විජයග්‍රහණයේ කඳුළු කතාව!


ඡායාරූප - සජිත් ජයසේකර

දශක තුනක ඊළාම් යුද්ධයේදී යුද හමුදාවට අත්වූ දරුණුතම පරාජය ලෙස සැලකෙන මුලතිව් හමුදා කඳවුර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ආක්‍රමණයට ලක්‌වී වසර 14 ක්‌ සපිරෙයි.

1996 වසරේ ජුලි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එල්ලවූ කොටි ප්‍රහාර හමුවේ 1500 කට ආසන්න රණවිරුවන් පිරිසක්‌ දිවිපිදූ අතර 06 වැනි විජයබාහු සහ 09 වැනි සිංහ යන බලඇණිවලින් සමන්විත වූ 25 වැනි බලසේනා කඳවුරු සංකීර්ණය සම්පූර්ණයෙන්ම කොටි ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහණය යටතට පත්විය.

මුහුදින් සහ ගුවනින් පමණක්‌ සැපයුම් හා ප්‍රවාහන සම්බන්ධතා පවත්වාගෙන ගිය මුලතිව් කඳවුර කිසිදු ගොඩබිම් ප්‍රවේශ මාර්ගයක්‌ නොමැතිව කොටි පාලන ප්‍රදේශයක හුදකලාව තිබූ නිසා කොටි ත්‍රස්‌තවාදීන්ගේ ආක්‍රමණශීලී ප්‍රහාර හමුවේ එම කඳවුරේ නිලධාරීන් සහ සෙබළුන් ආධාරක සේනාවල සහාය නොලැබීම හේතුවෙන් කඳවුර බේරාගැනීමට නොහැකිව පරාජයට පත්වූහ.

එම පරාජය යුද හමුදා ඉතිහාසයේ ලැබූ දරුණුතම සහ විශාලතම පරාජය ලෙස ලියෑවිණි. එමෙන්ම 1995 වසරේදී යුද හමුදාව යාපනය අත්කර ගැනීම නිසා අන්ත පරාජයකට සහ දරුණු පසුබෑමකට ලක්‌වී සිටි කොටි නායකයන්ට සහ ත්‍රස්‌තවාදීන්ට මෙම මුලතිව් ජයග්‍රහණය විශාල ශක්‌තියක්‌ හා ධෛර්යයක්‌ විය.

මීට පෙර මෙවැනි හුදකලා කඳවුරු 02 ක්‌ ආක්‍රමණය කිරීමට කොටි ත්‍රස්‌තවාදීහු දැවැන්ත ආක්‍රමණශීලී ප්‍රහාරක මෙහෙයුම් 2 ක්‌ සිදු කළද එම ප්‍රහාර සාර්ථකව මැඩපත්වා තම කඳවුරු රැකගැනීමට හමුදා විරුවෝ සමත් වූහ.

1990 වසරේ අලිමංකඩ කඳවුර ආක්‍රමණය කිරීමට එල්ල කළ ප්‍රහාරය කොටින්ගේ ප්‍රථම උත්සාහය විය. එය සාර්ථකව මැඬ පැවැත්වීමට එම කඳවුරට අණදුන් එඩිතර හමුදා නායකත්වය යටතේ අභීතව සටන් කළ 06 වැනි සිංහ බළ ඇණියේ වීරෝධාර විරුවෝ සමත් වූහ.

මේජර් ජෙනරාල්වරයකුව සිටියදී හමුදාවෙන් විශ්‍රාම ලැබූ සනත් කරුණාරත්න එවකට මේජර්වරයකුව එම කඳවුරේ අණ දෙන නිලධාරියා වශයෙන් ආධාරක සේනා පැමිණෙනතුරු තම කඳවුර කොටි ත්‍රස්‌තවාදීන් අතට පත්වීමට ඉඩ නොදී රැකගෙන සිටීමට තම බලඇණිය මෙහෙය වීය.

1991 වසරේදී පුනරීන් කඳවුර ආක්‍රමණය "කිරීමට ගෙඹි පිම්ම" නමින් මෙවැනිම ආක්‍රමණශීලී ප්‍රහාරයක්‌ එල්ල කිරීම කොටි ත්‍රස්‌තවාදීන්ගේ දෙවැනි උත්සාහය විය. එවක ලුතිනන් කර්නල්වරයකු වූ ටී. ටී. ආර්. ද සිල්වා එම කඳවුරේ අණ දෙන නිලධාරිවරයා විය. පුනරීන් කඳවුර කොටි ත්‍රස්‌තවාදීන් අතට පත්වීමට ඉඩ නොදී රැක ගැනීම සඳහා ආධාරක සේනා පැමිණෙනතුරු රණවිරුවන් කළ සටනට එඩිතර නායකත්වයක්‌ දීමට ඔහුට හැකි විය. මේජර් ජෙනරාල් සිල්වා මේ වන විට ත්‍රිකුණාමලය දිසාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි.

කිසිදු ගොඩබිම් මාර්ගයක්‌ නොමැතිව ආධාරක සේනාවලට ළඟාවීමට දුෂ්කරව තිබූ අලිමංකඩ සහ පුනරීන් කඳවුරු සතුරාගේ ආක්‍රමණයට ලක්‌වීමට ඉඩ නොතබා රැක ගැනීමට එදා සනත් කරුණාරත්න සහ ටී. ටී. ආර්. ද සිල්වා යන අණදෙන නිලධාරීන්ට හැකි වුවද 1996 වසරේ මුලතිව් කඳවුර රැකගැනීමට එඩිතර නායකත්වයක්‌ දීමට කිසිවකු නොසිටීම මහත් අවාසනාවක්‌ විය.

කොටි ආක්‍රමණයට ලක්‌වු මුලතිව් 25 වැනි බලසේනා මූලස්‌ථානයේ බලසේනාධිපතිව සිටියේ ලෝරන්ස්‌ ප්‍රනාන්දු නමැති කර්නල්වරයායි. ප්‍රහාරය එල්ල වන විට ඔහු රාජකාරි කටයුත්තකට කොළඹ පැමිණ සිටියේය. 09 වැනි සිංහ බළඇණියේ අණදෙන නිලධාරියාව සිටි මේජර් සේනාධීර ගුණරත්න සිටියේද රාජකාරි කටයුත්තකට කොළඹ පැමිණ සිටි බැවින් මුලතිව් කඳවුරේ සටන මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ අණදෙන්නකු නොවීය.

කර්නල් ප්‍රනාන්දු මේජර් ජෙනරාල්වරයකුව සිට යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අතර, මේජර් ගුණරත්න කර්නල්වරයකුව සිටියදී පාසිකුඩා වෙරළේදී සුනාමි ව්‍යසනයට ගොදුරුවී මිය ගියේය.

06 වැනි විජයබාහු බළඇණියේ අණදුන් මේජර් අලිබා සහ 09 වැනි සිංහ බළඇණියේ වැඩබලන අණදෙන නිලධාරි මේජර් හිරාන් දබරේරා ඊළඟට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ අතර මගේ සොහොයුරා 25 වැනි බලසේනා මූලස්‌ථානයේ මාණ්‌ඩලික නිලධාරියකු වශයෙන් කටයුතු කළේය.

17 වැනිදා මධ්‍යම රාත්‍රියේ මට දුරකථනයෙන් කතා කළ මගේ සොහොයුරා කඳවුරට එල්ලවී තිබෙන කොටි තර්ජනය ගැන අනතුරු හඟවා සිටියේය. එතැන් සිට වරින් වර මට තොරතුරු පැවසූ ඔහු වරක්‌ මෙසේ කීවේය.

අයියේ, ටෙරාලා මුහුදින් කලපුවෙන් ගොඩබිමෙන් අපිට "ඇටෑක්‌" කරනවා. කොච්චර කිව්වත් අපේ එවුන් "ආටි" ගහන්නෙ නැහැ.

18 වැනිදා අලුයම 2.30 ට පමණ අවසන් වරට කතාකර ඔහු කියා සිටියේ දැන්නම් සටන දරුණුයි. මම උදේට කතා කරන්නම් කියායි.

ඒ මගෙ සොහොයුරා මට කතා කළ අවසන් අවස්‌ථාව වූයේ ඉන් අනතුරුව කඳවුරේ දුරකථන පණිවිඩ සංඥ කුළුණ කොටි ත්‍රස්‌තවාදීන් විසින් විනාශ කළ බැවිනි.

කෙසේ වෙතත් දරුණු සටන් මධ්‍යයේ අපේ රණවිරුවන් දින කීපයක්‌ කඳවුර රැකගෙන සිටීමට උත්සාහ දරා ඇතත් පණිවිඩ හුවමාරු බිඳ වැටීම පතරොම් නොමැතිවීම, තුවාලකරුවන්ට ප්‍රතිකාර නොලැබීම ආදී දුෂ්කරතා මධ්‍යයේ 23 වැනිදා ඉතිරිව සිටි පිරිසක්‌ සමග කඳවුර අතහැර පසුබැස යැමට මගේ සොයුරා තීරණය කර ඇත්තේ ඒ වන විටත් ගොඩබිමින් තියා ගුවනින් හෝ මුහුදින් වත් ආධාරක සේනා පැමිණෙන බවට සේයාවක්‌වත් නොතිබූ නිසා බව බේරී පැමිණි සෙබළුන්ගෙන් පසුව දැනගත හැකිවිය.

එසේ කඳවුර අතහැර පසුබැස එන අතරේ 27 වැනිදා මගේ සොහොයුරු මේජර් ජානක කස්‌තුරිආරච්චි අතුරුදන් වූ බව පමණක්‌ සටහන් කර එම කතාව එතැනින් නිම කිරීමට සිදුව ඇත.

1996 වසරේ මුලතිව් ප්‍රහාරයෙන් දිවි පිදූ මගේ සොහොයුරා ඇතුළු දහස්‌ ගණනක රණවිරුවන් සිහිකර එදා මුලතිව් කඳවුර පිහිටි භූමියේ යුද හමුදාව විසින් ඉදි කළ රණවිරු උපහාර ස්‌මාරකයක්‌ මෙම මස 18 වැනිදා විවෘත කරනු ඇත. මෙම අවස්‌ථාවට රණවිරුවන්ගේ ඥතීන්ද සහභාගිවනු ඇත.

යුද්ධය අවසන් වුවද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙත යැම වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ සිදුවී නැත. පසුගිය මාස කීපය තුළ ඔහුගේ එම සංචාරවල මාධ්‍ය ආවරණය සඳහා නිතරම යැමට සිදුවූ බැවින් ආරක්‍ෂක ලේකම්වරයා රණවිරුවන් වෙනුවෙන් කොතරම් කැපවී සිටිනවාද කියා අප හොඳින් වටහා ගෙන සිටින්නෙමු.

ආරක්‍ෂක ලේකම්වරයා මේ වන විට ඉකුත් මාස තුනක පමණ කාලය තුළ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, නැගෙනහිර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථාන බලප්‍රදේශ කරා ගොස්‌ හමුදා නිලධාරීන් සහ සෙබළුන්ගේ පහසුකම් හා සුබසාධනය පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය කටයුතු යෙදීම මෙන්ම එම ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් පදිංචිකරවීමේ කටයුතුද සොයා බැලීමේ නිරත විය.

ඒ සෑම සංචාරයකදීම රණවිරුවන් අමතා ඔවුන් දිරිමත් කිරීමට සහ ඔවුන්ගේ ඉදිරි රාජකාරීන් සහ වගකීම් පිළිබඳව දැනුවත් කිරීමටද ආරක්‍ෂක ලේකම්වරයා පියවර ගත්තේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 13 වැනිදා වන්නි ආරක්‍ෂක සේවා බල ප්‍රදේශයේද එවැනි සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් වවුනියාවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා එහි පැවැති ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්ගේ සාකච්ඡාවකට සහභාගි විය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ, පොලිස්‌පති මහින්ද බාලසූරිය, වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, උතුරු මැද නාවික ආඥපති රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ ඇතුළු ප්‍රදේශයේ සේනාංකාධිපතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ ප්‍ර්‍රධානීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඓතිහාසික මඩු දේවස්‌ථානය වෙත ගිය ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිස එහිදී විශේෂ දේව මෙහෙයකටද සහභාගි වූහ.

පසුව වෙල්ලානකුලම් 61 වැනි සේනාංක මූලස්‌ථානයට ගිය ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ නිලධාරීන් ඇමතුවේය.

පසුගිය සිව් වසර තුළ මෙරට හමුදා ශක්‌තිය තෙගුණයකින් වැඩි කළ බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා විශාල හමුදාවක්‌ තිබෙන නිසා විනය නිසි ලෙස පවත්වාගෙන යැම අත්‍යවශ්‍ය කරුණක්‌ බවද පැවසීය.

යුද්ධය තිබෙන කාලයේ හමුදාව පාලනය කිරීම පහසු වුවද සාමකාමී කාලවල හමුදාවේ විනය පාලනය කිරීම අමාරු බවද හෙතෙම පැවසීය.

විනය හොඳින් ඇති හමුදාව නිතරම ජයග්‍රහණය ලබන බැවින් හමුදා අණ පනත් ගැන හොඳ අවබෝධයක්‌ ලබාගෙන සාර්ථක වෘත්තීයම හමුදාවක්‌ ගොඩනැඟීමට කටයුතු කළ යුතු යෑයිද රාජපක්‍ෂ මහතා කීවේය.

දශක තුනක යුද්ධය නිමකර ලබාගත් ජයග්‍රහණය උදෙසා විශාල පිරිසක්‌ කැපවී ක්‍රියාකළ බැවින් ඒ සැම දෙනා නිතරම සිහිපත්a කළ යුතු බවද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය. යුද්ධය අවසන්වී තිබෙන මෙසමයෙහි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඉතා වැදගත් කාර්යභාරයන් රැසක්‌ ආරක්‍ෂක හමුදා සතුව පවතින බව සඳහන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී හදවත සහ මනස දිනා ගැනීමේ ක්‍රියාන්විත සිදුකිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.