නිරුවතින් සිය දිවි නසාගත් "මැරිලින් මොන්රෝ"

1926 ජුනි 01 වැනිදා ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස්‌ නුවරදී උපත ලැබූ දැරියකට "නෝර්මා ජීන් මොටර්සන්" යන නාමය තැබිණි. එහෙත් ඇය බෞතිස්‌ම කිරීමෙන් පසුව නොර්මා ජින් බේකර් ලෙස හැඳින්විණි. මේ නෝර්මා ලොවම හොඳින් දන්නා හඳුනන නිළියක්‌, ගායිකාවක්‌ මෙන්ම මෝස්‌තර නිරූපන ශිල්පිනියකි. එහෙත් ඇය ලොවෙහි ප්‍රසිද්ධවී ඇත්තේ මැරිලින් මොන්රෝ ලෙසය. පසුගිය දිනක මොන්රෝ හා ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි පිළිබඳව කලක්‌ සඟවා තිබූ රහසක්‌ ඇමරිකානු එෆ්. බී. අයි. ආයතනය විසින් හෙළිකර තිබිණි. එනම් මේ ප්‍රකට නිළිය, ඇමරිකානු ජනාධිපතිවරයාත් ඔහුගේ එඩ්වර්ඩ් හා රොබට්‌ යන සහෝදරයන් දෙදෙනාත් සමග එකට රමණය කරමින් සාද පවත්වා ඇති බවයි. මෑන්හැටන් කාලයිල් හෝටලයේ මේ ලිංගික සාද පවත්වා ඇත. ඇත්තෙන්ම මොන්රෝ ජෝන් එෆ් කෙනඩි සමග කලක්‌ ප්‍රේමයෙන් සිටි අතර තමාව විවාහ කර ගන්නැයි කිහිපවිටක්‌ ඇමරිකානු ජනාධිපතිවරයාට බලකර සිටි අතර. පසුව ඔහුගේ සහෝදර රොබර්ට්‌ කෙනඩි හා මිත්‍ර විය.

1962 අගෝස්‌තු 05 වැනිදා මොන්රෝ කැලිෆොaර්නියාවේ බ්‍රෙන්ට්‌වුඩ්හි පිහිටි සිය නිවසේ කාමරයක නිරුවතින් සිය දිවි නසාගෙන සිටියාය. ඇගේ නිවසේ සේවිකාව වූ එවුනිස්‌ මරේට අනුව දුරකථනයද මොන්රෝගේ මළ සිරුර අසල විය. සමහරු පවසන්නේ සෙනෙට්‌ සභික බොබ් කෙනෙඩිට අවසන් වරට ඇය දුරකථන ඇමතුමක්‌ ලබාදී ඇති බවය. මේ මරණයට බොබ් සම්බන්ධ බවට බොහෝ කටකථා පැතිරිණි. කෙසේ නමුත් මොන්රෝ සිය දිවි නසාගත්තේ අධික ලෙස නිදි පෙති පානය කිරීම නිසාය. ඇගේ මරණ පරීක්‍ෂණය කළ වෛද්‍යවරු පැවසුවේ ඇය බී තිබූ නිදි පෙති ප්‍රමාණය දසදෙනකුට වුවද මරු කැඳවිය හැකි බවයි. මොන්රෝ බොහෝ වාර ගණනක්‌ ගබ්සා සිදුකරගෙන තිබූ අතර ඇය අවසන් වරට ගබ්සාවක්‌ සිදුකරගෙන තිබුණේ ජුලි 20 වැනිදාය. එමෙන්ම ඇය කලක පටන් මානසික ආබාධයකින් පෙළුණු අතර නිරන්තරව ඇය ගැන සොයා බැලීමට පෞද්ගලික මානසික වෛද්‍යවරයකු පත්කර තිබිණි. මොන්රෝ සිය දිවි නසාගත් දිනයේ ඇගේ සේවිකාව මුලින්ම දුරකථන ඇමතුමක්‌ ලබාදුන්නේ පෞද්ගලික මානසික වෛද්‍යවරයකු වූ රුල්ෆ් ග්‍රින්සන් වෙතය. ඔහු පැමිණ පරීක්‍ෂා කිරීමේදී මේ ප්‍රකට නිළිය සිය කාමරයේ අවසන් ගමන් ගොස්‌ සිටියාය. ඒ වන විට ඇගේ වයස අවරුදු 36 කි. 20 වැනි සියවසේදී වඩාත්ම ආන්දෝලනයකට ලක්‌වූ මරණයක්‌ ලෙස මේ සුපිරි නිළියගේ සියදිවි නසාගැනීම හඳුන්වා දිය හැක. මේ නිළියගේ මරණය පිටුපස සී. අයි. ඒ. සංවිධානය සිටින බවටද ප්‍රචාරය විය. ජෝන් කෙනඩි හා බොබ් කෙනඩි සමග ළඟින් ආශ්‍රය කළ නිසා ඇය බොහෝ රාජ්‍ය රහස්‌ දැනගෙන සිටියාය. ඒවා ඇගේ දිනපොතක සටන් කර තිබූ අතර මේ සටහන් සමහර පෞද්ගලික හිතවතුන්ට ද පෙන්වීමට මොන්රෝ කටයුතු කළාය. එක්‌ අවස්‌ථාවක කියුබානු නායක පිදෙල් කැස්‌ත්‍රොa ඝාතනය සඳහා ඇමරිකානු රජය සූදානම් වන බවත් ඇය දැනගෙන සිටියාය. කෙසේ නමුත් ඇගේ මරණයත් සමග මේ සටහන් පොත් ද අරුම පුදුම ලෙස අතුරුදන් විය.

මොන්රෝගේ මරණය සියදිවි නසාගැනීමක්‌ නොව මිනීමැරුමක්‌ යෑයි තර්ක කරන කණ්‌ඩායම් පවසන්නේ ඇය සියදිවි නසාගැනීමට පෙර තමාගේ මරණය ගැන ලිපියක්‌ ලියා තිබුණේ නැති බවයි. එමෙන්ම ඇය නිදි පෙති රාශියක්‌ බිව් බව ප්‍රකාශ වී තිබුණ ද එම කාමරයේ වතුර වීදුරුවක්‌ තිබී නැත. පොලිසිය නිවසට පැමිණ ඇත්තේ පැය හතරකට පසුවය. එමෙන්ම ඇගේ පෞද්ගලික මානසික වෛද්‍යවරයාගෙන් මේ මරණය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ "මට ඔක්‌කොම කියන්න බැහැ මේ ගැන බොබ් කෙනඩිගෙන් අහන්න" යනුවෙනි.

මැරිලින් මොන්රෝ මියගොස්‌ දශක ගණනාවක්‌ ගත වුවත් ඇගේ සියදිවි නසාගැනීම තවමත් කතාබහට ලක්‌වේ. කෙසේ නමුත් මේ සුපිරි නිළිය ඇමරිකාවේ පමණක්‌ නොව ලොවම හොඳින් දන්නා සුන්දර නිළියක්‌ වුවත් ඇගේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගි වීමට ඉඩ ලැබුණේ 25 දෙනකුට පමණි.

මොන්රෝ ජීවත් වූයේ වසර තිස්‌ හයක්‌ වුවද තෙවතාවක්‌ විවාහ වූ තැනැත්තියකි. ඇගේ සුන්දර රුව බොහෝ ප්‍රභූන් ඇය වෙත අද්දන්නක්‌ වූ බව සටහන් කළ යුතුමය. ඇය මුලින්ම විවාහ වූයේ ජෙම්ස්‌ ඩොරති සමගය. ඒ 1942 ජුනි 19 වැනිදාය. මේ විවාහය පැවැතියේ වසර හතරක්‌ පමණි. 1953 දී ඩොරති "Marlin Monroe was My wife" මැයෙන් ලිපියක්‌ ලියූ අතර එහි තමා හැර නොයන ලෙස මොන්රෝ ඉල්ලීම් කළ බවද එසේ වුවහොත් සිය දිවි නසාගන්නා බවද ප්‍රකාශ කර තිබූ බව සටහන් කර තිබිණි. මොන්රෝගෙන් දික්‌කසාද වූ ඔහු නැවත විවාහ වූ අතර 1962 අගෝස්‌තු මාසයේදී මේ නිළියගේ මරණය දුරකථනයෙන් දැනුම් දුන් විට "මට කනගාටුයි" කියා පවසා සිය සුපුරුදු රාජකාරිවල නිරත වූ අතර අවමඟුලට සහභාගි වූයේ නැත.

නිළියක සමග විවාහවීම විශාල අවුලක්‌ බව ඩොරතිට අවබෝධවී තිබුණේ දැයි අපට පැහැදිලි නැත. සුපිරි ක්‍රීඩක ජෝ ඩි මැගියෝ, මොන්රෝගේ දෙවැනි සැමියා විය. මොවුන්ගේ විවාහය සිදුවූයේ 1954 ජනවාරි 14 වැනිදා වන අතර මධුසමය සඳහා දෙදෙනාම ජපානය බලා පිටත්විය. විවාහ වී දින 274 කට පසු ඇය දික්‌කසාද නඩුවක්‌ දැම්මේ සිය සැමියා තමාව දරුණු මානසික පීඩනයකට ලක්‌කරන බව පවසමිනි. "The seven Year Itch" චිත්‍රපටය සඳහා නිව්යොර්ක්‌ නගර මැද මොන්රෝගේ සාය සුළඟින් උඩට විහිදෙන අයුරු රූගත කිරීම ගැන මැගියෝ අප්‍රසාදයට පත් වූ බවත් මේ යුවල මේ ගැන කළහ කරගත් බවත් ඒ දිනවල පුවත්පත්වල පළවී තිබිණි. එයින් දින ගණනාවකට පසු මොන්රෝ දික්‌කසාදය ඉල්ලා නඩු දැම්මාය. 1961 පෙබරවාරි මාසයේදී ඇය මානසික රෝහලක ප්‍රතිකාර ලබාගත්තාය. මේ අවස්‌ථාවේ ඇය වෙනුවෙන් සියලු කටයුතු සිදු කළේ මැගියෝ විසිණි. 1962 අගෝස්‌තු මාසයේදී මොන්රෝ සිය දිවි නසාගත් පසුව ඇගේ අවමඟුල් කටයුතු සංවිධානය කළේ ද මොහු විසිනි. මොන්රෝ ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී නැවතත් සිය දෙවැනි සැමියා සමග ළඟින් ආශ්‍රය කළ අතර ඔවුන් නැවත විවාහ වීමට සූදානම් වන බවටත් තොරතුරු පළ විය.

1956 ජුනි 29 වැනිදා මොන්රෝ ප්‍රකට චිත්‍රපට පිටපත් රචකයකු වූ ආතර් මිලර් හා විවාහ විය. මේ විවාහය මාධ්‍යයන්ට රහසක්‌ ලෙස තබාගැනීමට දෙදෙනාම ක්‍රියා කළහ. විවාහ වූ දිනට දින දෙකකට පසු යුදෙව් ආගමානුකූලව ද විවාහ උත්සවයක්‌ සංවිධානය කළ අතර මෙයට තිස්‌දෙනකුට ආරාධනා කර තිබිණි. ක්‍රිස්‌තියානි කාන්තාවක්‌ වූ මොන්රෝ, මිලර් හා විවාහවීමට පෙර යුදෙව් ආගමට හැරුණාය. මිලර් හා විවාහ වී සිටින විට මොන්රෝ ගැබ්ගත්තාය. කෙසේ නමුත් ප්‍රකට නළුවෙකු වූ ටෝනි කර්ට්‌ස්‌, ප්‍රකාශ කළේ මොන්රෝ ගැබ්ගත්තේ තමා නිසා බවයි. 1959 දී "Some Like It Hot" චිත්‍රපටය රූගත කරන සමයේ මොන්රෝ හා තමා අතර පැවැති සබඳතාව නිසා මෙසේ ඇය ගැබ්ගෙන ඇතැයි කර්ට්‌ස්‌ ප්‍රකාශ කළේය. මේ සියල්ල නිසා මේ තෙවැනි විවාහයත් අර්බුදයට ලක්‌විය. එම නිසා මොන්රෝ මිලර් යුවල 1961 ජනවාරි 24 වැනිදා දික්‌කසාද වූහ.

ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් මැරිලින් මොන්රෝ චිත්‍රපට ඉතිහාසයේ කාන්තා නිළියන් අතුරින් හයවන ස්‌ථානයට පත්වන ශ්‍රේෂ්ඨතම ශිල්පිනිය ලෙස නම් කර ඇතත් ඇගේ පෞද්ගලික ජීවිතය මහත් අවුල් ජාලයකින් හෙබි එකක්‌ වූ බව රහසක්‌ නොවේ. බොහෝ ප්‍රභූන් ආශ්‍රය කළද ඔවුන් සමග යහන්ගත වුවද වයස 36 දීම ඇයට සියදිවි නසාගැනීමට සිදුවූයේ මේ විවිධ සබඳතා හරහා පැන නැගුණු අවුල් නිසාය. මොන්රෝ පසුකාලීනව මානසික රෝගියකු බවට පත්වීමට කුඩා කාලයේදී ඇය මුහුණ දුන් අතවර හේතුවී ඇත. විශේෂයෙන්ම ඇගේ මව ග්ලැඩ් පර්ල් මානසික ආබාධයකින් පෙළුණු කාන්තාවක්‌ වීම නිසා කුඩා මොන්රෝට ජීවත් වීමට සිදුවූයේ භාරකාර දෙමාපිය යුවලක්‌ යටතේය. වයස 12 දී ඇය හැදී වැඩුණු එක්‌ නිවසකදී ලිංගික අතවරයට පවා ලක්‌වූවාය.


චතුර පමුණුව‍

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.