම, ස්‌වයං රැකියා සඳහා මූල්‍ය ශක්‌තිය සැපයීම වැනි සද්කාර්යයන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජුලි පළමු වැනිදාට මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ මහජන බැංකුවේ සභාපති ඩබ්. එම්. කරුණාජීව මහතා හා ප්‍රධාන විධායක නිලධාරි, සාමාන්‍යාධිකාරි පී. වී. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙහිදී මේ සියලු කටයුතු සංවිධානය කෙරෙන්නේ මහජන බැංකුවේ සභාපති කරුණාජීව මහතාගේ හා ප්‍රධාන විධායක නිලධාරි පී. වී. පතිරණ මහතාගේ මෙහෙයවීමෙනි.

2006 වසරේ සිට පිට පිටම 2009 දක්‌වා දිවයිනේ ජනප්‍රියම බැංකුව ලෙස ජනතා සම්මානය හිමිකර ගැනීමට මහජන බැංකුව සමත්වීම, ජනතා විශ්වාසය පිළිබිඹු කරන සාධකයක්‌ වැන්න.

1961 දී ආරම්භ කරන ලද මහජන බැංකු පනතෙහිම හඳුන්වා ඇති අයුරින්, ඒ වසරේ පටන්ම "රන් භාණ්‌ඩ උකස්‌ ගැනීමේ" බලයද මහජන බැංකුවට හිමියි. දිවයිනේ සෑම බැංකුවක්‌ම අද වනවිට එය ආරම්භ කර ඇති නමුත් එහි ප්‍රමුඛයා වන්නේ මහජන බැංකුවයි.

මහජන බැංකුව 1961 අංක 29 දරන පනතින් ආරම්භ කරන යුගයේ මෙරට වෙනත් ජාතික බැංකුවක්‌ ලෙස තවත් එක්‌ බැංකුවක්‌ පැවතිණි. එය සීමාවී තිබුණේ ඉංගී්‍රසි උගත් සමාජයේ ප්‍රභූ යෑයි සම්මත පිරිසකට පමණි. එය වෙනස්‌ කිරීමට සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය යටතේ 1961 දී එම රජයේ ආහාර හා වෙළෙඳ ආමාත්‍ය ටී. බී. ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගෙන එන ලද පනතකිනි. මහජන බැංකුවේ ආරම්භක සභාපතිවරයා වූයේ වින්සන්ට්‌ සුබසිංහ මහතායි. එතුමා ඒ යුගයේ සඳලංකාවේ සමුපකාරයේ පියා ලෙස විරුදාවලි ලැබූ විශිෂ්ට ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ගැමිකම හා ගැමි ආර්ථිකය පිළිබඳ වින්සන්ට්‌ සුබසිංහ මහතාට තිබූ විසල් අත්දැකීම් හා දැනුම මහජන බැංකුවේ වර්ධනයට ඔහු දායක කරගත්තේය. මුල්ම ශාඛාව කොළඹ ආදිපාද (DUKE) වීදියේ පිහිටා තිබිණි.

මේ වනවිට දසදහසකට ආසන්න සේවක ජාලයක්‌ මහජන බැංකුව සතුය. මේ 49 වසරක විශිෂ්ට මෙහෙවරට ඒ සියලු සේවක මහත්ම මහත්මීන් දායක වූ බව මහජන බැංකු කළමනාකාරිත්වය කෘතවේදීව සිහිපත් කරයි. මේ වන විට නවීන තාක්‍ෂණය හා බද්ධ විශිෂ්ට තත්ත්වයක්‌ ගනුදෙනුකරුවන්ට ලබාදෙන මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට සිය ගනුදෙනු කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා "දිවයින" පුරා ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM)... ද පිහිටුවා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.