කාන්ස්‌ ලයන්ස්‌ උළෙලට ශ්‍රී ලාංකික
ප්‍රචාරක වෘත්තිකයින් පස්‌ දෙනෙක්‌


ශ්‍රී ලාංකේය වෙළෙඳ ප්‍රචාරණ ක්‍ෂේත්‍රයෙහි තරුණ ප්‍රචාරණ වෘත්තිකයින් පස්‌ දෙනෙකු වාර්ෂික කාන්ස්‌ ලයන්ස්‌ තරගාවලිය සහ රොජර් හැචුඑල් ඇකඩමි 2010 නියෝජනය කිරීමේ සුදුසුකම් ලදහ. මෙම වාර්ෂික උළෙල නියෝජනය කිරීමට කුසලතාපූර්ණ ශ්‍රී ලාංකික ප්‍රචාරණ වෘත්තිකයින් තෝරා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරණ සංගමය සහ 4As සංගමය මගින් ශ්‍රී ලංකාවේ කාන්ස්‌ ලයන්ස්‌ උළෙලෙහි නියෝජිතවරුන් වන මෙටල්ෆැක්‌ටර් ආයතනය සමග එක්‌ව මූලික වටයේ තරගාවලියක්‌ පවත්නවන ලදී.

පිළිවෙළින් මුද්‍රණ හා ටෙලි විෂන් කාණ්‌ඩයන්ගෙන් ලියෝ බර්නෙට්‌හි ෂයිනි ඔබේසේකර සහ සමන්තා වීරවර්ධනද JWT හි උදාර විතාන සහ දිෂාන් කොයිල්පරම්පිල්ද මෙම උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති. දේශීය තරගාවලියේදී ලියෝ බර්නෙට්‌හි ශයලා ස්‌මිත් සහ රසංග වීරසිංහද (සිනමා) ග්‍රාන්ට්‌ මැකෑන් එරික්‌සන්හි කුම්කුම් ප්‍රනාන්දු සහ අමාන් අෂ්රොෆ්ද (මුද්‍රණ) වෙත ජූරියේ විශේෂ ඇගයීම් හිමිවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවීම පිළිබඳව අප මහත් උද්යෝගයෙන් පසුවෙනවා කුතුහලය අවුස්‌සන පරිදි නිර්මාණය කරන ලද අපගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල ගෙනදුන්නා" යනුවෙන් මුද්‍රණ කාණ්‌ඩයේ ජයග්‍රාහකයින් වූ ෂයනි සහ සමන්තා පැවැසූහ. "මේ සැබැවින්ම සිදුවේ යෑයි අප සිතුවේ නැහැ අපිට මෙය විශ්වාස කරන්නත් අමාරු තරම්" යනුවෙන් දිෂාන් සහ උදාර පැවසූහ.

ජුනි මස අග භාගයේදී ප්‍රංශයේ කාන්ස්‌හිදී ජාත්‍යන්තර කීර්තියට පත් කාන්ස්‌ ලයන්ස්‌ ජාත්‍යන්තර ප්‍රචාරණ උළෙලේදී කාන්ස්‌ යන්ග් ලයන්ස්‌ වැඩසටහන පවත්වනු ලැබේ. එමගින් ලොව පුරා අලෙවි සන්නිවේදන වෘත්තිකයින්ගේ නිර්මාණශීලීත්වය ඇගයුමට ලක්‌ කෙරේ. කාන්ස්‌ යන්ග් ලයන්ස්‌ වැඩසටහන සඳහා වෙළෙඳ ප්‍රචාරණයෙහි විවිධ කාණ්‌ඩයන් යටතේ ප්‍රශස්‌ත තරුණ වෘත්තකයින් තෝරා ගැනෙන අතර එය වෙළෙඳ ප්‍රචාරණයෙහි ඔලිම්පික්‌ උළෙලකට සමාන වේ.

මෙම වසරේදී ග්‍රාන්ට්‌ මැකෑන් එරික්‌සන්හි මාලක ප්‍රේමසිරි රොජර් හැචුඑල් ඇකඩමි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. දේශීය තරගාවලියේදී මෙම කාණ්‌ඩයෙන් රොෂෙල් ජයතුංග ඇගයුමට ලක්‌ විය. රොජර් හැචුඑල් ඇකඩමි මගින් තෝරාගත් ජාත්‍යන්තර සිසුන් පිරිසකට ලොව විශිෂ්ට ප්‍රචාරන වෘත්තකයින් සහ නිර්මාණයන් ආශ්‍රයෙන් දැනුම ලබා ගැනීමේ අවස්‌ථාව උදාකෙරේ. මේ සඳහා සහභාගී වන්නන්ගේ වයස්‌ සීමාව අවුරුදු 18 සිට 23 දක්‌වා විය යුතු අතර ඔවුන් ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ නියෑලීමේ අනාගත අභිප්‍රාය සහිතව වෙළෙඳ ප්‍රචාරණය සහ සන්නිවේදනය හෝ අලෙවිකරණය අධ්‍යයනය කළ යුතුවේ. මෙම ඇකඩමිය කාන්ස්‌ ලයන්ස්‌ නිර්මාතෘවරයා හට උපහාර පිණිස පිහිටුවා ඇති අතර එය කීර්තිමත් පීඨාධිපතිවරයකු යටතේ ක්‍රියාත්මක වේ. රොජර් හැචුඑල් ඇකඩමිය වෙත සහභාගි වීමේ අවස්‌ථාව හිමිවන්නේ ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුට පමණයි. මා නැවත මෙරටට පැමිණි පසු මා ලද දැනුම බෙදාහදා ගැනීමට ඉතා කැමැත්තෙන් සිටිනවා" යනුවෙන් මාලක පැවසීය. රොජර් හැචුඑල් ඇකඩමිය සහ කාන්ස්‌ ලයන්ස්‌ උළෙල සඳහා වන විනිශ්චයකරුවන් වෙළෙඳ ප්‍රචාරණයේ සියලුම අංශ ආවරණය වන පරිදි ඉදිරිපත් වේ. රොජර් හැචුඑල් ඇකඩමිය සඳහා වන විනිශ්චයකරුවන් අතරට ලයිලා ගුණසේකර මාටින්ස්‌ටයින් (ග්‍රාන්ට්‌ මැකෑන් එරික්‌සන්), කීත් විඡේසූරිය (BBDO), චාන්දනී රාජරත්නම් (JWT) ෂෙරොන් ජයසුන්දර (බේට්‌ස්‌) සහ මුර්ටාසා ඒ තාඡ්බෝයි (ලියෝ බර්නෙට්‌) යන වෘත්තිකයින් අයත් වූහ. කාන්ස්‌ යන්ග් ලයන්ස්‌ තරගාවලියේ විනිශ්චයකරුවන් වූයේ රොහාන් රාජරත්නම් (වර්ඩ්ස්‌), රසල් මිරැන්ඩා (ග්‍රාන්ට්‌ මැකෑන් එරික්‌සන්), සුමින්ද ගමගේ (JWT) නිකෙලා බෝලි (ලියෝ බර්නෙට්‌) සහ හරේන්ද්‍ර පුෂ්පකුමාර (බේට්‌ස්‌) යන වෘත්තිකයන්ය.

"වෙළෙඳ ප්‍රචාරණයේ ජාත්‍යන්තර උළෙල සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින් හට වැඩි අවස්‌ථාවක්‌ හිමිවීම තුළින් ක්‍ෂේත්‍රයේ තත්ත්වය ඉහළ ගොස්‌ ඇති බව පැහැදිලිව පෙනී යනවා" යනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරණ සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සභාපතිනි රේණුකා මාර්ෂල් පැවැසුවාය.

"කාන්ස්‌ ලයන්ස්‌ වැනි උළෙලවලදී තරුණ ප්‍රචාරණ වෘත්තිකයින් හට ලැබෙන අත්දැකීම් ඔස්‌සේ ශ්‍රී ලාංකීය වෙළෙඳ ප්‍රචාරණ ක්‍ෂේත්‍රය ඉදිරියට යැම ගැන මා මහත් සතුටට පත් වෙනවා. අපගේ නිර්මාණයන් ජාත්‍යන්තර ඇගයුමට පවා ලක්‌වනු ඇතැයි මා විශ්වාස කරනවා" යනුවෙන් 4A.s සංගමයෙහි සභාපති කීත් විෙ-සූරිය පැවසීය.

මේ පිළිබඳව සිය අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ කාන්ස්‌ නියෝජිත රනිල් ද සිල්වා මෙසේ පැවැසීය. "ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව තරග වැදීම ඉමහත් සතුටුදායක තත්ත්වයක්‌ වන අතර මෙහිදී අප රටට සම්මාන හිමි වනු ඇතැයි මා විශ්වාස කරනවා. තරුණ ප්‍රචාරණ වෘත්තිකයින් හට අවස්‌ථාවන් ලබාදීම තුළින් අප ක්‍ෂේත්‍රයේ අනාගත පරම්රපාවේ නිර්මාණ ශීලීත්වය වර්ධනය කිරීම සැබැවින්ම ප්‍රශංසනීයයි."

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.