සෝමාවතියට හෝටලයක්‌

මහවැලි ගඟ හා සෝමාවතිය මහ සෑරදුන් මැදිකර ගත් සෝමාවතිය ජාතික වනෝද්‍යානය අලි ඇතුන්ගේ ක්‌ෂේම භූමියකි. ඊසාන දිග මෝසම් සුළං මගින් රැගෙන එන වළාකුළුවල පහස විදිමින් පුබුදුන මහවැලි නදියේ පිටාර බිම් දැවැන්ත විල්ලු ලෙස සෝමාවතිය ජාතික වනෝද්‍යානය පුරා දැක ගත හැකිය. මෙම විල්ලුමය තෘණ බිම් අලි ඇතුන්ගේ ප්‍රධාන ආහාර බිම් වෙති. මේ නිසා ම අලි ඇතුන්ගේ විශාල ගහනයක්‌ සෝමාවතිය ආශ්‍රිතව ජීවත් වෙති.

පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌කවල ව්‍යාප්තව ඇති සෝමාවතිය වනාන්තරය වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂණ ආඥා පනතට අනුව 1966 සැප්තැම්බර් 09 වන දින අංක 14712 දරණ ගැසට්‌ නිවේදනය මගින් පළමුව අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 21056 කි. පසුව 1986/09/22 වන දින අංක 417/5 දරණ ගැට්‌ නිවේදනය මගින් අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබූ භූමි ප්‍රදේශය සෝමාවතිය ජාතික වනෝද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්‍ෂාව තර කෙරිණි. නැවත 1987/05/12 වන දින අංක 453/30 දරණ ගැසට්‌ නිවේදනය මගින් වනාන්තරය හා තෘණ භූමි හෙක්‌ටයාර 16589 ක්‌ සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අලුතින් එක්‌ කෙරින, ඒ අනුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සමස්‌ත භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 37645 ක්‌ පමණ වේ.

පළමුව මෙම ජාතික වනෝද්‍යානය තර්ජනයට ලක්‌ වූයේ මහවැලි ගඟේ සිදුවන දැවැන්ත වැලි කැණීම් හේතුවෙනි. වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂණ ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයක්‌ තුළ වැලි කැණීම් සඳහා අවසර ලබා දීමට කිසිදු හැකියාවක්‌ නොමැති වුවද පසුගිය පරිසර හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යතුමන් විසින් අභිමතය පරිදි බලය අයුතු ලෙස භාවිතා කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ මහවැලි ගඟේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබා දෙන ලදී. අධික වැලි කැණීම් වල ප්‍රතිඵලයක්‌ ලෙස මහවැලි ගඟේ ගැඹුර අධික ලෙස වැඩි වී ඇත. ඊට අමතරව ඉවුරු හාරා වැලි කැණීම හේතුවෙන් හා ගඟ ගැඹුරු වීම හේතුවෙන් ඉවුරු අස්‌ථාවර වීමෙන් මහවැලි ගඟේ පළල ජාතික වනෝද්‍යානය තුළදී දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.

මේ සියල්ලේ අහිතකර ප්‍රතිඵල භුක්‌ති විදින්නේ අලි - ඇතුන්ය. මහවැලි ගඟේ ජලය පිටාර ගැලීමෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි විල්ලු සක්‍රීය වේ. නමුත් වැලි කැණීම් හේතුවෙන් මහවැලි ගඟේ ගැඹුර වැඩි වීම හා අධික ලෙස පළල් වීම හේතුවෙන් වර්ෂා සෘතුවේ දී පිටාර ගැලීම් සිදු නොවේ. මේ නිසා විල්ලුමය පරිසරවලට ජලය ලැබීම සහ රොන් මඩ ගලා ඒම වැළකේ. මේ නිසා විල්ලුමය තණ බිම් සක්‍රීය වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවේ. මීට අමතරව වියළි කාලවලදී ඉතා වේගයෙන් විල්ලු වියලීමට ලක්‌ වේ. ඊට හේතුව වැලි කැණීම් හේතුවෙන් ගඟේ ගැඹුර වැඩි වීම නිසා විල්ලු පරිසරවල භූගත ජලය මහවැලි ගඟ තුළට කාන්දු වීමයි. එවිට විල්ලු වැනසී අලි - ඇතුන්ගේ ගොදුරු බිම් අහිමි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වේ. අහර බිම් අහිමි වන අලි ඇතුන් අවට ප්‍රදේශයේ වගා බිම්වලට පැමිණේ. මේ තත්ත්වය අලි මිනිස්‌ ගැටුම වර්ධනය කරයි. මේ තත්ත්වයට අද වන විට අදූරදර්ශී තීරණ ගැනීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස සෝමාවතිය ජාතික වනෝද්‍යානය දැඩි ලෙස ගොදුරු වෙමින් පවතී.

සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි සෝමාවතිය මහා සෑරදුන් පිහිටි පුද බිමේ සිට කිලෝමීටර් 04 ක්‌ පමණ දුරින් නැගෙනහිරින් මහවැලි ගඟ ආශ්‍රිතව සෝමාවතිය මහ විල්ලුව මධ්‍යයේ දැවැන්ත හෝටල් සංකීර්ණ 02 ක්‌ ඉදි කර ඇත. විශාල කොන්ක්‍රීට්‌ කුළුණු මත ඉදි කර ඇති මෙම හෝටල් සංකීර්ණ මහල 04 කින් පමණ සමන්විතය. මෙම හෝටල් සංකීර්ණයට පිවිසීම සඳහා සෝමාවතිය පුදබිම දක්‌වා විහිදී ඇති මාර්ගයේ සිට කිලෝමීටර් 3.5 ක්‌ පමණ දිග, අඩි 40 ක්‌ පමණ පළලින් යුත් මාර්ගයක්‌ විල්ලුමය පරිසර පද්ධතිය මධ්‍යයේ විල්ලු පරිසරය ගොඩ කර තනා ඇත. නීති විරෝධී ලෙස ජාතික වනෝද්‍යානයක්‌ තුළ ඉදි කළ මෙම දැවැන්ත හෝටල් සංකීර්ණයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව කිසිම සැළසුමක්‌ හෝ විදුලි බලය ලබා ගැනීම පිළිබඳ ව කිසිදු සැළැස්‌මක්‌ නැත. සෝමාවතිය මහ සෑ රඳුන් වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට විශ්‍රාම ශාලා පහසුකම් ආදිය ඒ ආශ්‍රිතව සකස්‌ කරමින් පවතිද්දී මෙවන් හෝටල් සංකීර්ණයක්‌ ජාතික වනෝද්‍යානයේ වන සතුන්ගේ වාසස්‌ථාන විනාශ කරමින් වන සතුන්ගේ පැවැත්මට බලපෑම් ඇති වන ආකාරයේ ඉදි කිරීම පිළිබඳව සොයා බැලීමට වනජීවී අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාට නොහැකි වූයේ මන්ද යන්න විශාල ගැටලුවකි. ජාතික වනෝද්‍යාන කළමනාකරණ සැලසුමකට අනුව සිදු විය යුතු ක්‍රියාකාරකම් වෙනත් අංශ මගින් හිතුමනාපය පරිදි ක්‍රියාත්මක කරද්දී වනජීවී නිලධාරීන් නිහඬ ය.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දැවැන්ත හානිකර ක්‍රියා මින් නතර වී නොමැත. සෝමාවතිය සෑ රදුන් වැඩ සිටින පින් බිමේ සිට සේරුවාවිල දක්‌වා පිවිසීමට තවත් මාර්ගයක්‌ සෝමාවතිය ජාතික වනෝද්‍යානය හරහා ඉදි කරමින් පවතී. එහිදී මහවැලි ගඟ හරහා පිවිසීමට දැවැන්ත පාලමක්‌ මේ වන විට ඉදි කිරීම සිදු කෙරෙමින් ඇත. මෙම මහ මාර්ගය ඉදිවීමත් සමඟ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ වන සතුන්ගේ වාසස්‌ථාන දැවැන්ත ලෙස ඛණ්‌ඩනය වීම හා සෘජුව තර්ජනයට ලක්‌වීම සිදුවේ. එහි ප්‍රතිඵල වර්තමානයේ ද දක්‌නට ලැබේ. ඉදිකෙරෙමින් පවතින මාර්ගය ආසන්නයේ වනාන්තර එළි පෙහෙළි කර අනවසරින් ජනාවාස ඉදි කිරීමට බොහෝ පිරිස්‌ මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද මෙය පාලනය කර ගැනීමට හැකියාවක්‌ නොමැති තත්ත්වයට පත්ව තිබේ.

2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරින් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්‌ථාන විනාශ කිරීම, ස්‌ථීර පාලම් ඉදි කිරීම, මහපරිමාණ හෝටල් ඉදිකිරීම, මහ පරිමාණයෙන් වැලි කැනීම යන හානි කර නීති විරෝධී මානව ක්‍රියාකාරකම් රැසක්‌ සිදු කරති. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්‍ෂණ දෙපාර්දිතමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත.

සජීව චාමිකර
ශ්‍රී ලංකා සොබා සංසදය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.