පිටපත් රචකයා, ප්‍රේක්‍ෂකයා වගේම
නිෂ්පාදකයා ගැනත් හිතන්න ඕනෑ...
රුවන් මාළිගා පිටපත් රචක කාවින්ද මලවිආරච්චි

ටෙලි හෝ සිනමා නිර්මාණ කෘතියක්‌ සාර්ථක වීමෙහිලා අධ්‍යක්‍ෂවරයා, කැමරා ශිල්පියාගෙන් සිදුවන මෙහෙය යම් සේද එවැනිම කාර්ය භාරයක්‌ එහි පිටපත් රචකයාද සතුවේ. එහෙත් දක්‍ෂ තිර පිටපත් රචකයෙක්‌ නොවුණු තැන නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයෙකුගෙන් හෝ දක්‍ෂ කැමරා ශිල්පියෙකුගෙන් "පළක්‌ වනු ඇතිද?" එබැවින් තවදුරටත් තිර කතා රචකයා යනු සාර්ථක නිර්මාණයක්‌ පසුපස ඇති මුදුන් මූලය ලෙස හැඳින්වීමේ වරදක්‌ නොවේ. ඒ නිසාම තරුණ තිර පිටපත් රචකයෙකු සමග කළ කෙටි කතා බහකට මේ ඉඩ කඩ වෙන් කළෙමු. ඔහු ජීවිතය ලස්‌සනයි, අපි අපි වගෙයි, රුවන් මාළිගා නමැති ටෙලි නාට්‍යවල තිර පිටපත ලියමින් ඔබට සමීප වූ කාවින්ද මලවිආරච්චි නම්වේ.

කාවින්ද... ඔබ තිර පිටපත් රචනයට යොමුවුණේ කොහොමද කියල මුලින්ම දැනගන්න කැමතියි?

මම ඉගෙන ගත්තෙ පාදුක්‌ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් කාලේ ඉඳලම මේ ක්‍ෂේත්‍රයට පොඩි නැඹුරුවක්‌ තිබුණා. ඔය අතරේ මට විශ්වවිද්‍යාලයට යන්න අවස්‌ථාව ලැබෙනවා. මම තෝරා ගත්තෙ කලා විෂයන් ඇතුළත් ජන සන්නිවේදන උපාධිය. එහිදී රූපවාහිනිය හා සිනමාව ගැන හදාරන්න යොමුවුණා. එතැනදී තමයි මගේ මුල්ම තිර පිටපත එළියට එන්නේ. "සමනලයාට වෙඩි තියන්න" යන නමින් ඒ පිටපතින් කෙටි චිත්‍රපටයක්‌ කළා. එදා බොහෝ දෙනා එය අගය කිරීමත් එක්‌ක මේ ක්‍ෂේත්‍රයේ මට යමක්‌ කළ හැකියි කියා වටහා ගත්තා.

මුලින්ම ඔබේ තිර පිටපතකින් ටෙලි නාට්‍යයක්‌ හැදෙන්නෙ සුසිල නිෂ්පාදන ආයතනයත් එක්‌ක. නමුත් "ජීවිතේ ලස්‌සනයි" නමැති ඒ නාට්‍යයේ පිටපතේත් විශේෂත්වයක්‌ තියෙනවා.?

ඇත්තෙන්ම. ජීවිතය ලස්‌සනයි පිටපත පිටපත් රචකයින් කණ්‌ඩායමක්‌ එකතුව කළ පර්යේෂණාත්මක තිර පිටපතක්‌. මම සුසිල ආයතනයට සම්බන්ධ වෙන්න අවස්‌ථා ලැබෙන්නෙත් ඒ තිර පිටපත සමග කිව්වත් වැරදි නෑ. තිර රචකයන් කණ්‌ඩායමක්‌ එකතුවෙලා ලීව කතා මාලාවක්‌ තමයි ජීවිතය ලස්‌සනයි කතාවෙන් පෙන්නුවේ. එය සාර්ථක වීම මත නැවතත් අපි කණ්‌ඩායමක්‌ එකතුවී "පවනී" පිටපත ලීවා.

මේ දිනවල විකාශය වන "රුවන් මාළිගා" නාට්‍යයේ තිරපිටපත ලියන්නෙ ඔබ. මේ කතාවේ කතා සංකල්පය හිතට ආවේ?

ප්‍රවීණ තිර රචක එඩ්වින් පීරිස්‌ මහත්මයාගේ කතා සංකල්පයක්‌ මත තමයි රුවන් මාළිගා කතාව නිර්මාණය වෙන්නෙ. ඔහුගෙ සංකල්පය අපි කීප දෙනෙක්‌ විසින් කතාවක්‌ බවට ගොඩනඟා ගන්නවා. එතැනදී මට උදව් වෙන්නෙ උවනි ශානිකා සහ සුනෙත් වර්ණසූරිය. වර්තමානයේදී දිල්ෂිකා රාජපක්‍ෂ මේ තිර පිටපත ලියන්න මට උදව් වෙනවා.

වර්තමානයේ විකාශනය වන දීර්ඝ ටෙලි නාට්‍ය හැදෙන්නෙ හරිම කඩිමුඩියේ?

රුවන් මාලිගා හදිස්‌සියේ කළ වැඩක්‌ නෙමෙයි. මේ වන විට විකාශය වන ටෙලි නාට්‍ය ගැන හැදැරීමක්‌ සහිතවයි මේ කතාව ලියන්නෙ. රුවන් මාළිගා අධ්‍යක්‍ෂණය කරන රවින්ද්‍ර විඡේරත්නත්, නිෂ්පාදිකා සන්ධ්‍යා මෙන්ඩිස්‌ මහත්මියත් මේ සම්බන්ධව අප සමග එකතුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපට ඕන වුණේ මේ දවස්‌වල දීර්ඝ ටෙලි නාට්‍ය ගණනාවක්‌ විකාශය වෙද්දී ඒ තුළම ඉඳගෙන එයින් ඔබ්බට ගිය ගුණාත්මක දෙයක්‌ කරන්නයි.

බොහෝ විට දීර්ඝ ටෙලි නාට්‍යය විකාශනය වීම සිදුවෙද්දීම පිටපත් රචනය සිදුවන නිසා මුල් ආකෘතියෙන් පිට පනිනවා? අපි මුලදීම මේ කතාවේ අවසානයත් හදාගෙනයි තියෙන්නෙ. ඒ නිසා ටෙලි නාට්‍යය විකාශය වෙද්දී ලීවා කියල ආකෘතියෙ වෙනසක්‌ වෙන්නෙ නෑ. නමුත් මැදදී කතාවට යම් එකතු කිරීම් සිදුවෙනවා. ඒත් මූලික කතාවෙන් බැහැර වෙන්නෙ නෑ.

ඒත් දීර්ඝ නාට්‍යවල කතාවේ ජීවමාන බවක්‌ ර¹ පවතින්නේ නෑ?

රුවන් මාළිගා වලට නම් තවම එවැනි චෝදනාවක්‌ නෑ. සම්ප්‍රදායික දුෂ්ඨයෙක්‌වත් ඉන්දියානු ටෙලි නාට්‍යයක පවතින විය නොහැකි සිදුවීම්වත් මෙහි නෑ. මිනිස්‌සුන්ගෙ සැබෑ ජීවිත ඇතුලේ තියෙන චරිතයි අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ.

පිටපත් රචකයෙක්‌ට වැදගත් දේ මොකක්‌ද?

මම හිතන්නෙ අත්දැකීම්. මේ ටෙලි නාට්‍යයේදී පවා අපි ඇත්තම මිනිස්‌සුන්ගෙ අත්දැකීම් අහුලගන්නයි උත්සාහ කළේ. මිනිස්‌සුන්ගෙ ජීවිත ඇතුළේ නාට්‍යමය ස්‌වරූපයක්‌ තියෙනවා. එය අහුලාගෙන ඉදිරිපත් කරන්න මම උත්සාහ කළා.

ඔබ කොහොම කීවත් දැන් හරයාත්මක නිර්මාණ (ටෙලි නාට්‍ය) බිහි නොවන තරම්? දැන් රූපවාහිනිය කියන්නෙ නිර්මාණවලට වඩා වාණිජ පැත්ත මුල්කරගෙන යන දෙයක්‌. අපි උත්සාහ කරන්නෙ උපරිම හොඳ දෙයක්‌ කරන්නයි. නමුත් වර්තමානයට අනුව මේ දෙකම බැලන්ස්‌ වෙන්නත් ඕන. පිටපත් රචකයා ප්‍රේක්‍ෂකයාගෙ පැත්තෙන් මෙන්ම නිෂ්පාදකයාගෙ පැත්තෙනුත් හිතන්න ඕන.


තිස්‌ස ගුණතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.