ව්‍යවස්‌ථා සංශෝධනයට කමිටුවක්‌
පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැතිවරයෙක්‌
මනාප ක්‍රමයත් අහෝසියි
17 වන සංශෝධනය ගැනත් අවධානය

අනුර බාලසූරිය - පියසේන දිසානායක

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයේදී දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක අගමැති ධුරයක්‌ ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12 වැනිදා) මූලික එකඟතාවකට පැමිණියහ.

දෙපාර්ශවය මෙම එකඟතාවට පැමිණියේ ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන එක්‌සත් පෙරමුණේ නියෝජිතයන් පිරිසක්‌ සහ විපක්‌ෂ නායකවරයා ප්‍රමුඛ එ.ජා.ප. නියෝජිතයන් පිරිසක්‌ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (12 දා) පැවැති සාකච්ඡාවේදීය.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය මෙන්ම 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ස්‌ථාපිත කෙරුණු ස්‌වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම කෙරෙහිද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

තවදුරටත් මෙම සාකච්ඡා පැවැත්වෙන නමුත් ඉදිරි සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා හෝ විපක්‌ෂ නායකවරයා සහභාගි නොවන අතර ඒ වෙනුවට දෙපාර්ශ්වය නියෝජනය කරමින් කමිටු පිහිටුවා තිබේ. ඉදිරි සාකච්ඡා මෙම කමිටු අතර සිදු වෙයි. ඒ කමිටුවල සාකච්ඡා අද (13 වැනිදා) සිට ආරම්භ කෙරේ.

මේ අතර ඊයේ (12 දා) සවස පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ව්‍යවස්‌ථාව සංශෝධනයට අදාළ සාකච්ඡා දිගටම සිදුවන බවය.

දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක්‌ නිකුත් කර තිබිණි. ඒ මෙසේය.

පෞද්ගලික වුවමානවන් උදෙසා ව්‍යවස්‌ථා සංශෝධන සිදු නොකළ යුතු බවත් රට පිළිබඳ සිතා නිශ්චිත දර්ශනයක්‌ මත පිහිටා එය සිදු කිරීමට අත්‍යවශ්‍ය බවත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා පෙන්වා දෙයි.

එසේම දැනට පවත්නා විධායක ජනාධිපති ධුරය හුදකලා ධුරයක්‌ ලෙස නිර්මාණය වී ඇති බවත් රාජ්‍ය නායක ධුරය පාර්ලිමේන්තුවට වගකියන පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරන පාර්ලිමේන්තුව සමග ගනුදෙනු කළ හැකි ධුරයක්‌ ලෙසට පරිවර්තනය විය යුතු බව වසර 40 කට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අත්දැකීම් අනුව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සර්ව පාක්‌ෂික කමිටුව වෙත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විසින් කරන ලද යෝජනාවක්‌ වූ පාර්ලිමේන්තුවට වගකියන විධායක අග්‍රාමාත්‍ය ධුරයක්‌ ඇති කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඉදිරියේදී සිදු කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට වගකියන විධායක අග්‍රාමාත්‍ය ධුරයක්‌ ඇති කිරීමට පොදුජන එක්‌සත් පෙරමුණ සහ එක්‌සත් ජාතික පක්‌ෂය මෙහිදී එකඟතාවට පැමිණියහ.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කරන ලෙස එක්‌සත් ජාතික පක්‌ෂ නියෝජිතයන් මෙහිදී ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ ඔවුන් වෙත කරුණු පැහැදිලි කිරීමට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බැසිල් රාජපක්‌ෂ යන මහත්වරු වෙත පැවරිනි.

එසේම 17 වන සංශෝධනය යටතේ ස්‌ථාපිත ආයතන බලාත්මක කිරීම කෙරෙහි මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර එම ආයතන ඉදිරියේ දී බලාත්මක කිරීමටත් එම ආයතනවලට පත්කරන නිලධාරීන් කැබිනට්‌ මණ්‌aඩලයට වගකිය යුතු බවත් මෙහිදී එකඟතාවය පළ විය.

එසේම කුමන රජයක්‌ යටතේ වුවද ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පැවතිය යුතු බවට දෙපාර්ශට්‌වය මෙහිදී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයට පත් වූ අතර ඉදිරියේදී සිදු කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය හරහා එය තහවුරු කළ යුතු බවටත් මෙහිදී දෙපාර්ශ්වය එකඟ විය. දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ මගින් එකඟතාවට පත්වූ කරුණු ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එක්‌සත් ජාතික පක්‌ෂය නියෝජනය කරමින් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, ගාමිණී ජයවික්‍රම පෙරේරා, තිස්‌ස අත්තනායක, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරුන්ද පොදුජන එක්‌සත් පෙරමුණ නියෝජනය කරමින් අමත්‍යවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ජී.එල්. පීරිස්‌, දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්‌ෂ, ඩලස්‌ අලහප්පේරුම යන මහත්වරුන් එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.