අපේ ජාතික රෝගය

අපි ඩෙංගු රෝගය ගැන අවස්‌ථා කිහිපයකදී ම ලියුවෙමු. ඩෙංගු කීටයා වැනසීම සඳහා කියුබාවෙන් ක්‍රමවේදයක්‌ එනතුරු බලා සිටියෙමු. ඩෙංගු මර්දනය කළ හැකි ඖෂධයක්‌ නවසීලන්තය විසින් සොයාගනු ලැබ ඇති බවට ද ආරංචියක්‌ තිබේ. ඒ අතර ඊයේ (12 දා) "දිවයිනේ" සිව්දෙස අතිරේකයේ පළවූ පුවතක්‌ දැකීමෙන් අපගේ ඇඟ මවිල් කෙළින් විය. ඒ වූ කලී වත්තල ප්‍රදේශයේ 40000 ක්‌ දෙනාට එක්‌ වතාවක්‌ හෝ ඩෙංගු රෝගය සෑදී ඇති බව යෘ මෙහි තේරුම වත්තල ප්‍රදේශයට ඇති අනන්‍යතාව ඩෙංගු රෝගය බවද? ඒ ප්‍රදේශයට ආවේණික රෝගය ඩෙංගු බවද? සාමාන්‍යයෙන් උණ වර්ග සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අප්‍රිකානු රටවල් ය. එක්‌තරා කාලයක ලංකාවේ වියළි කලාපය මැලේරියා රෝගයට ප්‍රසිද්ධ විය. ඩී. එස්‌. සේනානායක මහතා වියළි කලාපයේ ගොවි ජනපද සෑදීමෙන් පසු ඒවායේ ගොවිතැන් සඳහා රටේ වෙනත් පළාත්වලින් පැමිණි සියලු දෙනාටම පාහේ මැලේරියාව සැදින. කල් යද්දී එය ජනතාව සමඟ ජීවත් වන රෝගයක්‌ බවට පත්විය. උදේට හේනේ හෝ කුඹුරෙහි වැඩට ගිය මිනිස්‌සු රාත්‍රි කාලයේදී මැලේරියාවෙන් වෙවුලමින් පැදුරුවල ගුලි වූහ. සමහරු මැලේරියාවෙන් වහාම මළ අතර තව සමහරු එය සමඟ ජීවත් වී බියපත්ව මිය පරලොව ගියහ. පසු කාලයේදී වියළි කලාපයේ ගොවිජනපද ව්‍යාපාරය අහෝසි වූ අතර එයින් පසු මැලේරියාව ගැන වැඩිමනක්‌ ආරංචියක්‌ පැතිර ගියේ නැත. කාලයෙන් කාලයට කොළරාව, සූකර උණ යනාදිය වසංගත මට්‌ටමෙන් රටේ පැතිරුණු විට ඒ ඒ කාලවල තිබුණ ආණ්‌ඩු ඉන්ජෙක්‌ෂන් කටු දික්‌ කරගෙන ඒ අර්බුද මැඬ පැවැත්වූහ. කොයි රටෙත්a කාලයෙන් කාලයට වසංගත හටගනී. මිනිසුන්ට නැත්නම් සතුන්ට හෝ වසංගත රෝග සෑදී ඒවා මිනිසුන්ට බලපාන මට්‌ටමක්‌ ඇති වෙයි. කුරුළු උණ ඒ කාරණය සම්බන්ධයෙන් ඇති ආසියානු උදාහරණයයි. පිස්‌සු ගව රෝගය ඒ සම්බන්ධයෙන් ඇති යුරෝපීය උදාහරණයයි. කුරුළු උණ මිනිසුන්ට වැළඳෙන්නේ එය වැළඳුණු පක්‍ෂීන් හෙවත් කු=කුළන් අනුභව කිරීමෙනි. පිස්‌සු ගව රෝගය එම රෝගයට ලක්‌ වූ ගවයන්ගේ මස්‌ කෑමෙන් හටගනී. එහෙත් සෑම රටක්‌ම සෑම කල්හිම තම රටවල හටගත් වසංගත රෝග මැඬපැවැත්වූහ. එහෙත් ඩෙංගු පමණක්‌ ඇදි-ඇදී යමින් පවතී. වත්තල 40000 ක්‌ ඩෙංගු රෝගීන් බවට පත්වීමේ සිද්ධිය මේ රටේ සෞඛ්‍යයට තිරසාර අභියෝගයක්‌ තිබෙන බව පෙන්වයි.

බදුල්ල රෝහලේ වෛද්‍යවරියක්‌ ඩෙංගු රෝගයෙන් මියයැමේ සිද්ධියට මාධ්‍ය මගින් මේ වන විට විශාල ප්‍රචාරයක්‌ ලැබී තිබේ. ඩෙංගු ගැන පමණක්‌ වෙනම සතිපතා පත්තරයක්‌ මුද්‍රණය කළ හැකි තරමට පුවත් බහුල ය. ඒ අතර ඩෙංගු සටන පැතිරීමේ පුළුල් මෙහෙයුමක්‌ රට පුරා අරඹා තිබේ. වත්තල ප්‍රදේශයේ වැසියෝ සෑම සෙනසුරාදාවකම/ ඉරිදාවකම පොල් කෝම්බ, පොල්කටු, ටින්කබල්, හිස්‌ යෝගට්‌ කෝප්ප සොයා පළාත දෙවනත් කරති. එය ඉතා යහපත් ආදර්ශයකි. ආණ්‌ඩුවෙන්ම සියල්ල කරනතුරු බලා නොසිට තමනුත් හැකි පමණින් ඩෙංගු මර්දනයට දායකවීම කාලාන්තරයකට පසු මතුව විත් තිබේ. එහෙත් මේ සංග්‍රාමශීලී ජනතාව පරදවමින් තවමත් ඩෙංගු රෝගය කෙළින් සිටී. එහි තේරුම ගිනි කූරකින් පහර දුන් විට පවා හතරගාතය දාමින් ඇදවැටෙන ඩෙංගු මදුරුවා මිනිසුන්ට වඩා බලවත් බවයි. මෙය රටේ සෞඛ්‍යය නඟාසිටුවීම සඳහා සද්භාවයෙන් කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමාගේ නරක කාලයක්‌දැයි අපි නොදනිමු. අපේ වැටහීම නම් නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේදී ඩෙංගු මදුරුවන් සමඟ රහස්‌ ගිවිසුමක්‌ ගසා තිබූ බව ය. තමන් සෞඛ්‍ය අමාත්‍යංශය අත්හළ පසු තම ව්‍යාපාරය දියත් කරන ලෙස ඔහු ඩෙංගු මදුරුවන්ට දන්වා තිබුණිද?

මේ රටේ ජාතික පුෂ්පය නිල් මානෙල් මලය. ජාතික ක්‍රීඩාව වොලිබෝල්ය. ජාතික රෝගය ලෙස නම් කර නොතිබුණත් උමතු රෝගය ජාතික රෝගය මට්‌ටමට පත්ව තිබිණි. එහෙත් ඒ තැන දැන් ඩෙංගු රෝගය විසින් ලබාගනු ලැබ ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.