ස්‌පාඤ්ඤය තරම් ජගතෙක්‌ නැති තරම්

ජයග්‍රාහී ස්‌පාඤ්ඤ කණ්‌ඩායම සහ තරගයේ වාර්තා වූ එකම ගෝලය ස්‌පාඤ්ඤ කණ්‌ඩායමේ අන්ෙද්‍ර ඉනියෙස්‌ටා වාර්තා කළ අවස්‌ථාව .............

මිලියන 16 ක්‌ වූ ස්‌පාඤ්ඤ ජනතාව රතු සහ කහ වර්ණයෙන් සැරසී සහ නිවසක්‌ නිවසක්‌ පාසා ජාතික ධජය ඔසවාද, මිලියන 46 ක්‌ වූ නෙදර්ලන්ත ජනතාව හා එම පූජක පක්‍ෂය දොඩම් පැහැයෙන් සැරසී රට පුරා දේව මෙහෙය පවත්වමින්ද, 84,490 ක්‌ වූ ප්‍රේක්‍ෂක ජනතාවගේ සජීවී සහභාගිත්වයෙන්ද සහ මිලියන 700 ක පිරිසක්‌ රූපවාහිනී තිරය ඉදිරියේදී සැදී පැහැදී නැරඹීමට සූදානම් වූ ලොව විශිෂ්ඨතම විනාඩි 90 අපූරු රංගනය තවත් විනාඩි 30 කින් දීර්ඝ වී අවසානයේ ස්‌පාඤ්ඤයට සොම්නසද නෙදර්ලන්තයට දොම්නසද උරුම කර දෙමින් අවසන් විය.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග්හි සොකර්සිටි ක්‍රීඩාංගණයේදී ඉකුත් ඉරිදා (11 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම දෙක දක්‌වා පැවැති මෙම අපූරු සහ අවිනිශ්චිත දෙහෝරාව අවසානයට මිනිත්තු 04 ක්‌ තිබියදී ස්‌පාඤ්ඤයේ මැද පෙළ ක්‍රීඩක අන්ද්‍රdයස්‌ අයිනියෙස්‌ටා එම අපූරු සහ අවිනිශ්චිත රංගනයේ පසුසාදය ස්‌පාඤ්ඤය නතු කළේය.

ජගත් පාපන්දු සම්මේලය විසින් සංවිධානය කරන ලබන සිව් වාර්ෂික කුසලාන තරගාවලියේ 2010 අදියර හෙවත් 19 වැනි පියවර එසේ අවසානය දිටීය.

මෙම අපූරු රංගනයේ ප්‍රධාන නළු කණ්‌ඩායම් දෙක වන ස්‌පාඤ්ඤය සහ නෙදර්ලන්තය මෙවර ජගත් කුසලාන අවසන් ගැටුමට ආගන්තුකයෝ වූහ. ඔවුහු මෙයට පෙර කිසිදා මෙම කුසලාන දිනා නොමැති වුවද මෙයට හැට වසරකට පෙර (1950) ස්‌පාඤ්ඤය එම මායිමටද, නෙදර්ලන්තය 1974 සහ 1978 වසර වල එම එළිපත්තට ද (අනුශූරතාව) පැමිණියහ.

දහ නව වැනි අදියරයෙහි අවසානය අරඹමින් දෙරට අධිවේගී සහ කරට කර සටනක නිරත වූහ. එහි පළමු භාගයේදී ස්‌පාඤ්ඤය 62% ක ප්‍රතිශතයකින්ද නෙදර්ලන්තය 38% ක ප්‍රතිශතකයකින්ද පන්දුව නතු කර ගනිමින් රැඟූ රැඟුම් මගින් ස්‌පාඤ්ඤය කුසලානේ අනාගත සෙවනැල්ල මෙන් දිස්‌විය.

ඔවුන් විසින් ප්‍රතිවාදී බලප්‍රදේශය පස්‌ වතාවක්‌ ආක්‍රමණය කරමින් සහ ඉන් එක්‌ වතාවකදී (11 වැනි මිනිත්තුව) පළමු ලකුණ ආසන්නයට පැමිණියද නෙදර්ලන්ත දැල රැකි මාටෙන් ස්‌ටෙකෙලන්බර්ග්ගේ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීම ඉදිරියේ එම ප්‍රයත්නය වැළකිණ.

එසේම නෙදර්ලන්තයද සිව් වතාවක්‌ ස්‌පාඤ්ඤ බලප්‍රදේශයට කඩා වැදිණි. එහෙත් ස්‌පාඤ්ඤ දැල් රකින්නා වූ නායක අයිකර් කැසිලාස්‌ තමා මාටෙන්ට වඩා දක්‍ෂ යෑයි සනාථ කරමින් ඉන් නියත අවස්‌ථා තුනක්‌ම අඩාල කිරීමට සමත්විය.

මෙම අවසන් මහ රංගනයේ පළමු භාගය නිලකුණුව නිම විය. එය එසේ සටහන් වූ සිව්වැනි අවස්‌ථාව වේ. හෙවත්, ජගත් පාපන්දු ශූරතා අවසන් මහ තරගයක පළමු භාගය ගෝල් නොලබා අවසන් වූ සිව්වන අවස්‌ථාව වේ.

තරගයේ දෙවැනි භාගයද ආරම්භයේදී පළමු භාගය මෙන් ස්‌පාඤ්ඤය 1(දැල)-04-02-03-01) සැලසුමෙන්ද සහ නෙදර්ලන්තයද එම සැලසුමෙන්ම යළි සටන් දියත් කළ අතර එහිදීද ස්‌පාඤ්ඤය 62% ක ප්‍රතිශතයකින් පන්දුව නතු කර ගත්තේය. නෙදර්ලන්තයේ එම ප්‍රතිශතය 38% ක්‌ විය. එම අවස්‌ථාවලදී, ගෝල් පිපාසය උච්ඡ වී ස්‌පාඤ්ඤය සිව් වතාවක්‌ද නෙදර්ලන්තය තුන් වතාවක්‌ද වේගවත්ව ප්‍රතිවාදී දැල් ආක්‍රමණය කළද කැසිලාස්‌ සහ මාටෙන් තමන්ද එම සටනේදී අනෙකෙකුට දෙවැන්නකු නොවන බව සනාථ කළහ.

රංගනයේ දෙවැනි භාගයද එසේ අවසන් වන විට දෙපාර්ශ්වයේ නළුවෝ අධික වෙහෙස සහ තෙහෙට්‌ටුවෙන් හෙම්බත්ව සිටියහ. එහිදී කායික වශයෙන් දැරීමේ හැකියාව පළුදු වීම සහ මානසික වෙහෙස හේතුවෙන් දොa දෙපසට, නෙදර්ලන්තයට 8 ක්‌ සහ ස්‌පාඤ්ඤයට 5 ක්‌ වශයෙන් තරග විනිසුරු එංගලන්තයේ ඩේවිඩ් වෙබ් මහතාගේ අතින් යෙලෝ කාඩ් 13 ක්‌ නිකුත් විය.

මෙම යෙලෝ කාඩ් එකතුව මගින් එතෙක්‌ පැවැති ජගත් පාපන්දු ශූරතා අවසන් මහ තරගයක වාර්තාව (08) බිඳ වැටිණ.

රංගනයේ 56 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත ආරක්‍ෂක ක්‍රීඩක ජොනී හෙයිටින්ගාගේ දකුණු පාදය ප්‍රතිවාදී මැද පෙළ ක්‍රීඩක ක්‌ෂාබි අලොන්සෝගේ පපුවට එල්ල වීම කරාටේ පහරක දර්ශනයක්‌ වුවද විනිසුරු වෙබ් මහතා විසින් එය දැඩි විනය නීති කඩ කිරීමක්‌ යෑයි තීරණය කරමින් එයිටින්ගාට රතු කාඩ් (දෙවැනි යෙලෝ අවවාදය) අවවාදය දී පිටියෙන් පිට මං කළේය. මෙය තියුණු සටනේ එකම එක රතු පැල්ලම විය.

ඒ අනුව මෙම මහා අපූරු අවසන් මහ සටනේදී ස්‌පාඤ්ඤය ආරක්‍ෂක වළල්ලේ සර්ජියෝ රාමෝස්‌, කාල්ස්‌ පුයෝල්, ජෝන් කැප්ඩිවෙලා, මැද පෙළ අන්ෙද්‍ර අයිනියෙස්‌ටාද නෙදර්ලන්තයේ ග්‍රෙගරි වැන්ඩර්වීල්, ජොනී හෙයිටින්ගා, ජොරිස්‌ මතිසෙන්, නායක ජියෝවානි වැන් බ්‍රොන්කොස්‌ගෙන් සැදුම් ලත් පූර්ණ ආරක්‍ෂක වළල්ල, මැද පෙළ ආයෙන් රොබෙන්, මාක්‌ වැන්බොමෙල්, නයිජල් බි ජොන්ග් සහ පෙර පෙළ රොබින් වාස්‌පර්සි ජගත් පාපන්දු ශූරතා "යෙලෝ කාඩ්" වාර්තාව බිඳ හෙලූ පිරිස වශයෙන් ඉතිහාසයට එක්‌වූහ.

එහෙත් ජගත් පාපන්දු ශූරතා 19 වැනි අදියර පිළිබඳ රන් අකුරින් ලියෑවෙන වදන් වැළ ස්‌පාඤ්ඤයේ අන්ෙද්‍ර ඉනියෙස්‌ටා ප්‍රධාන කොට ලියෑවෙනු ඇත. තරගයේ 116 වැනි මිනිත්තුවේදී ඔහු විසින් ප්‍රතිවාදී දැල රැකි මාටෙන් අන්ද මන්ද නොකරන්නට රංගනය පෙනල්ටි මත පදනම් වූ අවසන් තීරණයට ගොස්‌ නෙදර්ලන්තයට ජය අත්වීමට අවකාශ තිබිණ.

හේතුව - පෙනල්ටි ප්‍රහාරයේදී නෙදර්ලන්තය ස්‌පාඤ්ඤයට වඩා ඉදිරියෙන් යෑයි කියෑවෙන බැවිනි.

ගෝලය වාර්තා කළ ඉනියෙස්‌ටා විසින් සිය ඇතුළත බැනියමෙහි සටහන් කොට ප්‍රදර්ශනය කරන ලද කිසියම් පණිවුඩයක්‌ විය. -"අප සමග පුහුණුවේ යෙදී සිටියදී මිය ගිය අපේ ආරක්‍ෂක ක්‍රීඩක ඩැනී ජාකේ සැමදා අප සමඟයි" හි එම පණිවුඩයේ අරුත විය.

ඩැනී පිටියේ හෘදයාබාධයකින් 2009 දී ඉතාලියේදී මිය ගියේය.

26 හැවිරිදි අන්ද්‍රdයෙස්‌ ඉනියෙස්‌ටා ස්‌පාඤ්ඤයේ බාසිලෝනා කණ්‌ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකි. ඔහු සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 365 කදී ගෝල් 29 ක්‌ වාර්තා කර ඇති අතර ස්‌පාඤ්ඤය වෙනුවෙන් තරග 8කදී ගෝල් 11 ක්‌ වාර්තා කර ඇත.

මේ අනුව ස්‌පාඤ්ඤ ජයග්‍රහණය යුරෝපා කණ්‌ඩායමක්‌ යුරෝපයෙන් පිටතදී වාර්තා කළ පළමු ජගත් පාපන්දු ශූරතා ජයග්‍රහණය වශයෙන් ඉතිහාස පොතේ ලියෑවෙයි.

ජයග්‍රාහී ස්‌පාඤ්ඤ කණ්‌ඩායම මෙවර අවසානයට ළඟාවීම සඳහා පැවැති පූර්ව තරග 10 ම ජය ගෙන අපරාජිතව සටන් කළේය. ඒ අතර ඔවුහු වසර 2008 යුරෝපා ශූරයන් වශයෙන්ද සහ ඉකුත් දෙවසරදී සහභාගි වූ ජාත්‍යන්තර තරග 25 ක්‌ම ජයගෙන ශක්‌තිමත් මනසකින් පිටියට පිවිසියේය.

මෙවර අවසන් මහ ගැටුමට පෙර හෙවත් ස්‌පාඤ්ඤ නෙදර්ලන්ත 90 වසරක පාපන්දු ඉතිහාසයේදී දෙරට විවිධ මට්‌ටමින් නව වතාවක්‌ මුණ ගැසී ඇත. එහිදී ස්‌පාඤ්ඤය ජය වාර්තා කර ඇත්තේ තුන් වතාවක්‌ පමණි.

ඔවුනගේ ජොහැන්නස්‌බර්ග් සොකර් සිටි හමුව ජගත් පාපන්දු ශූරතාව යටතේ පළමුවැන්න වේ.

විශ්වයේ විශිෂ්ටතම මීළඟ විනාඩි 90 අවසාන රංගන සූදානම බ්‍රසීලයට පැවරී ඇත. එය වසර 2014 දී ජූනි-ජූලි සමයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

සංවිධානයෙන් අතිශය සාර්ථක යෑයි සඳහන්වූ වසර 2010 ජගත් පාපන්දු ශූරතා අවසාන අදියර ආරම්භයේදී අල්ෂබාබ් නමැති සෝමාලියා මුස්‌ලිම් අන්තවාදීන් විසින් එරට මොගඩිෂු නුවර තරග නරඹමින් සිටි පිරිසකට වෙඩි තබා ඝාතනය කොට තවත් පිරිසක්‌(45) අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් දින කීපයක්‌ ඇවෑමෙන් ජගත් පාපාන්දු ශූරතා දකුණු අප්‍රිකානු මෙහෙයුම් මූලස්‌ථානයට කඩා වැදුණු පිරිසක්‌ එහි තිබූ ජගත් පාපන්දු ශූරතා කුසලාන අනුරූ 7 ක්‌ සහ ඇඟ උණුසුම් කිරීමේ කබා තොගයක්‌ පැහැර ගත්හ.

එහෙත් අවසන් මහ තරගයට දිනක්‌ තිබියදී සම්පූර්ණයෙන්ම කොකේන් නමැති මත්ද්‍රව්‍යයෙන් නිර්මාණය කොට රන් ආලේප කරන ලද අදාළ අනුරුවක්‌ ස්‌පාඤ්ඤයේ මැඩ්රිඩ් බලා යන ගුවන් යානයක ගබඩා කර තිබූ පාපන්දු ක්‍රීඩා ඇඳුම් බහාලුවක තිබියදී බොගොටා ගුවන් තොටුපල බලධාරීන් විසින් සොයා ගත්තද එම අනුරුව ජොහැන්නස්‌බර්ග්හි අතුරු දන් වූ අනුරූ සමග සැසඳේ දැයි දැන් පරීක්‍ෂණ පැවැත්වේ.

ඉකුත් ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 2.30 කණිසම ආසන්නයේ සොකර් සිටි ක්‍රීඩාංගණය සහ ඒ අවට පෙදෙසෙහි ගිගුරුම් දුන් මල් වෙඩි හඬින් ඒකාලෝක විය. ඒ මොහොතට සමාන්තරව එම මහා අවසන් රංගනය නරඹමින් සිටි උගන්ඩාවේ කම්පාලා අගනුවර පාපන්දු ලෝලීන් වෙත බෝම්බ 2 ක්‌ එල්ල විය. ඉන් එක්‌ බෝම්බයක්‌ ඉතියෝපියානු ආපාන ශාලාවකද දෙවැන්න කම්පාලා රග්බි ක්‍රීඩා සමාජ ශාලාවේදීද පුපුරා ගිය අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 65 කට අධික බව විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

ඝාතකයෝ සෝමාලියානු මුස්‌ලිම් අන්තවාදී අල්ශබාබ් කල්ලිය යෑයි එරට පොලිසිය දැඩි ලෙස සැක කරයි.

(අසෝක)


වසර 2010 ජගත් පාපන්දු ශූරතා සම්මාන

* වැඩිම ගෝල් සංඛ්‍යාව වාර්තා කළ ක්‍රීඩකයාට පිරිනැමෙන "ගෝල්ඩන් බූට්‌" සම්මානය - තෝමාස්‌ මුලර්(ජර්මනිය)

* තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන "ගෝල්ඩන් බෝල්" සම්මානය - ඩීගෝ ෙµdaර්ලාන්(ආර්ජන්ටිනාව)

* දක්‍ෂතම දැල රකින්නාට පිරිනැමෙන "ගෝල්ඩන් ග්ලව්" සම්මානය - අයිකර් කැසිලාස්‌(ස්‌පාඤ්ඤය)

* දක්‍ෂතය යොවුන් ක්‍රීඩකයා සම්මානය - තෝමාස්‌ මුලර්(ජර්මනිය)

* "ෙµයාර් ප්ලේ" සම්මානය - ස්‌පාඤ්ඤය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.