ඒක හරියට පෙනෙන නොපෙනෙන හීනයක්‌ වගේ...
ඕෂධී හේවාමද්දුම

ඕෂධී හේවාමද්දුම රංගන ශිල්පිනියක්‌ ලෙසට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානය තමා වෙත ඇද බැඳ ගන්නට සමත් වූ නිළියක්‌. මේ නිසාම අද වන විට ඕෂධී ඒකාකාරී රංගනයෙන් තරමක්‌ ඔබ්බට ගොස්‌ සමස්‌ත කලා ක්‍ෂෙත්‍රයම නියෝජනය කරන අලුත් වැඩ කටයුත්තකට සහ ගායිකාවක්‌ ලෙසට රසික සිත් සෙරාගත් තරගකාරියක්‌ වෙලා. ඕෂධී ආරම්භ කළ අලුත් වැඩකටයුත්තත් එක්‌ක ඇගේ රංගන හැකියාවන්වල අලුත් තොරතුරු දැනගන්න මීවිත අපි අදහස්‌ කළා.

ඕෂධී මේ දවස්‌වල තොරතුරු?

සතියෙන් වැඩි කාලයක්‌ ගතවෙන්නේ මෙගා ස්‌ටාර් වේදිකාවේ. ඒ ඇරුණු කොට මම රඟපාපු ඇබෑර්තු ඇත ටෙලිනාට්‍යය ජාතික නාලිකාවෙන් විකාශය වෙනවා. තව ටික දිනකින් සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන මායා මන්ත්‍රී ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

අලුත් වැඩක්‌ පටන්ගත්තා කියලත් ආරංචියි?

ඔව්, සිනමාව මූලික කරගෙන අනෙක්‌ කලා විෂයන්ගේ තොරතුරුත් ඇතුළත් කරලා සඟරාවක්‌ නිර්මාණය කළා. ඒකේ නම සිලෝන් ෆිල්ම් ස්‌ටාර්. මාසෙකට වතාවක්‌ වෙළෙඳපළට නිකුත් කරන විදිහට තමයි සඟරාව නිර්මාණය කළේ. ඒකට අමතරව අඅඅගජැහකදබසෙකපිඒරගජදප නමින් වෙබ් අඩවියකුත් විවෘත කළා.

එවැනි සඟරාවක්‌ නිර්මාණය කිරීමේ අරමුණ වුණේ මොකක්‌ද?

කාලෙක ඉඳලා මම දැකපු අඩුවක්‌ තමයි අපේ රටේ සිනමාව ගැන ලියවුණු සඟරාවක්‌ නොමැති එක. ඉන්දියානු සිනමාව ගැන වුණත් බොහෝ රටවල අය කතාකරන්නේ ෆිල්ම් ෆෙයාර් සඟරාව නිසා. ඉතිං මට හිතුණා ලංකාවේ සිනමාව ගැන එවැනි සඟරාවක්‌ කළොත් ජාත්‍යන්තරව අපේ සිනමාව නළු නිළියෝ ගැන ගොඩක්‌ දෙනා කතා කරයි කියලා. එතනදි ලංකාවේ සිනමා රසිකයින්ටත් එහි තොරතුරු දැනගන්න පුළුවන් විදිහට තමයි සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සඟරාව නිර්මාණය කළේ. මීට කලින් මෙවැනි සඟරා කිහිපයක්‌ නිර්මාණය වෙලා තිබුණත් මේ ප්‍රමිතියට සිනමාව ගැන ලංකාවේ පටන් ගත්ත පළමු එක තමයි සිලෝන් ෆිල්ම් ස්‌ටාර්.

ව්‍යාපාරයත් එක්‌ක රංගනයෙන් ඉවත් වෙලාද?

ඉස්‌සර තරම්ම දැන් නිර්මාණවලට සම්බන්ධ වෙන්න කාලය මදි නිසා රඟපෑම තරමක්‌ සීමා වෙලා තියෙනවා විතරයි ඉවත්වෙලා නැහැ. අවුරුදු තුනකට කලින් ගොඩනඟාත්ත වෘත්තිය වටිනාකමට ගැලපෙන හොඳ නිර්මාණයක චරිතයක්‌ ලැබුණොත් විවේකය ලැබෙන විදිහට රඟපානවා. නැත්නම් පඳුරකට ගැහුවහම විසිවෙන නළු නිළියෝ වගේ හිතූ හිතූ ගානට රඟපාන්නේ නැහැ. අනික බිරිඳක්‌ හැටියට ගොදර දොර වැඩ වලටත් කාලය වෙන්කරන්න ඕනනේ.

මේ කාලේ පුංචි තිරයේ දකින්න නැත්තේ?

කලින් කරපු නිර්මාණ හත අටක්‌ම තියෙනවා විකාශය වෙන්න. ඒකයි ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ. අනිත් එක කලිනුත් මම කිව්වා වගේ වෘත්තිය නිළියක්‌ හැටියට ගොඩනඟා ගත්ත වටිනාකම වැඩිවෙන විදිහෙ නිර්මාණවලට සම්බන්ධ වෙනවා ඇරෙන්න ඒක නැතිවෙන නිර්මාණවලට මම කවදාවත් එකතුවෙන්නේ නැහැ.

රංගනය ගැන කලකිරීමෙන්ද කතා කරන්නේ?

මට කවදාවත් වෘත්තිය ගැන කලකිරීමක්‌ නැහැ. ඒත් නිෂ්පාදකවරු ගැන පුංචි හිත්වේදනාවක්‌ තියෙනවා. හේතුව ක්‍ෂෙත්‍රය තුළ ප්‍රවීණ නිෂ්පාදකවරු කොච්චර හිටියත් වටිනාකමක්‌ දෙන්න පුළුවන් නිර්මාණ බිහිකරන්නේ ඉතාමත් සීමිත පිරිසක්‌ විතරයි. අනිත් අය අද රැල්ලට එකතුවෙලා.

ඔබේ සැමියත් ව්‍යාපාරයේ හවුල්කරුවෙක්‌?

ප්‍රදීප් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්‌ වුණත් පසුගිය කාලේ වෘත්තියෙන් ටිකක්‌ ඈත්වෙලා ටෙලිනාට්‍ය කැමරාකරණයට යොමුවෙලයි හිටියේ. අතලොස්‌සක්‌ වුණත් ප්‍රදීප් සම්බන්ධ වුණ සර්ලක්‌ හෝම්ස්‌, අයාල්, සිහින වසන්තයක්‌ වගේ ටෙලිනාට්‍යය ගැන අදටත් බොහෝ දෙනා කතා කරනවා. ඒකට හේතුව එයාට හොඳ ඇහැක්‌ තියෙනවා. එක්‌ නිසා නැවතත් එයා සඟරාව හරහා ඡායාරූපකරණයට ආවා.

ඔබ වැනි නවක නිළියක්‌ මෙවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසීම පිළිබඳව ක්‍ෂෙත්‍රයේ එතරම් තැකීමක්‌ නැහැ?

මේ සඟරාව වටා ඉන්න හැමෝම කලාව ගැන රහක්‌ තියෙන උදවිය. මම අහනවා ඔය කියන ප්‍රවීණයන්ගෙන් ඇයි එහෙනම් මෙවැනි දෙයක්‌ එයාලා නොකළේ? හරිනම් මේ වගේ දෙයක්‌ වෙන්න ඕන ප්‍රවීණයන්ගේ අතින්. ඇත්තටම මේක උඩුගම් බලා පිහිනීමක්‌. මම කලාවට ආදරය කරන නිසයි මෙවැනි දේකට මූලික වුණේ. එහෙම නැතිව ලාභ ප්‍රයෝජන බලාගෙන නෙමෙයි. සඟරාව එළිදක්‌වපු දවසේ ආව දැවැන්තයන්ගෙන් ලැබුණු ඒ සුබ පැතුම් මට ශක්‌තියක්‌ වුණා මිසක්‌ සුළු පිරිසක්‌ කියන කතාවලට මම සැලෙන්නේ නැහැ.

ඒ කියන්නේ රඟපාන්න ආවත් හිත තිබුණේ ව්‍යාපාරයකටද?

මම හැමදාම ඕනම දෙයක්‌ කරන්නේ සැලැස්‌මක්‌ ඇතිව. රඟපාන්න ආපු එක විතරයි නොහිතපු මොහොතක වුණේ. අනික මම ඉගෙනගත්තේ ව්‍යාපාර කළමනාකරණය ගැන. ඉතිං අදහසක්‌ තිබුණා ව්‍යාපාරයකට යොමුවෙන්න ඕන කියලා. රංගනයට ආවට පස්‌සේ හිතුවා කලාවත් එක්‌කම යන දෙයක්‌ කරන්න ඕන කියලා. මොකද ව්‍යාපාරයකට හිත තිබුණට ඇඟේ තිබුණේ රංගනය නිසා.

ඉදිරියේදී රංගනයටද ව්‍යාපාරයටද වැඩි කාලයක්‌ ගත කරන්නේ?

රංගනයෙන් ඉවත්වෙන්න නම් කවදාවත් බැහැ. හරියට අබිං කෑවා වගේ තමයි. හොඳ දේකට සම්බන්ධවෙලා හැමදේම සැලැස්‌මක්‌ ඇතිව කරගෙන යනවා.

සිනමාව ගැන කතා කළාට සිනමා නිළියක්‌ හැටියට අත්දැකීමක්‌ නැහැ නේද?

ඇත්තම කිව්වොත් සිනමාවෙන් මම දුරස්‌ථයි තමයි. මටත් ඒක ලොකු ප්‍රශ්නයක්‌. චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ටෙලිනාට්‍ය තුළින් ගොඩනඟාත්ත නමට තව වටිනාකමක්‌ එකතුකරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක්‌ ලැබුණේ නැති නිසයි තාමත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැත්තේ.

මෙගා ස්‌ටාර්ස්‌ වේදිකාව තුළ ඔබ දක්ෂ ගායන තරුවක්‌?

ගායනය හදාරපු නැති කෙනෙක්‌ විදිහට මෙගා ස්‌ටාර්ස්‌ වේදිකාවට මුලින්ම මම ගොඩ වුණේ ස්‌වර හතවත් නොදැන. එහෙම කෙනෙක්‌ වෙලත් ජනප්‍රිය තරු තිස්‌ හයක්‌ අතුරින් අවසන් දාසය දෙනා අතරට එන්න අවස්‌ථාව උදා කර දීම ගැන මගේ රසික රසිකාවියන්ට මම ස්‌තුතිවන්ත වෙනවා. අද තමයි අවසන් දොළොස්‌ දෙනා අතරට යනවද නැද්ද කියලා තීරණය වෙන දවස. දැන් මම සංගීතය හදාරනවා. එදාට වැඩිය දියුණුවක්‌ අද මං තුළ තියෙනවා කියලා විනිශ්චය මණ්‌ඩලයේ අදහස්‌ වලින් වුණත් තේරෙනවා.

මෙගා ස්‌ටාර්ස්‌ ගමන් මාවත ගැන ඔබේ අදහස?

නිවේදිකාවක්‌ හැටියට මම මුලින්ම සම්බන්ධ වුණේ ස්‌වර්ණවාහිනී නාලිකාවට. ඒ විශ්වාසය මට කවදත් තියෙනවා. මේ වැඩසටහනේදි වුණත් එහෙමයි. මගේ ජනප්‍රියත්වය වැඩි වුණා මිසක්‌ ප්‍රතිරූපයට හානියක්‌ වෙන දෙයක්‌ වෙලා නැහැ. ඒකට ස්‌වර්ණවාහිනියටත්, විනිශ්චය මණ්‌ඩලය ප්‍රමුඛ අරුණ ලියාන් ඇතුළු සංගීත කණ්‌ඩායමටත් මම ස්‌තුතිවන්ත වෙනවා.

මෙගා ස්‌ටාර් වෙන්න ලැබුණොත්?

ඒක හරියට පේන නොපෙනෙන හීනයක්‌ වගේ. එහෙම වුණොත් මට ඒක දරාගන්න බැරි සතුටක්‌ වෙයි. එහෙම නොවුණා කියලත් දුකක්‌ නැහැ. මොකද මම නොදැන හිටපු දක්ෂතාවක්‌ මේ තරමින් හරි ඉදිරිපත් කරන් පුළුවන් වීම ගැන සතුටුයි.


ලක්‌මිණි අතුකෝරල
ඡායා- සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.