ඇමෙරිකාවෙන් එල්ල වන
අවදානම

ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසි 15 ට හා අලුතින්ම ඇමරිකාවේ පටන්ගෙන ඇති ලංකාවේ කම්කරු අයිතීන් පිළිබඳ විමර්ශනයට පාදක වූ කාරණා යන දෙක එකට ගතහොත් මේවාට හිස නැමූ පසු ලංකාවට පාර්ලිමේන්තුවත්, ආණ්‌ඩු පක්‍ෂයත්, ශ්‍රේෂ්ඨාධිකරණයත්, කම්කරු දෙපාර්තමේන්තුවත් යන කිසිවක්‌ අනවශ්‍ය වන ආකාරය මම ඉකුත් සතියේ විස්‌තර කළෙමි. මේ පිළිබඳ කිවයුතු තවත් කාරණා කීපයක්‌ ද ඇත.

දැනට යුරෝපා සංගමය විසින් හා ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළෙ¹ම පිළිබඳ කාර්යාලයෙන් කෙරීගෙන යන විමර්ශන දෙකෙන් අප වැඩියෙන්ම සැලකිලිමත් විය යුත්තේ ඇමරිකාවේ සිදුවන ක්‍රියාදාමය ගැනයි. ඇමරිකාවේ විමර්ශනය ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් පැමිණි නිසා බොහෝ අය සිතන්නේ මෙය ඇමරිකාවෙන් අපට ලබාදෙන ජී.එස්‌.පී. බදු සහනය දීර්ඝ කිරීමට ඇමරිකානු ආණ්‌ඩුව විසින් සාමාන්‍යයෙන් පවත්වන සමාලෝචනයක්‌ බවයි. ඇමරිකානු ආණ්‌ඩුව විසින් සාමාන්‍යයෙන් පවත්වන වාර්ෂික සමාලෝචනයක්‌ ඇත්තවශයෙන්ම ඇත. නමුත් ඇමරිකාවේ ලංකාවට එරෙහිව දැන් පැවැත්වෙන විමර්ශනය එවැනි සාමාන්‍ය සමාලෝචනයක්‌ යෑයි සිතිය නොහැක. ඇමරිකාවේ ප්‍රධානතම වෘත්තීය සමිතිය වන "ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර්", ඇමරිකානු ආණ්‌ඩුව විසින් ලංකාවට ලබාදෙන ජී.එස්‌.පී. බදු සහනය අහෝසි කළ යුතු යෑයි කියමින් මුල්වරට පෙත්සමක්‌ ඉදිරිපත් කළේ 2008 දීය. නමුත් ඇමරිකානු ආණ්‌ඩුව එකල එම පෙත්සම විභාගයට ගත්තේ නැත. එහෙත් මෙම වසරේ අර කලින් ඉදිරිපත් කළ පෙත්සමේ මානව අයිතීන් පිළිබඳ තිබුණු කොටස ඉවත් කර කම්කරු අයිතීන් පිළිබඳ කොටස පමණක්‌ යළි ඉදිරිපත් කළ විට ඇමරිකානු ආණ්‌ඩුව එම පෙත්සම විමර්ශනය කිරීම සඳහා භාර ගත්තේය. මේ අවස්‌ථාවේදී එය භාර ගත්තේ කුමන හේතුවක්‌ නිසාදැයි ප්‍රශ්නයක්‌ ඇත.

මෙය සාමාන්‍ය විමර්ශනයක්‌ නොවන බව සිතීමට හේතු සාධක ඇත්තේ යුරෝපා සංගමය විසින් ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය නැති කිරීමත් සමගම මෙයත් ආරම්භ කළ නිසාය. ලංකාවෙන් ඇමරිකාවට යවන අපනයනයන්ගෙන් 90% ට වඩා ඇත්තේ ඇඟලුම් නිෂ්පාදනයන්ය. ඇමරිකාවේ ජී.එස්‌.පී. ක්‍රමය තුළට ඇඟලුම් ඇතුළත් නැති නිසා මේ රටේ ඇඟලුම් කර්මාන්තකරුවන් ඇමරිකානු විමර්ශනය ගැන කලබල වන්නේ නැත. නමුත් මේ කලබල නොවීම ප්‍රශ්නයකි. ඔවුන් කලබල විය යුතුය. ඇමරිකානු ජී.එස්‌.පී. ක්‍රමය තුළට වැටෙන 10% කට වඩා අඩු අපේ අපනයනයන් ප්‍රමාණයට ඇතුළත් වන්නේ ඇතැම් රබර් නිෂ්පාදනය, ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන හා කොහු, බුරුසු ආදී නිෂ්පාදන කීපයකි. ඕනෑම අවුරුද්දකදී ඇමරිකානු ජී.එස්‌.පී. ක්‍රමය තුළට වැටෙන ලාංකීය අපනයන්ගේ මුළු වටිනාකම ඩොලර් මිලියන 115 ත් 150 ත් අතර ප්‍රමාණයක්‌ වනු ඇත. මෙය ඉතා සුළු මුදලක්‌ නිසා ලංකා ආණ්‌ඩුව ද ඇමරිකානු විමර්ශනය එතරම් ගණන් නොගෙන සිටීමේ අවදානමක්‌ ඇත. මෙය හුදෙක්‌ම කම්කරු අයිතීන් පිළිබඳ විමර්ශනයක්‌ නොවේදැයි සිතා සාමාන්‍ය මහජනතාව ද මේ ගැන අවධානය යොමු නොකර සිටීමට ඉඩ ඇත. ඒ මන්ද යත් අප කලබලවීමට හුරුවී සිටින්නේ මානව අයිතීන් පිළිබඳ විමර්ශන හා යුද අපරාධ පිළිබඳ විමර්ශන ගැන පමණක්‌ වන නිසාය. නමුත් අප දැනට ඇමරිකාවේ සිදුවන මෙම කම්කරු අයිතීන් පිළිබඳ විමර්ශනය ගැන ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය නැතිවීමටත් වඩා කලබල විය යුතුය. ඒ මන්ද යත් ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය නොමැතිව ලංකාවට පැවතිය හැක.

මීට සති දෙකකට පමණ පෙර ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය නොමැතිව සිටි සමයේද ලංකාව යුරෝපයට විශාල නිෂ්පාදන ප්‍රමාණයක්‌ අපනයනය කළ බවද එම අපනයනයන් වසරින් වසර වැඩි වන ප්‍රවණතාවක්‌ තිබුණු බවද මම පෙන්වා දුන්නෙමි. ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලැබීම නිසා යුරෝපයට මෙරටින් යන අපනයන කෘත්‍රිම ලෙස වැඩි විය. නමුත් එම කෘත්‍රිම වැඩිවීම සිදුවූයේ අපේ තරගකරුවන්ට වඩා වාසිදායක කොන්දේසි මත එනම් තීරුබදු කිසිවක්‌ නොගෙවා අපට අපනයනය කිරීමට හැකි වූ නිසාය. නමුත් මෙවැනි "චාන්ස්‌" හැමදාම බලාපොරොත්තු විය නොහැක. සැණකෙළිය නැවතුනදාට සිදුවන්නේ කුමක්‌දැයි අපේ අය සිතුවේ නැත. නිකන් අපනයනය කිරීමට පුරුදු වී ඇති නිසා අපේ තරගකාරීත්වය ද අඩු වී තිබිය හැක. එපමණක්‌ නොව නිකන් අපනයනය කිරීමට යැම නිසා යුරෝපා සංගමයට අපේ රටේ දේශපාලන කටයුතුවලට ද ඇඟිලි ගැසීමට අවස්‌ථාවක්‌ ද ලැබිණි.

මේ සියලු කාරණා නිසා යුරෝපා සංගමයෙන් ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලබා නොගෙන සිටියා නම් එය වඩාත් නුවනට හුරුවන බව මම මීට පෙර සඳහන් කර ඇත. නමුත් මෙහිදී මතක තබාගත යුතු කාරණාවක්‌ ඇත. යුරෝපා සංගමයට තිබෙන එකම බදු සහන ක්‍රමය ජී.එස්‌.පී. ප්ලස්‌ පමණක්‌ නොවෙයි. ජී.එස්‌.පී. ප්ලස්‌ ක්‍රමයට අමතරව ඔවුන්ට සාමාන්‍ය ජී.එස්‌.පී. බදු සහනය ද ඇත. මෙම සාමාන්‍ය ජී.එස්‌.පී. ක්‍රමය යටතේ 10% ක පමණ සහනදායි තීරු බද්දක්‌ ගෙවා යුරෝපා සංගමය තුළට භාණ්‌ඩ අපනයනය කළ හැකිය. මේ ක්‍රමය තුළ රටවල් 176 ක්‌ පමණ සිටී. ලබන මස ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය අහෝසිවීමෙන් පසු අප නැවතත් සාමාන්‍ය ජී.එස්‌.පී. සහනය තුළට වැටී අපේ අනෙක්‌ තරගකරුවන් වන තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල් මෙන් කවුරුත් සමග සමාන මට්‌ටමේ සිටිනු ඇත. ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය නැතිවීම එතරම් ප්‍රශ්නයක්‌ නොවුණත් සාමාන්‍ය ජී.එස්‌.පී. බදු සහනය නැතිවීම ලංකාවට සැබවින්ම ප්‍රශ්නයක්‌ වනු ඇත. ඒ මන්ද යත් අපට යුරෝපා සංගමයෙන් ලැබෙන සාමාන්‍ය ජී.එස්‌.පී. සහනය නොලැබී ගියහොත් අප සමග තරග කරන රටවලට අපට වඩා අඩු මිලට යුරෝපා සංගමය තුළට භාණ්‌ඩ යෑවීමට හැකි වී අපට වෙළෙඳපොළ අහිමි විය හැකි නිසාය.

ඇමරිකාව ද යුරෝපා සංගමය මෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජී.එස්‌.පී. බදු සහන ක්‍රමයක්‌ පවත්වාගෙන යයි. යුරෝපා සංගමයට මෙවැනි බදු සහන ක්‍රම 3 ක්‌ ඇත. එනම් ජී.එස්‌.පී. ප්ලස්‌, සාමාන්‍ය ජී.එස්‌.පී. ක්‍රමය සහ ලෝකයේ දුප්පත්ම රටවල් 49 වෙනුවෙන් පවත්වාගෙන යන විශේෂ ජී.එස්‌.පී. ක්‍රමය යනුවෙනි. නමුත් ඇමරිකාවට ඇත්තේ එකම එක ජී.එස්‌.පී. ක්‍රමයක්‌ පමණි. ඔවුන්ගේ ක්‍රමය යටතේ ලංකාව ඇතුළුව තවත් රටවල් 131 කට නම් කරන ලද භාණ්‌ඩ වර්ග ගණනාවක්‌ සම්පූර්ණයෙන්ම තීරු බදු රහිතව ඇමරිකාවට අපනයනය කළ හැක. ඇමරිකාව දුප්පත්ම රටවලට උදවු කරන්නේ එසේ තීරු බදු රහිතව අපනයනය කළ හැකි භාණ්‌ඩ ලැයිස්‌තුව පුළුල් කිරීමෙනි.

"ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර්" නමැති ඇමරිකානු වෘත්තීය සමිතිය ඇමරිකානු ආණ්‌ඩුවට ඔවුන්ගේ පෙත්සමින් කියා සිටින්නේ කම්කරු අයිතීන් නොපිළපැදීම හේතුවෙන් ලංකාවට ලැබෙන මේ එකම බදු සහනය නැති කර දමන ලෙසය. ප්‍රශ්නයකට තිබෙන්නේ ඇමරිකාවට ඇත්තේ එක්‌ බදු සහන ක්‍රමයක්‌ පමණි. එය නැති වුවහොත් අප වෙනත් බදු සහන ක්‍රමයක තුළට වැටෙන්නේ නැත. වඩාත්ම භයානක දේ වන්නේ ඇමරිකාව විසින් ඔවුන් ලබාදෙන සාමාන්‍ය ජී.එස්‌.පී. බදු සහනය නැති කළහොත් එය යුරෝපා සංගමයට ද ආදර්ශයක්‌ වන නිසාය. යුරෝපා සංගමයේත් මීට කලින් සාමාන්‍ය ජී.එස්‌.පී. බදු සහන අහෝසි කර ඇත්තේ රටවල් දෙකක්‌ සම්බන්ධයෙන් පමණි. එනම් බුරුමය හා බෙලෝරෝස්‌ යන රටවල් දෙක සම්බන්ධයෙන් පමණි. ඒ රටවල් දෙකම යුරෝපා සංගමයේ ජී.එස්‌.පී. සාමාන්‍ය බදු සහන ක්‍රමයෙන් වීසිවීමට හේතුව ද යුද අපරාධ හෝ මානව අයිතීන් ප්‍රශ්න නොව කම්කරු අයිතීන් පිළිබඳ ප්‍රශ්නයි. බුරුමය සම්බන්ධයෙන් ගත් කල ප්‍රශ්නය වූයේ අනිවාර්ය සේවය තුළින් බලහත්කාරයෙන් වැඩ ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. බෙලෝරෝස්‌ රට සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ට තිබුණේ වෘත්තීය සමිති ඇති කර ගැනීමට බාධා ඇතිවීමේ චෝදනාවකි. මේ චෝදනා නිසා මේ රටවල් දෙකට යුරෝපා සංගමයෙන් කිසිදු බදු සහනයක්‌ ලැබෙන්නේ නැත.

අනිවාර්ය සේවය ලබාගැනීම හා වෘත්තීය සමිති ඇති කිරීමට බාධා කිරීම පිළිබඳ චෝදනා ඇමරිකානු ආණ්‌ඩුව දැන් විමර්ශනය කරමින් සිටින පෙත්සමේ අඩංගු කරුණු අතර ඇත. මේ නිසා කම්කරු අයිතීන් සුරකින්නේ නැතැයි කියමින් ඇමරිකානු ආණ්‌ඩුව ඔවුන් අපට ලබාදෙන ජී.එස්‌.පී. බදු සහනය නැති කළහොත් යුරෝපා සංගමය ද අනිවාර්යයෙන්ම අපට ලැබෙන සාමාන්‍ය ජී.එස්‌.පී. සහනයත් නැති කරනු ඇත. මා කලින් පෙන්වා දුන් පරිදි ඇමරිකාවෙන් අපට ලබාදෙන සාමාන්‍ය ජී.එස්‌.පී. ක්‍රමය අහෝසිවීමෙන් අපට එතරම් ප්‍රශ්නයක්‌ නැතත් යුරෝපා සංගමයෙන් දෙන සාමාන්‍ය ජී.එස්‌.පී. සහනය නැති වුවහොත් අපට විශාල පාඩුවක්‌ වනු ඇත.

ලංකාව මෙතෙක්‌ මේ ප්‍රශ්න විශේෂයෙන්ම යුරෝපා සංගමය සමග ඇති ප්‍රශ්නය බේරා ගැනීමට උත්සාහ දැරුවේ ද්වි පාර්ශ්වික සාකච්ඡා තුළිනි. නමුත් මෙකී ද්විපාර්ශ්වික සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වූයේ ඉකුත් සතියේ අප විමර්ශනයට ලක්‌ කළ කොන්දේසි 15 ඉදිරිපත්වීමයි. එම කොන්දේසි 15 ට ලංකා ආණ්‌ඩුවට කොහෙත්ම එකඟ විය නොහැක. ලංකාවට මෙහිදී සාධාරණයක්‌ ඉටුකර ගැනීමට නම් මේ ප්‍රශ්නය ද්විපාර්ශ්වික මට්‌ටමින් ඔබ්බට ගෙන ගොස්‌ බහු පාර්ශ්වික මට්‌ටමින් විස¹ ගැනීමට උත්සාහ කළ යුතුය. එනම් මේ ප්‍රශ්නය ලෝකයේ සියලුම වෙළෙඳ ගනුදෙනු පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරවන ලෝක වෙළෙඳ සංවිධානය වෙත යොමු කිරීමට කාලය එළැඹ ඇත. මෙකී ප්‍රශ්නය ද්විපාර්ශ්වික මට්‌ටමින් විස¹ගත නොහැක්‌කේ මන්ද? ලෝක වෙළෙඳ සංවිධානය වෙත යැමෙන් ලංකාවට ඇති වන වාසි මොනවාද යන්න පිළිබඳ මම ඉදිරියේදී විස්‌තර කිරීමට බලාපොරොත්තු වෙමි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.