ඉන්දියානු අරක්‌කැමියා
අපට කියා දුන් පාඩම


ඉන්දියානු කෝකියකුගේ මළ සිරුරක්‌ මුන්දලම ප්‍රදේශයේ මුහුදට දමා ආපසු එමින් සිටි යේ යෑයි කියන හෝටල් හිමියකු සහ රහස්‌ පොලිසියේ ඕ.අයි.සී. මහතකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය ප්‍රශ්න කිහිපයක්‌ ඇති කර තිබේ. පළමුවැනි ප්‍රශ්නය මියගිය තැනැත්තා විදේශිකයකු වීම ය. දෙවැන්න මේ සිද්ධියට රහස්‌ පොලිසියේ නිලධාරියකු මැදිව සිටීම ය. පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා පොලිසිය යහපත් සිවිල් ආයතනයක්‌ බවට පත් කිරීමේ උත්සාහයක නිරතව සිටියදී මෙවැනි සිදුවීම් අතරින් පතර හෝ සිදුවීම ගැන අප මහත් සේ කනගාටු වෙමු.

කෙසේ වුවද මේ සිද්ධිය පිළිබඳව වරද සහ නිවරද උසාවිය මගින් තහවුරු විය යුතුය. එහෙත් ඒ සිද්ධියෙන් මතු වී ඇති වැදගත් කාරණයක්‌ තිබේ. ඒ වූ කලී අපේ මිනිසුන්ටත් කරන්නට රස්‌සාවල් නැති රටේ විදේශිකයන් පැමිණ රැකියා කරන බව ය. සමහර වෘත්තීන් සඳහා අපේ රටේ සුදුස්‌සන් නැති බව සැබෑ ය. වෘක්‌ක බද්ධය සඳහා වූ වෛද්‍යවරුන්, හදවත් සැත්කම් කරන වෛද්‍යවරුන් ඇතැම් සුවිශේෂ ඉංජිනේරුවන් සහ නිර්මාණකරුවන් පිටරටින් ගෙන්වීමේ අවශ්‍යතාව කවර රටක වුව ඇති වෙයි. එහෙත් මේ රටේ ශ්‍රම අතිරික්‌තයක්‌ ලෙස පවත්නා වෘත්තීන් වෙනුවෙන් පවා පිටරටින් ශ්‍රමිකයන් ගෙන්වනු දැන් දැකිය හැකි ය.

ඉන්දියානු ජාතික ටේලර්වරුන් සහ කෝකිවරුන්, චීන ජාතික වෛද්‍යවරුන්, මහජන සම්බන්ධතා නිලධාරිනියන් ලෙස හඳුන්වාගෙන තායිවානය, හොංකොං, රුසියාව, සිංගප්පූරුව වැනි රටවලින් එන ගණිකාවන් යනාදීන් තොග වශයෙන් ලංකාවේ සිටිති. මේ සියලු දෙනා එන්නේ සංචාරක වීසාවක්‌ ලබාගෙනය. මාසයක කාලයක වීසා ලබන ඔවුහු අවුරුදු දෙක තුනකටවත් ලංකාවෙන් නොයති. එහි රහස පෙර කී රටවල පෙරකී වෘත්තීන්වල යොදන්නට ගෙවන මුදලට වැඩි මුදලක්‌ ලංකාවේදී ඔවුනට ලැබීමත් මෙරට ජීවන වියදම සාපේක්‍ෂව අඩු වීමත් ය. සියලු ලඡ්ජාවන් අතහැර අප පිළිගත යුතු ඇත්ත කතාව නම් ලංකාවේදී විදේශික ගණිකාවන්ටත් ඉහළම මිලක්‌ ලැබෙන බවයි. නැතහොත් ලෝකයේ වැඩිම ජීවන වියදමක්‌ ඇති මොස්‌කව් නගරය පිහිටි රුසියාවේ සිට මෙහි පැමිණ ගණිකා වෘත්තීයෙහි යෙදෙන්නට එරට (ඒ වෘත්තියේ යෙදෙන) තරුණියන්ට පිස්‌සු යෑ?

ශ්‍රී ලංකාවේ ආගාමික නීති හෙවත් මෙරටට ඇතුළු වීමේදී විදේශිකයන්ට බලපාන නීති එතරම් තද නැත. ඒවා තද කළොත් සංචාරක ව්‍යාපාරයට පහර වදින බැවින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක්‌ නැත. සිංගප්පූරුවේ නම් නිසි බලපත්‍ර හෙවත් "වර්ක්‌ පර්මිට්‌" නැතිව වැඩ කරන විදේශිකයන් අල්ලා දඬු වේවැලකින් පහර තුනක්‌ ගසා සිරගෙට දමා තුන්හාර මාසයකට පසු ඔවුන්ගේ මවු රටවලට පටවා එවනු ලැබේ. එසේ ගසන වේවැල් පහර තුනෙන් පළමුවැන්නට ඇස්‌ නිලංකාර වී, දෙවැන්නට අවීචි මහ නරකය පෙනී, තෙවැන්නට සිහි නැති වන බව ගුටි කෑවෝ කියති. මෙබඳු නීතියක්‌ ලංකාවේ තිබුණේ නම් ජී.එස්‌.පී. සහනය නැති වන්නේ එය ලබා දුන් සුනාමි අවුරුද්දේමය.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලංකාවේ නීති පිළිබඳ උපදෙස්‌ දීමට විද්වත් මණ්‌ඩලයක්‌ පත් කෙරෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංගමය පටන්ගත් දිනවල වාගේම ය. එහෙත් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත්, අපරාධ වැළැක්‌වීමටත් දැඩි නීති රීති පනවන බලගතු රටවලට විරුද්ධව කවුරුත් කතා නො කරන්නේ එම බලගතු රටවල් එසේ කතා කිරීමට බලා සිටින අයගෙන් යෑපෙන්නේ නැති බැවිනි. රටක්‌ හැදීමට දැඩි නීති අවශ්‍යය. අරාබි රටවල් හොරුන්ගේ අත් කපයි. ස්‌ත්‍රී දූෂකයන්ට ගල් ගසා මරයි. චීනය රාජ්‍ය දේපළ කොල්ලකන අයට වෙඩි තබයි. මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකාවේ තරුණයෙක්‌ එරට ඔක්‌ලහෝමා ප්‍රාන්තයේ පZ්‍රජා ගොඩනැඟිල්ලකට බෝම්බයක්‌ තබා බර ගණනක්‌ පරලොව යෑවී ය. ඇමරිකන් ආණ්‌ඩුව නඩු අසා වරදකරු කර ඔහුට වස දී මැරී ය.

ඉන්දියානු අරක්‌කැමියාගේ මරණය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයේදී පැන නැඟුන උප ගැටලුව වන්නේ අපේ රටේ ජනයාට හිමි රැකියා අවස්‌ථා වෙනත් රටවල වැසියන් අඩු මිලට ලබා ගැනීමේ අවධානම ය. තරුණයාගේ මරණයට හේතුව සොයන අතර රජය මේ ප්‍රශ්නයට ද පිළිතුරු සෙවිය යුතු ය. තරුණ ඉන්දියානු අරක්‌කැමියා දිවි පුදන අතර අපගේ ඇස්‌ අරවා තිබේ. ඒ ඇස්‌ ප්‍රශ්නය විසඳන තුරු නො වසමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.