ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදා භාරයේම තබන්න
කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නියෝග කරයි

සමන්ත ඉලේපෙරුම

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලා ආ සෙබලුන්ට වැටුප් හා නවාතැන් සපයමින් ඔවුන්ගේ රාජකාරී ඉටුකිරීම වළක්‌වා රාජපාක්‌ෂීය භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙර පරිදි යුද්ධ හමුදාව භාරයේ රඳවා තබාගෙන සුදුසු හා විධිමත් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සේනක හරිප්‍රිය ද සිල්වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස ඊයේ (12 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කරුණු දක්‌වමින් කරනු ලැබූ ඉල්ලීමක්‌ අනුව එලෙස නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ලබන 26 දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

පසුගිය ජනවාරි 21 දින කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේ සිදු කළ වැටලීමක්‌ අනුව යුද හමුදාවෙන් පලාගිය සෙබලුන් පිළිබඳව මෙහිදී පරීක්‍ෂණ පවත්වන බවත් සැකකාර ජෙනරාල් ෆොන්සේකා යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන සමයේදී යුද හමුදාවට අනුයුක්‌ත පොලිස්‌ සේවා බළකායේ යතුරු පැදි බලඇණියේ කටයුතු කළ භටයන් මේ අතර සිටින බවත් කියා සිටියේය.

ජෙනරාල්වරයා අදාළ තනතුරුවලින් විශ්‍රාම යැමේදී ඔහුගේ ආරක්‌ෂාවට අවශ්‍ය ආරක්‌ෂක භටයන් ලෙස විධිමත් අයුරින් 2009 /11/ 16 දින ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමක්‌ අනුව මෙම යතුරු පැදි ධාවකයන් අයත් නොවන බව ද දැන්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්‌ථාවක හිටපු හමුදාපතිවරයාගේ ආරක්‌ෂාවට යතුරුපැදි කරුවන් සපයා නැති බවත් හමුදාවෙන් පැන ගිය සෙබලුන් බව දැන දැනම අදාළ යතුරුපැදි භටයන්ට වැටුප් හා නවාතැන් පහසුකම් සලසා දීමෙන් ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ හා එම සෙබලුන්ගේ රාජපාක්‌ෂික භාවයෙන් හෝ කාර්යන් ඉවත් කරවා ගැනීමට තැත් කිරීමෙන් ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 128 වගන්ති යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා දඬුවම් ලැබිය හැකි වරදක්‌ කර ඇති බවත් දන්වා සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සේනක හරිප්‍රිය ද සිල්වා මහතා මෙම ක්‍රියාවට ආධාර අනුබල සැපයීමෙන් ඔහුත් දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදු කර ඇති බවද දැන්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාව රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ඉල්ලා සිටියේය.

එහිදී සැකකාර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා කරුණු දක්‌වමින් තම සේවාදායක ෆොන්සේකා මහතා බන්ධනාගාර අධීක්‍ෂණය යටතේ යුද හමුදා භාරයටම පත් කරන ලෙසත් ඔහු රක්‌ෂිත බන්ධනාගාර ගතකිරීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්‌ විය හැකි බවත් කියා සිටියේය. හිටපු යුද හමුදාපතිවරයා ලෙසින් හා පසුව මාණ්‌ඩලික ප්‍රධානී ලෙසින් ත්‍රස්‌තවාදය පරාජය කිරීමට තම සේවාදායකයාගේ දායකත්වය පිළිබඳව යළිත් දීර්ඝ ලෙසින් කරුණු දැක්‌විය යුතු නැති බව ද පැවැසූ ලද්දුවහෙට්‌ටි මහතා ත්‍රස්‌තවාදී රැඳවියන් බන්ධනාගාරගත කර ඇති බන්ධනාගාරයේ ඔහු රැඳවීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්‌ විය හැකි බවත් විවිධ අංශ මගින්ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති අවස්‌ථාවක ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

පෙර සිටි මහෙස්‌ත්‍රාත්වරිය ඒ පිළිබඳව සැලකිලිමත් වී තම සේවාදායක ෆොන්සේකා මහතා හමුදාව භාරයට පත් කළ බවත් බන්ධනාගාරගත කිරීමෙන් ඔහුට ලබා ගැනීමට නොහැකි යම් යම් පහසුකම් නොමැති වී යැම පිළිබඳව කොටුව මහෙස්‌ත්‍රාත්වරිය ද අවධානය යොමු කළ බවත් කියා සිටි නීතිඥ ලද්දුවහෙට්‌ටි මහතා තම සේවාදායකයාගේ පැමිණිල්ලට අදාළව හමුදා භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා කරුණු දක්‌වමින් පළමු සැකකාර ජෙනරාල්වරයාට අනතුරක්‌ සිදුවිය හැකි බවට ඉදිරිපත් කරන කරුණු පිළිගන්නා බවත් එහෙත් බන්ධනාගාර නීතිය සැකකරුටද බලපාන්නක්‌ බවත් කියා සිටියේය. හයිකොප් සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු මේ වනවිටත් රඳවා තබා ඇත්තේ පෙර සිටි නාවික හමුදා මූලස්‌ථානයේ බවත් එහිදී අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙර පරිදිම රඳවා තබා ගන්නා ලෙසක්‌ සුදුසු හා විධිමත් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

දෙවැනි සැකකාර සේනක හරිප්‍රිය ද සිල්වා ලබන 26 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසද නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල එදිනට නැවත කැඳවන ලෙසත් නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සුදු කොඩි කථාවට අදාළව රැගෙන විත් තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව යුද හමුදාව මගින් ඉදිරිපත් කරනු ලැබූ අතර කුමන්ත්‍රණයක්‌ මගින් රජය පෙරළීමට කටයුතු කළේ යෑයි රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති සේනක හරිප්‍රිය ද සිල්වා මහතා බන්ධනාගාර අධිකාරිය මගින් ඉදිරිපත් කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.