"ශ්‍රී ලංකා ක්‍රිකට්‌" 2011ට ක්‍රීඩකයන් කාණ්‌ඩගත කරයි
සනත් ජයසූරිය අන්තිම කාණ්‌ඩයටත් නෑ!

චමිල කරවිට

ඉදිරි 2011 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර කාණ්‌ඩ 6 ක්‌ යටතේ අත්සන් තැබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේදී එකම කාණ්‌ඩයකටවත් පළපුරුදු ක්‍රීඩක සනත් ජයසූරියගේ නම ඇතුළත් වී නොමැත. වසර 20 කටත් වඩා වැඩි ක්‍රිකට්‌ දිවියකට උරුමකම් කියන ජයසූරියව මෙවර කොන්ත්‍රාත්තුගත කිරීමෙන් ඉවත් කර ඇත්තේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයක්‌ වේ.

41 වැනි විය පසුකරමින් සිටින ජයසූරියට කිසිදු අවස්‌ථාවක්‌ හිමි නොවූ මෙම කාණ්‌ඩගත කිරීම් වල පදනම වී ඇත්තේ පසුගිය වසරක කාලයකදී දැක්‌වූ දක්‍ෂතා සහ ඉදිරියේදී රට නියෝජනය කිරීමට ඇති හැකියාවයි.

පසුගිය වසරේ මෙන් කාණ්‌ඩ 3 ක්‌ යටතේ ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කිරීම වෙනුවට මෙම වසරේදී කාණ්‌ඩ 6 ක්‌ යටතට ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කරීමට අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

මෙහිදී පළමු කාණ්‌ඩය යටතට නායක කුමාර් සංගක්‌කාර, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර ඇතුළත් වී සිටියි.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උපනායකයා වන මුත්තයියා මුරලිදරන් ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයෙන් අනතුරුව තම ටෙස්‌ට්‌ දිවියෙන් සමුගන්නා නමුත් ඔහුව අදාළ පළමු කාණ්‌ඩයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහිදී ඔහුව එම පළමු කාණ්‌ඩයට ඇතුළත් කිරීමත් සහ සනත් ජයසූරියව එක්‌ කාණ්‌ඩයකටවත් ඇතුළත් නොකිරීමෙනුත් හැඟී යන්නේ ජයසූරියගේ සේවය තවදුරටත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලබා ගැනීමට තේරීම් කමිටුවේ බලාපොරොත්තුවක්‌ නොමැති බවයි.

ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 යන අංශ තුනම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් පළමු කාණ්‌ඩය යටතට ගැනෙන අතර එහිදී මුරලිදරන් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත කිසියම් ප්‍රතිශතකයක්‌ අඩුවෙන් ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගන්නා බව මේ පිළිබඳව කළ කරුණු විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා "දිවයින" හමුවේ අවධාරණය කළේය.

අදාළ ප්‍රතිශතය කොපමණදැයි "දිවයින" නැගූ පැනයකට පිළිතුරු දුන් ඒ මහතා, එම අගය කොපමණදැයි නිශ්චිතව මේ අවස්‌ථාවේදී තමාගේ මතකයේ නොමැති බවද සඳහන් කර සිටියේය.

1991 වසරේ පෙබරවාරි මසදී සිය මංගල ටෙස්‌ට්‌ තරගයට සහභාගි වූ සනත් ජයසූරිය මේ වන විට ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් පූර්ණ කාලීනව සමුගෙන තිබෙන නමුත් එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවලදී දිගටම නියෑළීමට ඔහු තීරණය කර තිබේ. එහෙත් අවසන් වරට දඹුල්ලේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඔහුට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 110 කට සහ එක්‌දින තරග 444 කට ක්‍රීඩා කර ඇති ජයසූරිය එහිදී පිළිවෙළින් ලකුණු 6973 ක්‌ සහ 13,428 ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි.

පන්දුවාර 20-20 තරග සඳහා කිසි විටෙකත් තෝරානොගැනෙන සහ එක්‌දින තරගවලදී කණ්‌ඩායමේ නිශ්චිත ස්‌ථානයක්‌ දිනා ගැනීමට තවමත් අපොහොසත් වී සිටින තිලාන් සමරවීරව අදාළ කොන්ත්‍රාත්තුවේ පළමු කාණ්‌ඩයට ඇතුළත් වී සිටීම සුවිශේෂී වෙයි. හෙතෙම ටෙස්‌ට්‌ තරග වලදී පමණක්‌ කණ්‌ඩායමේ ස්‌ථානය දිනා ගැනීමට සමත්වී සිටින නමුත් ඔහුව පූර්ණ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුළත් කිරීමට වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එළැඹෙණ ටෙස්‌ට්‌ තරගාවලියේදී කණ්‌ඩායමට නම් කරන ලද සහ අවසන් වරට පැවැති එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවලදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ හිමිකර දීම වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළ ලසිත් මාලිංග සිව්වැනි කොටසේ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටියි. ලොව හොඳම එක්‌දින පන්දු යවන්නන් අතර පළමු ස්‌ථානය දිනා සිටි නුවන් කුලසේකර ඉදිරි ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා කණ්‌ඩායමට නම් නොකර සිටියද ඔහුව දෙවැනි කාණ්‌ඩයේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එම කාණ්‌ඩයේ පසුවන්නේ නුවන් කුලසේකර පමණක්‌ වන අතර අංශ තුනම නියෝජනය කරනු ලබන ඇන්ජලෝ මැතිව්ස්‌ පමණක්‌ තෙවැනි කාණ්‌ඩයේ කොන්ත්‍රාත්තුවේ පසුවේ.

අවසන් වුණු පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම කඩුලු ලභියා වූ පාදඟ පන්දු යවන මාලිංග බණ්‌ඩාර අදාළ කාණ්‌ඩ 6 න් එකම කාණ්‌ඩයකටවත් ඇතුළත් වී නොමැති අතර පසුගිය වසරේ අංශ තුනෙහිම තරග නියෝජනය කිරීමට වරම් ලද අජන්ත මෙන්ඩිස්‌ද සිව්වැනි කොටසේ කොන්ත්‍රාත්තුවට අයත්ව සිටියි.

පළමු ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 30 දෙනකු ඇතුළත් කිරීමට නියමිත නමුත් තවමත් 21 දෙනකු පමණක්‌ අදාළ කොන්ත්‍රාත්වලට ඇතුළත් කර සිටින අතර ඉදිරියේදී සෙසු ක්‍රීඩකයන් 9 දෙනා ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා සැලකිල්ලට ගෙන බොහෝ දුරට නම් කිරීමට ඉඩ තිබේ.

පළමු කාණ්‌ඩය - කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, තිලාන් සමරවීර, ටී. එම්. ඩිල්ෂාන්.

දෙවැනි කාණ්‌ඩය - නුවන් කුලසේකර

තෙවැනි කාණ්‌ඩය - ඇන්ජලෝ මැතිව්ස්‌

සිව්වැනි කාණ්‌ඩය - උපුල් තරංග, තිළාන් තුෂාර, රංගන හේරත්, ප්‍රසන්න ජයවර්ධන, අජන්ත මෙන්ඩිස්‌, චාමර කපුගෙදර, ලසිත් මාලිංග, තිළිණ කණ්‌ඩම්බි

පස්‌වැනි කාණ්‌ඩය - චානක වෙලගෙදර, තරංග පරණවිතාන, දිල්හාර ප්‍රනාන්දු

හයවැනි කාණ්‌ඩය - දිනේෂ් චන්දිමාල්, සුරාඡ් රන්දීව්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.