අංගම් පොර ශාස්‌ත්‍රීය විමර්ශන

මුළු ලොව විශ්මයට පත් කරවන අන්දමේ වාරි කර්මාන්ත ශිෂ්ටාචාරයක්‌ මෙන්ම සටන් ක්‍රමයක්‌ද සිංහලයන් සතුව තිබූ බවට අතීත තොරතුරුවලින් හෙළි වෙයි. එය එකල හැඳින්වූයේ "අංගම් පොර" හෙවත් අංගම් හටන" යනුවෙනි. ඉතා කලාතුරකින් එය "අංගම් කෙටීම" යනුවෙන් ද හැඳින්වේ. අතීතයේ විසූ අපේ රජවරුන් සෙන්පතිවරුන් පමණක්‌ නොව සියලුම රණවිරුවන් කඩු ශිල්පයෙහි දුනු ශිල්පයෙහි පමණක්‌ නොව "අංගම් සටන්"වලද අති දක්‌ෂයෝ වූහ.

ඉංග්‍රීසීන් විසින් මේ රට යටත් කරගෙන ගෙනගිය පාලනයෙන් පසුව අනුක්‍රමයෙන් අපේ පාරම්පරික සටන් ක්‍රම ඉවත්වී "අංගම් පොර" (අංගම් හටන්) සදාකාලයටම වැළලී ගිය බවට පැරැණි තොරතුරුවලින් හෙළි වෙයි.

"අංගේ" හෙවත්" "අංගම් පොරය" එදා පැවැති සටන් ක්‍රමවලින් මුල්තැනක්‌ ගත් සටන් ක්‍රමයකි. ශාරීරික හටන යනුවෙන් අදහස්‌ කරන "අංගම් පොරය" සිංහල රජ සමයෙහි ක්‍රීඩා යුද්ධ විශේෂයක්‌ විය. ආයුධ ඇතිව හෝ නැතිව මෙම සටන් කරන ලද බව පෙනේ. ආයුධයක්‌ අතට ගත්තද එය බොහෝ විට "කලාකිරිඤ්ඤයක්‌, ලී උලක්‌, "රංචාගවක්‌" වැනි කුඩා ආයුධයක්‌ මිස බිහිසුණු ආයුධයක්‌ නොවන බව හෙළි වෙයි.

එක්‌ අතකින් "අංගම් පොර" හුදු සටන් ක්‍රමයකටත් වඩා ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරන සටන් ක්‍රමයකි. ප්‍රතිමල්ලවයා මරා දැමීමට වඩා මෙල්ල කිරීම මෙහි අරමුණ වූ බව පෙනේ. "අංගම් පොර" සටන්වල යෙදෙන්නන් ඒ පිළිබඳව මනා පුහුණුවක්‌ ලැබිය යුතුය. එසේම මහා ශික්‌ෂණයකින් යුක්‌ත අයවළුන්ය. අංගම් හටනෙහි පුහුණුවීමට පෙර යෝගි ව්‍යායාම් සහ භාවනාද ප්‍රගුණ කළ යුතු විය. "කුණ්‌ඩලනී යෝගය" යනුවෙන් හැඳින්වෙන ආත්මයක්‌ ඉදිරියට සහ පසුපසට තොරතුරු දැකගත හැකි යෝගය උදාකර ගත හැක්‌කේ මෙම භාවනාවෙනි.

"අංග" යනු ශරීරයට හෝ ශරීරාංගවලට යෙදෙන නමයි. "පොර" යනු සටන හැඳින්වෙන නමයි. ඒ අනුව "අංගම් පොර" යනු අතින් කෙරෙන ද්වන්ධ සටනයි. පෙර රජ දවස රජුන් ඉදිරියේ විනෝද පිණිස ක්‍රියාත්මක වූ යුද්ධ ක්‍රීඩා විශේෂයක්‌ ලෙස "අංගම් පොර" සැලකේ. සාමාන්‍යයෙන් එක්‌ අයෙකුගේ අතපය සිඳෙන තුරු හෝ මරණය සිදුවනතුරු රණශූරයන් දෙදෙනකු අතින්, මුගුරුවලින් හෝ කඩුපත්වලින් ඉතාමත් දක්‌ෂ ලෙස සටන් කරති.

ලක්‌දිව සෑම ගමකම "අංගම් සටන්" ක්‍රම පුරුදු කරන මධ්‍යස්‌ථාන ඈත අතීතයේ පැවැති බවට සාක්‌ෂි අපමණය.මෙම මධ්‍යස්‌ථාන හඳුන්වනු ලැබුවේ "ඉලංගම් මඩුව" හෙවත් "ඉලංගම" යනුවෙනි. මෙම "ඉලංගම්" මඩුව හරඹ ශාලාවකින්ද යුක්‌ත විය. ඒ ඒ පාර්ශ්වවල සටන්කරුවන් සටන් බිම වෙත පෙරහැරේ කැටිව යැම සඳහා අවශ්‍ය නැට්‌ටුවන් හා වාදකයන් පුහුණු කරන "ඉලංගම්" මඩුව හෙවත් "ඉලංගම" යනුවෙන් හැඳින්වුණු ශාලාවකින්ද යුක්‌ත විය. මෙම හරඹ ශාලාවල උසස්‌ තනතුරු ලබාගැනීමට කවුරුත් ඉතා කැමැත්තක්‌ දැක්‌වූ බව පෙනේ.

"අංගම් සරඹ" ආදී යුද්ධ විද්‍යාව පිළිබඳ මෙම අංග පුහුණු කිරීම "මරුවල්ලිය හා "සුදලිය" යනුවෙන් පාර්ශ්ව දෙකක්‌ ලෙස වෙන්කර යුද සරඹ පුරුදු පුහුණු කිරීම මෙම මධ්‍යස්‌ථානවල සිදු කළහ. මින් එක්‌ පාර්ශ්වයක පුහුණුව ලැබූවන් නිතරම අනිත් පාර්ශ්වයේ පුහුණුව ලැබූවන් සමග විරුද්ධව නිතරම තරග බිමට බැසීම සිදුවූ බවට තොරතුරු හෙළි වෙයි. මෙම කණ්‌ඩායම් දෙකේ නායකයන් "සුදලියේ මුහන්දිරම් නිලමේ" සහ "මරුවල්ලියේ මුහන්දිරම් නිලමේ" යන නම් වලින් හඳුන්වනු ලැබූහ. 1815 දී ඉංග්‍රීසින්ට කරන ලද උපකාරවලට සැලකීමක්‌ වශයෙන් මෙම තනතුරු තමන්ට පවරන ලෙස "මෝල්ලිගොඩ" සහ පලිපාන" යන දෙදෙනා ඉල්ලා සිටි බැවින් ඒවා ඔවුනට පැවර බව ඩොයිලි මහතා සඳහන් කරයි.

"පළමු වන රාජසිංහ" "රජ දවස" ගෝවේ" පෘතුගීසින්ගේ ආරක්‌ෂාවේ විසූ "කොනප්පු බණ්‌ඩාර (පසුව 1 විමලධර්ම)" එහිදී කඩු හරඹයට එළඹීමට සූදානමක්‌ නොමැතිව කඩුවක්‌ පැළඳගෙන තම නිවසේ දොරටුව පසුකොට යුද රජකුට වූවද ඉඩ නුදුන් "ගජබාහු" නමැති රණශූර කපිතාන්වරයකු සමග හටන් කර මරා දැමූ බවත් "කොනප්පු බණ්‌ඩාර" ලංකාවේ "ඉලංගම්වල" හරඹ උගත් බවද පැවසේ.

"රාජසිංහ රජු" ප්‍රතිකාලුන්ට විරුද්ධව සටන් කිරීමේදී "අතුරුගිරි කෝරළය, හේවාගම් කෝරළය සහ කොරතොට" යන ප්‍රදේශවල ආරච්චිවරුන් ළඟට කැඳවා "හෝකන්දර" හේවායන් ගෙන්වා ඉංගම්වල" පලියක්‌කාර දහසක්‌ දී යුද්ධ භූමියේදී පසු පාර්ශ්වයන්ට පැන කොටන්නට යැවූ බව "රාජාවලියෙහි සඳහන් වෙයි. ඒ අනුව "ඉලංගම" යනු යුද සරඹ උගැන්වූ සටනක්‌ බව සැලකේ.

කඩු සරඹ පුහුණු කරවන "ඉලංගම්" හැර රජුගේ නාටිකාංගනාවන් පුහුණු කරවන "නැටුම් ඉලංගුම" හා ඉන්ද්‍රජාල, පිනුම්, බොරුකකුල් දමා ඇවිදීම, නැටුම් ආදිය පුහුණු කරවන" වාහල් ඉලගම" යෑයි තවත් ආයතන දෙකක්‌ අතීතයේ විය. මෙම ආයතනවල ප්‍රධානීන් "නැටුම් ඉලංගේ මුහන්දිරම් නිලමේ සහ වාහල ඉංලගම් මුහන්දිරම් නිලමේ" යන නම් වලින් හඳුන්වනු ලැබූහ. සාමාන්‍ය භටයන් පුහුණු කරවීම සඳහා පැවැති ආයතන හැර රජකුමරුවන්ට කඩු හරඹාදිය පුහුණු කරවීම සඳහා රජවාසල විශේෂ සරඹ ශාලාවක්‌ හා "ඉලංගම් මඩුවක්‌ද" තිබුණේය.

අංගම් පොර පුහුණුවීමේදී ඇත් දළවලින් නිමවන ලද කාදුව සහිත ලී කඩු සහ වියන ලද පළස්‌ උපයෝගි කරගෙන ඇත. "ඕමට්‌ඨ, උම්මට්‌ට, මට්‌ට, වීමට්‌ට යෑයි කඩු සරඹයේ ප්‍රධාන අංග සතරකි. පහළට කැපීමට "ඕමට්‌ඨ, යනුවෙන්ද ඉහළට කැපීමට "උම්මට්‌ට" යෑයිද කඩුවෙන් ඇනීමට "මට්‌ට" යෑයිද , ව්‍යවහාර කර ඇත. සෙසු පහර සියල්ල "වීමට්‌ට" නම් වේ. ලී කඩුවලින් හරඹ පුරුදු පුහුණු වූ පසු ලෝහමය කඩු ගෙන කෙසෙල් කඳන්, නාඹ, තල්ගස්‌, එල්ලන ලද කුරුම්බා හා මිනිස්‌ රූපද (පඹයන්) කපා කොටා වැඩිදුරටත් යුද සරඹ පුහුණු කරන ලදී.

"අංගම් පොර" පුරුදු පුහුණු වූ යුද්ධ හමුදාව හැඳින්වූයේ "පනික්‌කි" හමුදාව යන නමිනි. පෘතුගීසීන් සමග 1638 දී සිංහලයන් කළ සටන ආරම්භ වන්නට මත්තෙන් "කුලතුංග" මන්ත්‍රී සහ "සෙනරත් මුදලි" විසින් සිය සතුරන් කෙසෙල් කඳන් වලටද කුරුම්බා වලට හා පඹයන්ටද සමාන කර නිග්‍රහ කර ඇත. එසේම "පළමුවන රාජසිංහ" රජ ඉලංගන්කාර" යන් දහසත් හා "ඉලංගම්වල පුහුණුව ලැබූ" පනික්‌කි රාළලාගෙන් යුත් යුද්ධ හමුදාවත් මෙහෙයවා පෘතුගීසි හමුදාව විනාශ කිරීමෙනුත් සිංහල භටයන්ට ලබාදී තිබුණ පුහුණුව කෙබඳුදැයි සිතිය හැක.

"අංගම් පොර" පවත්වන භූමිය මණ්‌ඩලකාර හෝ චතුරශ්‍රාකාර වේ. ඊට "අකාඩය" පොර භූමිය අංගම් මැඩිල්ල, අංගම් මඩුව" ආදී නම්ද "අංගම් පොර"යෙහි විශේෂ දක්‌ෂතාවක්‌ ඇති රණශූරයන්ට "පනික්‌කිරාළ" යන නම්ද "අංගම් පොර" වැදීමට "අංගමේ කොටා ගැනීම" යන නම්ද ව්‍යවහාර වෙයි. මල්ලව පොර බැදීම සඳහා පිළියෙල කළ තැන පාලියෙන් "අක්‌ඛවාට" නමින්ද "අතවළු" හෝ "අකාඩ" යෑයි පැරණි වහරෙහිද පැවැති බව "ජාතක අටුවා ගැටපදයෙන්" හෙළි වේ.

"බදුල්ලේ" සිට මහනුවර" දළදා මාළිගාව කරා යන වන්දනාකරුවකුට මග පෙන්වන ආකාරයෙන් 17 වන සියවසේ රචිත "මග සලකුණ" නම් කාව්‍යයෙහි "සෙංකඩගල" නුවර පල්ලෙ වාසලට නුදුරුව තිබූ අතීතයේදී සෙබළුන් "අංගම් පොර"අරින "අංගම් මැඩිල්ලක්‌" ගැන මෙසේ සඳහන් වේ.

ගම්බිම් පිණිස ඇවිදින් එන රාසියට

නම්ගම් කිය කියා උනුනුත් වේග කොට

අංගම් පොර අරිත සෙබළුන් එමට

අංගම් මැඩිල්ලෙන් බසුවී සතුට

ඇතැම් විට ගැඹුරු වළක්‌ (ළිඳක්‌) සාරා එහි බැස "අංගම් පොර" වැදුණ බව සඳහන් වේ. "සුදලියා" හා "මරුවල්ලිය" යන සෙබළ ආයතනාදිය පිළිබඳ "ජෝන් ඩේව්" මහතාගේ ලංකාවේ අභ්‍යන්තර පෙදෙස්‌ පිළිබඳ විස්‌තරයක්‌ (AN ACCONNTOF THE INTERIOR OF CEYLON) නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ. "පුරාණ කාලයේ මුළු රටම සුඛලියා හා මරුවල්ලිය යන සෙබළ ආයතන කණ්‌ඩායම් දෙක අතර බෙදා තිබුණේය. ඉන් එක කණ්‌ඩායමක හෙවත් පක්‌ෂයක රණශූරයෝ හැමවිටම අනිත් පක්‌ෂයේ ශුරයන් සමග තරග බිමට බසින්නෝ වූහ. බිමින් හෝ කඩුපලස්‌ ගෙන හෝ මුගුරුවලින් හෝ ඔවුහු ද්වන්ධ යුද්ධ කළහ. රාජ සභාවන්හි කඩු සරඹාදිය අවි ශිල්ප දැන්වීමද ඔවුන්ගෙන් ඉටුවිය. මිනිසුන් අතර වෛරය හා කළහ ආදිය පැතිරීමට එය හේතුව බැවින් පසු කාලයෙහි ලේ සොල්වන අවි ගැටුම් අත්හැර දමන ලදී.

ලබන සතියට ...

ජයතිස්‌ස තෙන්නකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.