කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ විශිෂ්ටයන්ට
රන් සම්මාන



අයි. එෆ්. එස්‌. සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රනිල් රාජපක්‍ෂ මහතා මූල්‍ය අනුග්‍රහයට අදාළ චෙක්‌පත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාට ලබාදුන් අවස්‌ථාව.

තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ (ICT) උපාධි වැඩසටහනේ විශිෂ්ට කුසලතා දක්‌වන සිසුන්ට ප්‍රදානය කරන රන් පදක්‌කම් සඳහා සමාගම් තුනක්‌ විසින් මූල්‍ය අනුග්‍රහය ලබාදීමේ උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේදී (UCSC) පසුගියදා පැවැත්විණි. අයි. එෆ්. එස්‌., මෝටරෝලා සහ සම්පත් බැංකුව යන ආයතන තුනේ දායකත්වයෙන් පිළිවෙලින් "වසර හතර උපාධියේ හොඳම ක්‍රියාකාරීත්වය", වසර තුනේ උපාධියේ හොඳම ක්‍රියාකාරිත්වය", වසර හතරේ හොඳම ව්‍යාපෘතිය" සඳහා රන් පදක්‌කම් ප්‍රදානය කරයි. මෙම රන් පදක්‌කම් 2011 වසරේ පැවැත්වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවයේ ලබාදීමට නියමිතය.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේදී (UCSC) අධ්‍යක්‍ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක......

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන (ICT) ක්‍ෂේත්‍රයේ උසස්‌ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා 1985 දී කොළඹ විශ්විවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශය ආරම්භ කළා. එම අධ්‍යයන අංශය යටතේ පරිගණක විද්‍යා උපාධිධාරීන් කණ්‌ඩායම් 18 ක්‌ අපි බිහි කළා. වසර 2000 දී තොරතුරු තාක්‍ෂණ බාහිර උපාධිය (BIT) ආරම්භ කළා. දැනට BIT උපාධිධාරීන් කණ්‌ඩායම් 9 ක්‌ බිහි කරලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශය 2002 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) බවට පත් වෙනවා. එතැන් පටන් අපි අධ්‍යාපන කටයුතු තවත් පුළුල් කළා. ඒ අනුව පරිගණක විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ තොරතුරු පද්ධති ඉංජිනේරුවන්ගේ අඩුව පිරවීම සඳහා 2005 දී ICT උපාධි වැඩසටහන පටන් ගත්තා. දැනට ශිෂ්‍ය කණ්‌ඩායම් දෙකක්‌ ICT උපාධි ලබාගෙන තියෙනවා. දැන් සිටින තෙවැනි කණ්‌ඩායම වෙනුවෙන් ක්‍ෂේත්‍රයේ හඳුනා ගත් විශිෂ්ටතා සඳහා නව තිළිණ තුනක්‌ හඳුන්වාදී තියෙනවා. අයි. එෆ්. එස්‌., මෝටරෝලා සහ සම්පත් බැංකුව යන සමාගම් තුන අනුග්‍රහය දක්‌වන්නේ එම තිළිණ තුනටයි.

මෙය ශ්‍රී ලංකාවේ ICT ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කරන අනුපමේය සේවයක්‌ විදිහට අප සලකනවා. කොළඹ විශ්වවිද්‍යාලය 1985 පටන් ICT ක්‍ෂේත්‍රයේ වෘත්තීය භාවය ඉහළ තලයකට ගේන්න ගත හැකි හැම උත්සාහයක්‌ ම ගත්තා. අප බිහි කළ පරිගණක විද්‍යා උපාධිධාරීන්, BIT සහ ICT උපාධිරීන් ක්‍ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයන් වී සිටිනවා. ඔවුන්ගෙන් ICT කර්මාන්තයට, අධ්‍යාපන සහ පර්යේෂණ ක්‍ෂේත්‍රයට ලැබුණු දායකත්වය මිල කරන්න බැහැ."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.