නියමිත දිනට වැටුප් ගෙවන්නැයි ඉල්ලා
පොලොන්නරුව රෝහලේ කොන්ත්‍රාත් කම්කරුවන්
ගිණුම් නිලධාරීන් කාමරයක දමා විරෝධතා දක්‌වලා

පැය තුනකින් පසු වැටුප් ලබාගෙන පිරිස නිදහස්‌ කරති

කරුණාරත්න ගමගේ

පොලොන්නරුව මහ රෝහලේ ගිණුම් අංශයේ නිලධාරීන් 07 දෙනකු පරිපාලන ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ කාමරයක සිර කොට තබා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයට අයත් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිටින කම්කරුවන් 70 දෙනකු සිකුරාදා (09 දා) පස්‌වරුවේ තමන්ට හිමි වැටුප් නියමිත දිනයට කලින් දිනයේ ගෙවන ලෙස බල කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

පැය 03 කට ආසන්න කාලයක්‌ මෙම විරෝධතාව පැවැති අතර රෝහල් කම්කරුවන් පිරිස තමන්ට හිමි වැටුප් ලබාගැනීමෙන් අනතුරුව අඳුරු කාමරයක දොරගුලුලා සිරකොට සිටි නිලධාරීන් පිරිස්‌ නිදහස්‌ කොට තිබේ.

මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන් පිරිසකටද රෝහල් කම්කරුවන් පිරිස බැණ තර්ජනය කොට පලවා හැර ඇත.

වැටුප් ප්‍රශ්නයක්‌ මුල් කර ගනිමින් (09 වැනිදා) පස්‌වරුවේ පොලොන්නරුව මහ රෝහලේ ඇති වූ විරෝධතාව පිළිබඳ "දිවයින" ට අදහස්‌ දැක්‌වූ පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය රුක්‌ෂාන් බෙල්ලන මහතා පැවැසුවේ මෙම කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිටින කම්කරුවන්ට වැටුප් ගෙවීම් සෑම මසකම 10 දා සිදුකරන බවයි. එහෙත් මෙම මාසයේ 10 දා සති අන්ත නිවාඩු දිනයක්‌ වන සෙනසුරාදාට යෙදී ඇති හෙයින් එය කලින් දිනයේ ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් එම වැටුප් 9 වැනිදා දිනයේ නොලැබී යනු ඇතැයි සිතා ඔවුන් මෙම විරෝධතාවේ යෙදී ඇති බවය. මේ වන විට ඔවුන්ට හිමි වැටුප් සියල්ල ගෙවා අවසන් බවද වෛද්‍ය අධිකාරිවරයා (9 වැනිදා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය.

පැය 03 කට ආසන්න කාලයක්‌ පැවැති රෝහලේ කම්කරුවන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරය සමථයකට පත් කිරීම සඳහා පොලොන්නරුව නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මුල් වී ක්‍රියා කොට තිබේ.

තමන් වහාම පොලොන්නරුව මහ රෝහල වෙත ගොස්‌ එම කම්කරුවන්ට හිමි වැටුප් 9 දා පස්‌වරුවේ ගෙවීමට අවශ්‍ය පියවර ගත් බව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා "දිවයින" ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.