පුරාවිදු ඇස නොගැසුණු මහියංගන මාවරගල ආරණ්‍ය සේනාසනය

එස්‌. ජයවික්‍රම - හසලක

මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේ දහස්‌ නමක්‌ වැඩ සිටි බව කියන මහියංගන මාවරගල ආරණ්‍ය සේනාසනය පුරා විද්‍යාත්මක ගවේෂණයකට ලක්‌විය යුත්තක්‌ බව බැති මතුන් බොහෝ දෙනකු ගේ අදහසයි.

ආරණ්‍යයේ කටාරං කෙටු ගල් තලාවලින් කියවෙනුයේ කිසියම් කාලයක මෙම ප්‍රදේශය බෞද්ධාගමික පුනර්ජීවනයකින් දියුණු ප්‍රදේශයක්‌ව පැවැති බවයි. ආරණ්‍ය සේනාසනය මේ වන විට අක්‌කර 10-20 කට සීමාවී ඇති බවක්‌ දක්‌නට ඇතත් කිසියම් කාලයක අක්‌කර 200-300 භූමියක්‌ව පැතිර පැවැති බවට දැනට ගවේෂණයකට බඳුන් නොවූ ගල්තලා නිරීක්‍ෂණයේදී සිතිය හැක.

විශාල ගල්තලා සහිත ගණ වන ගහනයෙන් හෙබි ආරණ්‍ය භූමියට පිය නැඟූ අවස්‌ථාවේම, මහියංගන ප්‍රදේශයට ආවේණික කර්කෂ්ට වියළි දේශගුණය තුරන්ව ගත මඳ පවනින් තුරුලිය සෙවනින් සිසිල් කරයි.

දැනට ආරණ්‍යාධිපති ලෙස වැඩ වසන මීගහකිවුලේ සුගතවංශ හිමියන් දුෂ්කරතා මධ්‍යයේ ආරණ්‍යයේ අභිවෘද්ධිය සඳහා සිදුකරන වැඩ කොටස බොදු ජනතාවගේ බොදු හැඟුම් පුබුදුවාලීමට සමත් වී ඇත. ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ සිට කිලෝ මීටර් 25-30 ක්‌ නැගෙනහිරට දඹාන ප්‍රදේශයේ මාවරගල මෙම ආරණ්‍ය පිහිටා ඇත.

මෙම ආරණ්‍ය සේනාසනයේ 30 නමක්‌ පමණ ස්‌වාමීන් වහන්සේලා භාවනුයෝගීව වැඩ වාසය කරන අතර ඉන් බොහෝ නමක්‌ කුඩා සාමණේරයන් වහන්සේලාය. උන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඥන ප්‍රදීප නමින් පිරිවෙනක්‌ද පවත්වාගෙන යැමට නායක ස්‌වාමීන් වහන්සේ කටයුතු යොදා ඇත.

අක්‌කර ගණනක්‌ පැතිරී ඔබ්බට දක්‌නට ලැබෙන පර්වතවලින් සමන්විත අවට භූමි දර්ශනය ඉතා අලංකාරය. ආරණ්‍යයට විමසුම් දොරටුවේ සිට ආසන්න භූමියේ පමණක්‌ කුටි 10-12 ක්‌ පමණ ස්‌වාමීන් වහන්සේලාගේ (ප්‍රයෝජනය) වැඩ විසීම සඳහා ලැඟුම් කුටි ඉදිකර ඇත්තේ ගල්තලාවේ ඉදිරියට නෙරා පිහිටි කොටසේ කටාරම් කොටා කුඩා බිත්ති දෙකක්‌ පමණක්‌ උපයෝගිව ඉතා අලංකාර මෙන්ම චාම් අයුරිනි. විශාල ගල් පර්වතයක්‌ පාමුල ඉදිකර ඇති බුදු මැදුර දැකුම්කලුය.

මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව කියවෙන විශාල ගල් තලාවක්‌ මත ඉදිකළ කුටියක ගල්කණු සිටු වූ පාදමක සලකුණු (ගලේ හෑරු වළවල්) දක්‌නට ඇත. එම ගල් තලාවේ බුදුපිළිමයක්‌ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අරණේ වැඩවසන දඹාන ගොඩපොරු යායේ පදුමවංශ පොඩි හාමුදුරුවන් වහන්සේ පැවැසූහ.

අවුරුද්දේ සෑම දිනකම ඈත ප්‍රදේශවලින් දහවල් සහ උදේ දානය භාරගෙන ඇති සැදැහැවතුන් නොවරදවාම එදිනට පැමිණ දානය සකස්‌ කර ස්‌වාමීන් වහන්සේලාට පිළිගැන්වීම සිදුකරන අතර දානයක්‌ දීමට දිනයක්‌ වෙන්කරවා ගැනීමද අපහසුය. පසුගියදා අප මෙහි සංචාරය කළ දිනයේද වැලිමඩ තිඹිරිය ගොල්ලේ, සෙවනකුඹුර ගම්මානයෙන් ආර්. එම්. කරුණාදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි පිරිසක්‌ දානය පිළියෙල කරමින් සිටිනු දක්‌නට ලැබිණි. ආරණ්‍ය භූමියේ වන සත්තු ඉඳහිට ගැවසෙන බවත් නමුත් කිසි අනතුරක්‌ නොමැති බවත් පදුමවංශ පොඩි ස්‌වාමීන් වහන්සේ අදහස්‌ දක්‌වමින් පැවසූහ.

භාවනා කිරීම සඳහා නිසල පරිසරය, සක්‌මන් මළුව, මිනිස්‌ ඇටසැකිල්ලක්‌ හා සෙවනේ පිහිටි ගල් තලාවන් ආරණ්‍යයේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන බව නොලියාම බැරිය. උඩදුම්බර යුවළක්‌ ගණ්‌ඨාර කුළුණක්‌ ඉදිකර පූජාකර ඇති අතර ජිනසේන ආයතනය ජලය ලබාදී නඩත්තු කරනු දක්‌නට ඇත. දැනට ලැඟුම් කුටි කිහිපයක්‌ ඉදිවෙමින් පවතින අතර යම් ආයතනයකට හෝ පුද්ගලිකවම හෝ නායක ස්‌වාමීන් වහන්සේ විමසා පිං පිණිස එය ඉටුකර දීමේ අවස්‌ථාව ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.