ව්‍යවස්‌ථා සංශෝධනය!

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු හොඳට තලා පදම් වූ මුව හමක්‌ සේ අපි දකිමු. දේශපාලන නායකයෝ පමණක්‌ නොව විවිධ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීහු ද නොයෙක්‌ විද්වත්හු ද මෙම මුව හමට කලක්‌ තිස්‌සේ තඩි බාමින් සිටිති. එහෙත් මුව හමට තඩි බෑම විනා ඉන් ඉදිරියට පියවරක්‌ හෝ තැබීමට මෙතෙක්‌ කිසිවකුට හැකි වී තිබේද?

දැන් යළිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක අගමැති ක්‍රමය මෙරට ස්‌ථාපිත කිරීම සඳහා රජය සූදානමින් සිටින බව වාර්තා වී තිබේ. මෙවර වෙනදාට වඩා ඉදිරි පියවරක්‌ ද තබමින් ඒ සඳහා ප්‍රධාන විපක්‍ෂය වන එ.ජා.ප.ය සමඟ සාකච්ඡා වටයක්‌ ඇරැඹීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව ජනාධිපති ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයන් හා විපක්‍ෂ නායක ප්‍රමුඛ එ.ජා.ප.යේ නියෝජිතයන් අද (12 දා) සාකච්ඡා වටය ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ නරක පිළිබඳව මේ වන විටත් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් වී තිබේ. එය වෙනස්‌ කිරීම සඳහා ජනතා කැමැත්ත ද ප්‍රකාශ වී ඇත. මෙම ව්‍යවස්‌ථාව ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඒකාධිපතියකු නිර්මාණය කිරීමක්‌ බව 1978 ව්‍යවස්‌ථාව පිළිබඳ අගනා ශාස්‌ත්‍රීය නිබන්ධයක්‌ කළ කීර්තිමත් දේශපාලන විශාරදයකු මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලන භූමියේ විශිෂ්ට නායකයකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සඳහන් කර තිබිණි.

විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලය හා පාර්ලිමේන්තුව හෑල්ලු කිරීම පිළිබඳව එහි අගනා විවේචනයක්‌ ද එයි. එසේම ජනතාවගේ ජන මතය උදුරා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී කෙමනක්‌ ලෙස එම ව්‍යවස්‌ථාවෙන් යෝජනා කරන ලද මනාප ඡන්ද ක්‍රමය ද විවේචනය වී තිබේ.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග එය හැඳින්වූයේ ඡේ. ආර්. ගේ බහුබූත ව්‍යවස්‌ථාව නමින් වුවද ඇය එය වෙනස්‌ කිරීමට සාධනීය පියවරක්‌ නොගත්තීය. ජනාධිපති ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බවට ඇය ජ.වි.පෙ.ට ලිත ප්‍රතිඥවක්‌ ද දී තිබිණි. එහෙත් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල යන ජන වහර තහවුරු කළ කුමාරතුංග මැතිනිය එකොළොස්‌ වසරක්‌ම ජනපති ධුරයෙහි රස වැළඳුවාය.

ඉනික්‌බිති ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී සිය මහින්ද චින්තනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් කළේය. අනතුරුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සර්ව පාක්‍ෂික කමිටුවක්‌ ද කැඳවා එම සංශෝධන ක්‍රියාවලිය සඳහා අවධානය යොමු කළේය. සමානුපාතික නියෝජනය නිවැරැදි කිරීම ඇතුළු ඒ කාර්ය සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක්‌ ද පත්විය.

කෙසේ හෝ 1990 පමණ වන විට මෙම ව්‍යවස්‌ථාව හඳුන්වා දීමට මුල් වූ එ.ජා.ප.යට ද ජනාධිපති ක්‍රමය එපා වී තිබිණි. එයින් පසක්‌ වන එක්‌ දෙයක්‌ ද ඇත. එනම් එම ව්‍යවස්‌ථාව පිළිබඳව එදා එ.ජා.ප.යේ සෙසු ප්‍රධානීන් තුළ පැහැදිලි අවබෝධයක්‌ හෝ නොතිබුණු බවය. එසේ නම් ඡේ. ආර්. තම අභිමතය පරිදි තමන්ට ගැලපෙන ඇඳුමක්‌ සකසා ගන්නා පරිදි රටේ ව්‍යවස්‌ථාව ද නිර්මාණය කර නොතිබේද?

ඇත්තවශයෙන්ම ඡේ. ආර්. ට තමන් විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්‌ථාවෙන් රටට අර්ථවත් යමක්‌ කළ නොහැකි විය. අවම වශයෙන් උතුරේ ත්‍රස්‌තවාදය හෝ අවසන් කළ නොහැකි විය. ඡේ. ආර්. ව්‍යවස්‌ථාව ලෙළවමින් කළේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලියුම් සාක්‌කුවේ දමා ගැනීම හා එතෙක්‌ යම් පමණකින් හෝ ආරක්‍ෂා වී තිබුණු රජය හා වෙනත් සේවාවන් අනතුරට දැමීම වැනි දේවල් පමණි. ඇත්තටම ගැහැනියකු පිරිමියකු කිරීම හා පිරිමියකු ගැහැනියකු කිරීම හැර ඕනෑම දෙයක්‌ තමාට කළ හැකි යෑයි පුරාඡේරු ඇද බෑ ඡේ. ආර්. අන්තිමට වැටුණේ තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම බලාගත යුතුය කියන තත්ත්වයකටය.

1978 විධායක ක්‍රමය භාවිත කරමින් මේ රටට යළි නිදහස ලබාදෙමින් තිස්‌ වසරක ත්‍රස්‌තවාදයත් එහි කුරිරු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ ෆැසිස්‌ට්‌වාදී නඩයත් වනසා දැමීමට හැකි වූයේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පමණි.

සැබැවින්ම මෙම විධායක ජනාධිපති ක්‍රමයෙන් රටටත් ජනතාවටත් විශිෂ්ටතම සේවය ඉටු කළේ ජනාධිපති රාජපක්‍ෂ මහතා බව කිසිවකුට කිසි දිනක අමතක කළ නොහැකිය. ඡේ. ආර්., ප්‍රේමදාස මෙන්ම චන්ද්‍රිකා ද කළේ අහෝ සැපයි සිතමින් එහි රජ සැප වැළඳීම පමණි.

දැන් යළිත් අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවස්‌ථාවට එළැඹ සිටිමු. මෙහිදී අප මුලින්ම කිව යුත්තේ මේ සඳහා සියලු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවයි. එසේම ඡේ. ආර්. කළ අයුරින් තමා හා තමාගේ පක්‍ෂය යන ආත්මාර්ථකාමී සිතිවිල්ල දුරු කළ යුතු බවයි.

දේශපාලනය යනු බලයයි. එනිසා දේශපාලනඥයන් බලය සඳහා කටයුතු කිරීමේ වරදක්‌ නැත. එහෙත් වරද තිබෙන්නේ බලයම එකම අරමුණ කර ගනිමින් ඒ සඳහා රට වුවද පාවාදීමය. බලය ලබාගන්නට මෙන්ම ඒ බලයෙන් රටට සේවයක්‌ කරන්නට ද හැම දේශපාලනඥයෙක්‌ම කල්පනා කළ යුතුය. එහෙත් බලයත් සමඟම මොළය වැඩ නොකිරීම අපේ දේශපාලන සංස්‌කෘතියේ ආවේණික දුබලතාවක්‌ වී තිබේ.

අද මේ රට නිදහස්‌ වුවද එයට බරපතල විදෙස්‌ අතපෑම් සිදු කිරීමේ ප්‍රයත්නයන් ද ඇත. එහිදී රජය හා විපක්‍ෂය එක්‌ව ක්‍රියා නොකළහොත් අනතුර වැඩිය. එසේම මෙම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණවලදීත් ගොදුරු ලොබ දුරු කර, සියලු අදහස්‌ සලකා බලා, එය ජාතික කටයුත්තක්‌ බව තේරුම් ගෙන ක්‍රියා කිරීම කාගේත් වගකීම හා යුතුකම බව අපි මතක්‌ කරමු.

දේශපාලන ප්‍රතිපත්තිවල තිබෙන වෙනස්‌වීම් කුමක්‌ වුවත් රටේ ඉරණම කෙරෙහි බලපාන සියලු තන්හිම ජාතික වගකීමකින් ක්‍රියා කිරීමේ වගකීම අද රටම අපේක්‍ෂා කරයි. එනිසා මෙවර ඇති වූ රජයේ හා විපක්‍ෂයේ එකඟතාව සංදර්ශනයක්‌ නොව අලුත් ගමනක පැහැදිලි ආරම්භයක්‌ වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.