ජනපති හා රනිල් අතර ඇතිවූ එකඟතා මත
ව්‍යවස්‌ථා සංශෝධනය ගැන එජාප-සන්ධාන සාකච්ඡා

පියසේන දිසානායක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක්‌ ඇති කිරීමේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ජනාධිපති ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයින් සහ විපක්‍ෂ නායක ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡා අද (12 වැනිදා) සිට ආරම්භ වේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පෙරේදා (10) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී ඇතිකර ගත් මූලික එකඟතා පදනම් කරගෙන දෙපාර්ශ්වයම මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යැමට තීරණය කර තිබේ. ඒ අනුව අද සවස 5 ට පැවැත්වෙන සාකච්ඡාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක්‌ද එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහ ලේකම් තිස්‌ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝශප් මයිකල් පෙරේරා, රවුෆ් හකීම් යන මහත්වරුද සහභාගි වෙති.

දැනට පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අඩුපාඩුකම් රැසක්‌ පවතින බවත් ඒවා කාලෝචිතව රටට ගැලපෙන ආකාරයට සංශෝධනය කර ගත යුතු බවටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු පෙරේදා පැවැත්වූ සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එය කළ යුතු කාල සීමාව හා ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන නව විධායක අගමැති ක්‍රමයක්‌ ඇති කිරීමට වැනි ප්‍රධාන කරුණු රැසක්‌ සම්බන්ධව නායකයින් දෙදෙනා අතර පැය එක හමාරකට ආසන්න කාලයක්‌ සාකච්ඡා පවත්වා ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයට විපක්‍ෂයේ අදහස්‌ හා යෝජනා ලබානොගෙන එය සකස්‌ කළොත් ඉන් අනිසි ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වාදී තිබේ.

සියලු පාර්ශ්වයන්ගේ අදහස්‌ හා යෝජනා ලබාගෙන සැමට පිළිගත හැකි ජනතාවාදී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සකස්‌ කර ගැනීමට හැකි වුවහොත් ඊට අවශ්‍ය පූර්ණ සහයෝගය සිය පක්‍ෂයටද ලබාදිය හැකි බවත් ඒ සඳහා විපක්‍ෂයේ නායකයින්ගේ හා එහි ඇති වැදගත්කම පිළිබඳව වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්‌වා ඇත.

මේ අනුව ජනතාවාදී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සැකසීමේ විශ්වාස මත මෙතෙක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව දියත් කළ උද්ඝෝෂණ නතර කළද ජනතාවට සහන නොදීමට එරෙහි දියත් කෙරෙන උද්ඝෝෂණ අඛණ්‌ඩව ඉදිරියට ගෙන යන බවද විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් ජනාධිපතිවරයාට එම සාකච්ඡාවේදී දැනුම් දී ඇත.

මේ අනුව දෙදෙනා අතර දීර්ඝ වශයෙන් අදහස්‌ හුවමාරු වීමෙන්පසු පක්‍ෂ විපක්‍ෂ වශයෙන් භේද හා ගැටුම් ඇති නොවන ආකාරයට සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හා දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය එකට සිට අඛණ්‌ඩව සාකච්ඡා පැවැත්විය යුතු බවට තීරණය කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.