සංවර්ධන දඩයම් චීන සමාගමක් විසින් රුපියල් මිලියන 4000 කින් කරනු ලබන ඉදිකිරීමක් මිලියන 750 කින් නිම කිරීමට ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි බව කියෑවෙන අපූර්ව පුවතක් ඊයේ (30) අප දිවයින පත්‍රයෙහිම පළවී තිබිණි. එහි සඳහන් පරිදි මෙම මුදල වැය වන්නේ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වර්ණ සංඥ පද්ධතියක් ඉදිකිරිමටය. චීන සමාගමට ඒ වැඩේ පැවරුවෝ මේ පුවත දැකීමෙන් මහත්සේ අපේක්‍ෂා භංගත්වයට පත්වන්නාහු නිසැකය. එහෙත් මේ පුවත මගින් රටට හෙළි කරන්නේ අතිශය බරපතල මුදල් නාස්‌තියකි. අද මේ රටේ සිදු කෙරෙන බොහෝ සංවර්ධන කටයුතුවලදී මෙන්ම සමාගම් මගින් කරනු ලබන විවිධ ඉදිකිරීම් වලදීත් කෝටි ගණනින් මුදල් වැය වන අයුරු කවුරුත් දනිති. මෙසේ වැය කරනු ලබන මුදල් කන්දරාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඇතැම් අයගේ ගිණුම්වලට බැර වන බවද සත්‍යයකි. මේ අනුව සංවර්ධනයේදී රටට වඩා ඒවාට සම්බන්ධ වූ අය සංවර්ධනය වන බවද අපට නිර්භයව කිව හැක. කෝටි නවයක් වැය කළ යුතු වැඩේට කෝටියක් වැයකර ඉතුරු මුදල මාටියා ගහන සංවර්ධන බහිරවයෝ ද මේ රටේ නොඅඩුව සිටිති. එහෙත් මේ කිසිවෙකුට මෙලෝවශයෙන් අත්වන විපාකයන්ද නොපෙනේෘ ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගේ සිට ඇතැම් ඉහළම නිලධාරීහුද කලක පටන්ම සිත්සේ මේ සංවර්ධන දඩයමට හවුල්ව සිටිති. මහජන හිත සුව පිණිස වැය කළ යුතු මුදල් තමන්ගේත් තම පවුල්වලත් සුඛවිහරණය සඳහා යොදා ගන්නා මේ ශූර චෞරයන්ට මතු යම් දිනකදි අපාගතවී කඹුරන්නට සිදුවනු ඇතැයි යන සිතිවිල්ල විනා අපටද වෙනත් අදහසක් ඔවුන් ගැන පහළ නොවේ. මේ වර්ගයේ රටක, මේ වර්ගයේ සූරාකෑමට ඉඩ තිබෙන රටක විරලව හෝ රටට ආදරය කරන හොඳ මිනිසුන් පිළිබඳ ඇසෙන පුවතක් අපගේද ධෛර්ය හා සොම්නස වඩයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක අයිතීන් හා දේපල සුරැකීමේ සංගමය අප අගයන්නේද එහෙයිනි. පසුගිය සුනාමි විපතින් විනාශවී ගිය දුම්රිය මාර්ග ප්‍රතිසංස්‌කරණය කිරීමට එදාත් මෙම දුම්රිය සේවකයන් ඉදිරිපත් වූ අයුරු අපට මතකය. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කි. මී. 100 කට වඩා දුරක් දින 52 කින් ප්‍රතිසංස්‌කරණය කළ මෙම සේවකයෝ එදා වාර්තාවක්‌ද තැබූහ. එදා ඉන්දියානු සමාගමක් ඒ කටයුතු සඳහා වසර 11/2 ක කාලයක් අවශ්‍ය බව කී අතර ඔවුන්ගේ ඇස්‌තමේන්තුව රුපියල් මිලියන 1000 ක් විය. එහෙත් දුම්රිය සේවකයන් ඒ වෙනුවෙන් වැය කළේ මිලියන 450 කි. මේ වර්ගයේ අර පිරිමැස්‌මෙන් වැඩ කරන මේ රටට ආදරයක් ඇති මිනිසුන් පල් මෝඩයන් ලෙසද කෙනෙක් සිතන්ට බැරි නැත. ගසාකෑම කොමිස් ගැසීම, නාස්‌තිය ආගම කරගත් මිනිස්‌සු අද බහුලව සිටිති. මිලියන ගණනින් ගිණුම්වලට බැර කරගත් ඇතැම් දේශපාලන සුදුරෙදි හොරුද සිටිති. එහෙත් කලාතුරකින් බඩට වඩා රට ගැන හිතන යහපත් මිනිසුන් සිටින බවද මෙබඳු පුවත් තහවුරු කරයි. කෙසේ හෝ මේ වන විටත් දුම්රිය ක්‍ෂේත්‍රයේ බොහෝ කටයුතු චීන හා ඉන්දියානු සමාගම් විසින් කරනු ලැබේ. ඒවාට වැය වන මුදල්ද කොතරම් දැයි අපිට සිතාගත හැකිය. අපි තවත් එක කතාවක් පමණක් කියමු. ඒ උතුරු දුම්රිය මාර්ගයේ පලෙයි කන්කසන්තුරේ ඉදි කිරීමකි. මෙයට ඉන්දියානු සමාගමක් ඩොලර් මිලියන 150 ක් ඉල්ලා තිsබිණි. පසුව දුම්රිය සේවක මැදිහත්වීම නිසා එයට වැය වන මුදල මිලියන 75 ක් වී ඇත. මේ කටයුතු වලට මැදිහත්වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාටද මේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුය. ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ අරමුණු ශාක්‌ෂාත්a කර දෙමින් දුම්රිය සේවය රටට වැඩදායී ලෙස පවත්වා ගෙන යැමට ඔහුගේ අත්දැකීම්ද ඉවහල් වන බව අපගේ අදහසය. මෙහිදී තවත් දෙයක් කිව යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත් රැසක් තිබේ. ඉන් ඉඩම් ප්‍ර්‍රධානය. මේ ඉඩම් වැඩි හරියක්‌ම අයථා පරිහරණයට භාජනවී තිබෙන බව සේවකයෝම කියති. සමහරු තවමත් නීති විරෝධීව ඒවා භුක්‌ති විඳින බවද කියති. ඒ ගැනද සෝදිසියක් කළ යුතුය. දුම්රිය දෙපාර්තම්න්තුව සතු ශ්‍රම බලකායද සම්පතකි. එයට අයත් සමහරු නිකම්ම පඩිකති. වැඩ කරන අයද සිටිති. මේ ශ්‍රම බලකාය රටේ යහපතට හා සංවර්ධන වැඩට යොදා ගැනීමද කරදරයක් නොමැතිව කළ හැකිය. අපට වාර්තා වන අන්දමට මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රවල ලක්‍ෂයකට අධික චීන හා ඉන්දියානු කම්කරු පිරිසක්‌ද වෙති. මේ සියල්ලෝම චීන හා ඉන්දියානු සමාගම්වලට සම්බන්ධ වූවෝය. ඔවුන් ලබන දීමනා වැටුප් යනාදී සියල්ලම යන්නේ ඔවුන්ගේ රටවලට බවද අප සිහිතබා ගත යුතුය. ඇත්ත වශයෙන් අපට ලැබෙන සංවර්ධන මුදල්වල වැඩි ප්‍රතිලාභ භුක්‌ති විඳින්නෝද ඔවුන් හා ඔවුන්ගේ සමාගම් අධිපතීහු වෙති. මෙබඳු වාතාවරණයක් යටතේ කුමන වර්ගයේ සංවර්ධන ව්‍යාපෘති රට තුළ සිදු වුවත් රටත් අපත් එතැනමය. සමාගම් කාරයෝත් උන්ට එකතු වන අපේ නඩත් හොඳට ගනුදෙනු බේරා ගනිති. රුපියලකින් කළ හැකි වැඩේට ලක්‍ෂයක් ලබා ගැනීමේ ක්‍රම සහ විධි බොහෝ සමාගම්ද දනිති. ඉහත කී පුවත්වලින් සනාථ වන්නේත් එයම නොවේද? අපි දැන්වත් මේ උගුලින් ගැලවෙමු. අපට එය කළ හැකිය. අප එය කළ යුතුය.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.