සිංගර් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස
අශෝක පීරිස්‌ පත්වේ

හේමක අමරසූරිය මහතාගේ විශ්‍රාම යැමෙන් අනතුරුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස අශෝක පීරිස්‌ මහතා පත්කොට ඇත. සමූහ ව්‍යාපාරය විසින් සමාගමේ ඉමහත් සාර්ථකත්වය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ තවදුරටත් අඛණ්‌ඩව ඉදිරියට ගෙන යමින් නව ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාවට නංවා දැවැන්ත සිංගර් සමාගම ඉදිරියට ගෙන යැම ඔහුගේ අභිප්‍රාය වන්නේය.

1990 වසරේදී ගණකාධිකාරිවරයකු ලෙස රත්මලාන සිංගර් ඉන්ඩස්‌ට්‍රීස්‌ (සිලෝන්) සමාගමට බැඳුනු අශෝක පීරිස්‌ මහතා, එදා මෙදා තුර ඔහු ප්‍රදර්ශනය කළ හසළකම හා ප්‍රඥගෝචර තීරණ ගැනීමේ හැකියාව ඔහුගේ මෙම සාර්ථකත්වයට හේතු විය. පීරිස්‌ මහතා සතු සහජ හැකියාවන් ඉක්‌මනින් අවබෝධ කරගත් කීර්තිමත් නාමයක්‌ උසුලන සිංගර් ශ්‍රී ලංකා සමාගම, 1991 වසරේදී ඔහුට ස්‌ථාන මාරුවක්‌ ලබාදෙමින් එම ආයතනයට අනුයුක්‌ත කළේය.

එහිදී සිංගර් ශ්‍රී ලංකාහි මූල්‍ය කළමනාකරු ලෙස වැඩ භාරගත් අශෝක පීරිස්‌ මහතා ඔහුගේ සෘජු දායකත්වයෙන් මූල්‍ය මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්‍ෂමභාවය වැඩිදියුණු කිරීම සඳහා පියවර ගණනාවක්‌ ගන්නා ලදී. ඔහුගේ හැකියාවන් ඔප් නංවන්නට සිංගර් ශ්‍රී ලංකා කදිම තෝතැන්නක්‌ වූ හෙයින්, ජැමෙයිකාවේ සිංගර් සමාගමේ හය මසක වැඩ අධ්‍යයන චාරිකාවක්‌ සඳහා ඔහු වරම් ලැබීය. එහිදී ඔහුට එම සමාගමේ අලෙවි මෙහෙයුම් පිළිබඳ තියුණු අවබෝධයක්‌ ලබා ගැනීමට හැකිවිණ. එතැන් පටන් හිණි පෙතෙන් හිණි පෙත ඉහළට නගිමින් 2002 වසරේදී අශෝක පීරිස්‌ මහතා සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ තනතුරට පත්විය. 2008 වසර දක්‌වා ඔහු මෙම තනතුර හෙබවීය.

එයින් නොනැවතුනු ඔහු, ඔහුගේ අප්‍රතිහත ශක්‌තිය තව තවත් විදහා පාමින් 2008 වසරේදී ප්‍රධාන ගණකාධිකාරි නිලධාරියා වශයෙන් හොංකොං හි සිංගර් ආසියා සමාගමට උසස්‌වීමක්‌ ලැබීය. එහිදීද ඔහුගේ අසාමාන්‍ය දස්‌කම් හේතුවෙන් සිංගර් ආසියාහි උප සභාපති, මූල්‍ය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස උසස්‌ වන්නට ඔහුට වැඩි කලක්‌ ගතවූයේ නැත. 2004 වසරේ අගෝස්‌තු මස සිට අශෝක පීරිස්‌ මහතා සිංගර් ශ්‍රී ලංකාහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයකු විය. ඊට අමතරව හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංගලාදේශය සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටි සිංගර් සමාගමයන්හි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකත්ව දරන්නට තරම් ඔහු සමතෙක්‌ විය.

සිංගර් සමාගමේ සාමාජිකත්වය දැරීමට ප්‍රථම අශෝක පීරිස්‌ මහතා අර්න්ස්‌ ඇන්ඩ් යන්ග් සමාගමේ පුහුණුව ලබා එහි විගණන කළමනාකරුවකු ලෙස සේවය ලැබීය. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකි. ICASL ඇසෝසියේට්‌ අදියර 1 පරීක්‍ෂණ විභාගයෙන් ගණකාධිකරණය සහ මූල්‍ය පරීක්‍ෂණයට මෙන්ම විගණකාධිකරණ පරීක්‍ෂණ සඳහා ප්‍රථම ත්‍යාගය හිමිකර ගත් ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (මහාබ්‍රිතාන්‍යයේ) සාමාජිකයකු වේ. අශෝක පීරිස්‌ මහතා මූලික අධ්‍යාපනය ලැබුයේ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. එහිදී 1981 - 82 වසර සඳහා ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. ඔහු ක්‍රියාකාරී රොටරි සාමාජිකයෙකි. කොළඹ උතුර රොටරි සමාජයේ හිටපු සභාපති ද වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.