වී මිල අඩුවීම හේතු සහ සුරක්‍ෂිතතාව

වී අලෙවිය පිළිබඳ මේ දිනවල විශාල අර්බුදයක්‌ පවතී. ඒ සාධාරණ මිලකට වී විකුණාගත නොහැකි නිසා ය. ජුනි, ජුලි, අගෝස්‌තු යනු වී වගාවට අදාළ පසු අස්‌වනු කාල සීමාවයි. ගොවියන්ට වී සඳහා ඉහළ මිලක්‌ ලැබෙනුයේ මෙම කාල සීමාව තුළදීය. එය මෙතෙක්‌ පැවත ආ සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් මෙවර එය වෙනස්‌ විය. වී සඳහා වන මිල මේ වනවිට දිනෙන් දින පහත වැටෙමින් පවතී. දිවයිනේ වාර්ෂික වී අස්‌වනු ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් මිලියන 3.8 - 4.00 අතර වෙයි. එම අස්‌වැන්නෙන් වැඩි ප්‍රමාණයක්‌ මිලදී ගනු ලබන්නේ වී මෝල් හිමියන් සහ අතරමැදි ගනුදෙනුකරුවන්ය. ඔවුන්ගෙන් බහුතරයක්‌ මේ වනවිට වී මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කරති. වී මෝල් හිමියන් පවසන්නේ හාල් සඳහා මේ වනවිට ප්‍රමාණවත් ඉල්ලුමක්‌ නොමැති බවය. මේ දිනවල හාල් සඳහා පවතින්නේ ද වාර්තාගත අඩුම මිලයි. තිරිඟු පිටි සඳහා වන ආනයන බදු ප්‍රමාණය රජය විසින් වැඩි කරනු ලැබුවේ නොබෝදාය. එහෙත් ඒ අනුව ද තත්ත්වය වෙනස්‌ වූ බවක්‌ පෙනෙන්නට නැත. මධ්‍යම ප්‍රමාණයේ වී මෝල්වලින් බහුතරයක්‌ මේ වනවිට තම නිෂ්පාදනය නවත්වා තිබේ. ඒ පවත්නා තත්ත්වයන්ට සාපේක්‍ෂව සහල් නිෂ්පාදනය ලාභදායක නොවන නිසාය. වැඩි මිලක්‌ අපේක්‍ෂාවෙන් වී තොග තබාගත් ගොවියෝ ද අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිති. ඔවුන්ට හැකි ඉක්‌මනින් තම අස්‌වනු විකුණා ගැනීමට අවශ්‍යය. ඒ තම ණය තුරුස්‌ ගෙවා දැමීමට සහ වෙනත් අවශ්‍යතාවන් ඉටු කර ගැනීමටය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී ඇත. ඒ වී කිලෝවක මිල රු. 20/-, රු. 24/- දක්‌වා පහත වැටී ඇති නිසාය. වී ගොවීතැනේ අභියෝගයන්ට සාපේක්‍ෂව එම මිල කිසිසේත්ම සාධාරණ නොවේ. වී සඳහා වන රජයේ සහතික මිල වූයේ කිලෝවකට රු. 27/- කි.

එහෙත් පෞද්ගලික අංශය මගින් වී මිලදී ගන්නේ එයට වඩා වැඩි මිලකටය. රු 34/- බැගින් වී මිලට ගත් ව්‍යාපාරිකයෝ ද සිටිති. ඔවුන් තම ආයෝජනයන් සඳහා ලාභ ඉපැයිය යුතුය. මූල්‍ය ආයතන වෙතින් ගත් ණය සඳහා පොලිය ගෙවිය යුතුය. පවත්නා වී මිල අඩුවීම ඔවුන්ටද දරාගත හැකි දෙයක්‌ නොවේ· පෞද්ගලික ආයෝජකයන්ට මෙවර සිදුවන පාඩුව විඳ දරා ගැනීමට සිදුවන්නේ ද ගොවියන්ටමය. එහෙත් ඒ ඊළඟ කන්නයේදීය. ලාභය පමණක්‌ අපේක්‍ෂා කරන ව්‍යවාසකයන් ඉදිරියේදී වී ගබඩා කිරීම පිළිබඳව කීපවරක්‌ සිතා බලනු නොඅනුමානය. රජය සතුවද මේ වනවිට වී තොග යම් ප්‍රමාණයක්‌ පවතී. එම වී තොග හැකි ඉක්‌මනින් වෙළෙඳපොළට මුදා හැරීමට ද රජයට අවශ්‍ය ය. ඒ රජය සතු වී තොග විනාශව යැමේ ප්‍රවණතාව වැඩි බැවිනි. මෙවර යල අස්‌වැන්න ද වැඩි ඈතක නොවේ· ඉදිරි දෙකක සති තුනක පමණ කාලයක සිට යල වී අස්‌වැන්න ද ලැබීමට නියමිතය. එම යල අස්‌වැන්න "පිළිගැනීම" සඳහා ද පෙර සූදානමක්‌ තිබිය යුතුය. ඒ අනුව වී මිල අඩුවීම නිසා මතුව ඇති අර්බුදය ලෙහෙසියෙන් බැහැර කළ හැකි දෙයක්‌ නොවේ.·

වී සඳහා වන මිල අඩු වීමට ප්‍රධාන හේතුව කුමක්‌ද? එය අප නිවැරැදිව තේරුම් ගත යුතුය. රජය ප්‍රකාශ කොට තිබුණේ රටේ වී නිෂ්පාදනය වැඩිවීම නිසා වී මිල අඩුවී ඇති බවය. යුද්ධයේ නිමාවත් සමග උතුරු ප්‍රදේශයේ වී නිෂ්පාදනය වර්ධනය වී ඇති බවත්, ඒ අනුව රටේ වී අතිරික්‌තයක්‌ පවතින බවත් වැඩිදුරටත් ප්‍රකාශ විය. ශ්‍රී ලංකාව සහල් අපනයනය කළ යුතු රටක්‌ බවට පත්ව ඇති බවද පැවසිණි. මෙරට පාලකයෝ බුද්ධිමත්හුය. ආවාට ගියාට ඔවුන් යමක්‌ ප්‍රකාශ කරතියි සිතිය නොහැකිය. රජය විසින් ඉහත ප්‍රකාශය කරන ලද්දේ ක්‍ෂේත්‍රයට අදාළ ඉහළ නිලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන, වාර්තා අනුව විය යුතුය. එහෙත් වී නිෂ්පාදනය පිළිබඳ එවැනි සංඛ්‍යාලේඛන, දත්ත තිබේ නම් ඒවා පිළිගැනීමට අසීරුය. ඒ හේතු සහිතවය. වී නිෂ්පාදනය වැඩි වීම නිසා වී මිල අඩුවූයේ නම් එය විය යුතුව තිබුණේa පසුගිය අප්‍රේල් මාසයේදීමය.

ඒ මහ කන්නයේ අස්‌වැන්නෙන් වැඩි ප්‍රතිශතයක්‌ අප්‍රේල් - මැයි වනවිට වෙළෙඳපොළට පැමිණෙන බැවිනි. උතුරු ප්‍රදේශයේ වී නිෂ්පාදනය වැඩිවීම පිළිබඳව පවතින්නේද පිළිගැනීමට අසීරු මතයකි. එය එසේ වී නම් යාපනයේ වී මිල සහ සහල් මිලද අඩු විය යුතුය. එහෙත් මේ මොහොතේ යාපනයේ වී කිලෝවක මිල රු. 35/- කි. නාඩු වර්ගයේ සහල් කිලෝවක්‌ රුපියල් 60/- කි. දකුණු ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කරනු ලබන සම්බා කිලෝවක්‌ රු. 80/- කි. යුද්ධයේ නිමාවත් සමග උතුරේ වී නිෂ්පාදනය සහ වෙනත් කෘෂිබෝග වගාවන්හි වර්ධනයක්‌ වූ බව සත්‍යයකි. එහෙත් වී මිල අඩුවීම කෙරෙහි එම වර්ධනයේ බලපෑමක්‌ සිදුව ඇතිබව පිළිගැනීමට නොහැකිය. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 වර්ෂයේදී දිවයිනේ වී වගා කළ භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 1053000 කි. ඒ අනුව වී මෙටි්‍රක්‌ ටොන් 3875000 ක අස්‌වැන්නක්‌ ලැබිණි. 2009 වර්ෂයේදී වී වගා කළ භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 978000 දක්‌වා අඩුව ඇත. ඒ අනුව 2009 වර්ෂයේදී වී අස්‌වැන්න මෙටි්‍රක්‌ ටොන් 3652000 කි. අතිරේක බෝග වගාවන් සඳහා අද බොහෝවිට යොදාගනු ලබන්නේ වී වගා කළ භූමි භාගයන් ය. වී වගා කළ භුමි ප්‍රමාණය සහ වී අස්‌වැන්න අඩුවීමට එය ප්‍රධාන හේතුවකි. කෙසේ වෙතත් මේ දිනවල වී මිල පහත වැටී ඇත. ඒ රටේ වී නිෂ්පාදනයේ අතිරික්‌තයක්‌ පවතින නිසා නොවේ. අපගේ අදහසට අනුව ඒ සඳහා ප්‍රධාන හේතු දෙකකි. එකක්‌ පසුගිය නොවැම්බර් මස සිට මාර්තු දක්‌වා කාලය තුළ සහල් මෙටි්‍රක්‌ ටොන් 50000 පමණ ප්‍රමාණයක්‌ පිටරටින් ආනයන කිරීමය. අනෙක්‌ හේතුව වන්නේ වී මිල කෘතිම ලෙස වැඩි කිරීම සඳහා වන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ "විශේෂ ක්‍රියාවලිය" මෙවර ක්‍රියාත්මක නොවීමය.

රජය සහල් ආනයනය කිරීමේ තීරණයට එළැඹෙන්නේ සහේතුකවය. ඒ රට තුළ සහල් මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමත් සමඟය. වැඩිවන සහල් මිල හමුවේ පාරිභෝගිකයා රැක ගැනීම රජයේ වගකීමකි. ඒ අනුව සහල් සඳහා වූ ආනයන නීති- රීති ඉවත් කෙරිණි. සහල් ආනයනය සඳහා ලබා දුන් බදු සහන යළි සංශෝධනය වූයේ පසුගිය මාර්තු 21 වැනි දිනය. එහෙත් ඒ අතරතුර රටට ගෙන්වූ සහල් ප්‍රමාණය සහල් මෙටි්‍රක්‌ ටොන් 50000 ඉක්‌මවයි. මියන්මාරයෙන් සහ පකිස්‌තානයෙන් ආනයනය කළ එම සහල්වලින් වැඩි ප්‍රතිශතයක්‌ 10% වඩා සහල් ඇට කැඩී ගිය, බාල තත්ත්වයේ කැකුළු වර්ගයේ සහල්ය. අඩු මුදලකට විකිණෙන එවැනි බාල සහල් සඳහා ද හොඳ වෙළෙඳපොළක්‌ පවතින බව අදාළ ව්‍යාපාරිකයෝ දනිති. වතුකරය ඇතුළුව අනෙකුත් ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් බොහෝවිට පාරිභෝජනයට ගනු ලබන්නේ එවැනි සහල්ය. දේශීය සහල් ව්‍යාපාරිකයන්ට තම සහල් මිල අඩුව පවත්වා ගැනීමට සිදුව ඇත්තේත්, කෘත්‍රිම ලෙස වී මිල වැඩි කරවීමේ ක්‍රියාවලිය නතර කිරීමට සිදුව ඇත්තේත් විදේශීය සහල්වල බලපෑම හේතුවෙනි. සහල් මිල යම් සීමාවක පවත්වා ගැනීම සඳහා සහල් පිටරටින් ගෙන්වීම කාලයක සිට කෙරෙන්නකි. එහෙත් එය සිදු කළේ යම්කිසි පාලනයක්‌ සහිතවය. මෙවර එය සීමාවකින්, පාලනයකින් තොරව සිදු විය. එයට හේතුව කුමක්‌ද? අප ගත කළ අදාළ වකවානුව මැතිවරණ කාලසීමාවකි. මැතිවරණ ජයග්‍රහණ සඳහා සහල් මිල වඩාත් අඩුවෙන් තබා ගැනීමට ඉහත ක්‍රියාවලිය සිදුවූ බවට චෝදනාවක්‌ නැඟෙයි. එම චෝදනාව ද ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.

හේතුව කුමක්‌ වුවද මේ වනවිට, සහල් සඳහා පවතින්නේ අඩු ඉල්ලුමකි. ඒ අනුව දේශීය සහල් නිෂ්පාදකයෝ අසහනයට පත්ව සිටිති. පවතින මිලට සාපේක්‍ෂව ආනයනය කළ බාල වර්ගයේ සහල් විකුණා ගැනීමට ද නොහැකිය. විකුණාගත නොහැකි සහල් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනේ නම් එය ද විශාල අපරාධයකි. වී සඳහා සාධාරණ මිලක්‌ අපේක්‍ෂාවෙන් සිටි ගොවියන්ගේ අපේක්‍ෂාවන්ද බොඳ වී ඇත. යල කන්නයේ වී අස්‌වැන්න ද නෙළා ගැනීමට ආසන්නය. එම අස්‌වැන්න මිලයට ගැනීමට සහ ගබඩා කර ගැනීමට ද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්‌ අවශ්‍යය. එහෙත් ඒ සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම අවිනිශ්චිතය. ඒ පවත්නා තත්ත්වය යටතේ ඔවුන් දැනටමත් පාඩු ලබමින් සිටින බැවිනි.

වී මිල අඩුවීම සහ අතරමැදියන් වී මිලදී නොගැනීම හේතුවෙන් මතුව ඇති තත්ත්වයට පිළියම කුමක්‌ද? දැනට ගොවියන් සතුව ඇති වී සහ යල කන්නයේ අස්‌වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්‌ඩලයට මුදල් වෙන් කර ඇති බවට වන තොරතුරු පුවත්පත්වල පළව තිබිණි. ඇත්තෙන්ම එම පුවත සැනසිලිදායක ය. එම ක්‍රියාදාමය ප්‍රශස්‌තය. ඒ පිළිබඳව වැඩි විස්‌තර දැන ගැනීමට පසුගිය 02 දින පෙරවරු 10.35 පමණ වී අලෙවි මණ්‌ඩලය ඇමතුවෙමි. ඒ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් ලබාගත් 0112-882078 සහ 0112-882124 යන දුරකථන අංක ඔස්‌සේ ය. එහිදී පළමුවැනි අංකයෙන් කියෑවුණේ දුරකථනය තාවකාලිකව විසන්ධි කර ඇති බවය. දෙවැනි අංකය ඇමතීමේදී කියෑවුණේ එය "එය වැරැදි අංකයක්‌" බවය. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට වැරැදි වත්ද? එහෙත් නැවත නැවතත් සහ යළි පසුගිය 05 වැනි දින පෙ.ව. 10.40 පමණ කළ උත්සාහයේදීත් ලැබූ ප්‍රතිඵලය එකක්‌ම විය.

රටක ආහාර සුරක්‍ෂිතභාවය පවතී නම් එම රට වාසනාවන්තය. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතභාවය යනු පහසු ඉලක්‌කයකි. ආහාර සුරක්‍ෂිතභාවය සඳහා ලංකාවේ වී ගොවිතැන සුරක්‍ෂිත විය යුතුය. ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි. ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය වසරකට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 10 කි. එම තිරිඟු පිටි පරිභෝජනය අඩු කරලීම සඳහා ක්‍රියා කළ යුත්තේ "ආ¹ යවා තබාලා වල්පත ගත්තාක්‌" සේ නොවේ· බත් කෑම නිසා "මහත්වන" බවත්, බත් දියවැඩියාවට අගුණ බවත් අදත් බොහෝ දෙනෙක්‌ සිතති. වී ගොවිතැන සුරක්‍ෂිත කරලීම සඳහා වී ගොවියාගේ අභිමානය රැක ගැනීමද අත්‍යවශ්‍ය සාධකයකි. වී සඳහා සාධාරණ, ස්‌ථාවර මිලක්‌ ලැබිය යුතු වන්නේද? වී ගොවිතැන ලාභදායී කර්මාන්තයක්‌ ලෙස පැවතිය යුතු වන්නේද එබැවිනි. වී මිල පිළිබඳව බොහෝවිට පවතින අසාධරණ බව සහ අස්‌ථාවර බව වී ගොවියන් දිරි ගන්වන්නක්‌ නොවේ. එය වී ගොවියා උදාසීන කරවන්නකි. අපේක්‍ෂාභංගත්වයට පත්කර වන්නකි. වී ගොවියාගේ ආර්ථිකය බිඳ වැටීම යනු වී ගොවියාගේ සමාජ තත්ත්වය බිඳ වැටීමයි. වී ගොවියාගේ සමාජ තත්ත්වය බිඳ වැටීමත් සමඟ වී ගොවිතැන විනාශ වීම වැළැක්‌විය නොහැකිය. වී ගොවිතැන විනාශවීම සමඟ ඒ ආශ්‍රිතව කාලාන්තරයක්‌ තිස්‌සේ ගොඩනැඟුණ එකමුතු බව, අෙන්‍යාන්‍ය සහයෝගය, ලෙන්ගතු බව ඇතුළු සාරධර්ම සියල්ලද බිඳ වැටෙනු ඇත. වී සඳහා වන මිල අස්‌ථාවරව පවතින්නේත්, වී ගොවියාගේ අභිමානය බිඳ වැටී ඇත්තේත් එක්‌ ප්‍රධාන හේතුවන නිසා බව පෙනෙයි. ඒ වී ගොවිතැනේ අනාගතය මුළුමනින්ම ලාභය පමණක්‌ අපේක්‍ෂා කරන පෞද්ගලික අංශය වෙත පැවරීම නිසාය. කෘෂිකර්මාන්තය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යය. එහෙත් ඒ යම් ප්‍රමාණයකටය. වී ගොවියාගේ ආර්ථිකය සහ සමාජ පසුබිම සුරක්‍ෂිත කිරීම සඳහා ප්‍රබල රාජ්‍ය මැදිහත්වීමක්‌ සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ අවශ්‍යය. උසස්‌ තත්ත්වයේ බීජ වී ලබාදීමේ සිට ගොවියාගේ නිෂ්පාදනය සාධාරණ මිලකට මිලදී ගැනීම දක්‌වා සියල්ල ඒකාබද්ධව, අරමුණු සහගතව සිදු විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ වී අලෙවි මණ්‌ඩලය යළි පණ ගැන්විය යුතු වන්නේ එබැවිණි.

ලයනල් අතුකෝරාල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.