මහජන ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත

ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් බලයට පත්වූ එ. ජා. පය විසින් රටට හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණක්‌ නොව දේශපාලන සංස්‌කෘතියටද කළ සරදමක්‌ බව දැන් එ. ජා. පයටද වැටහී ගොස්‌ තිබේ. විධායක ජනාධිපති ක්‍රමයකින් රටේ දේශපාලන ස්‌ථාවරත්වයක්‌ ඇති කර ක්‍ෂණික සංවර්ධනයක්‌ උදා කරගත හැකි බවද ඡේ. ආර්. ජයවර්ධන මහතා කල්පනා කළේය. එහෙත් එය මහා විනාශයකට තුඩු දුන් දේශපාලන සංස්‌කෘතියක ආරම්භය ද විය.

කෙසේ හෝ කලින් කල විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඇතිවූ විවේචන හා ක්‍රියාමාර්ග සියල්ල දේශපාලන සටන් පාඨයක්‌ වූවා මිස යථාර්ථයක්‌ බවට පත් වූයේද නැත. ඡේ. ආර්ට මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයාද වූ රණසිංහ ප්‍රේමදාසට හෝ ඉනික්‌බිතිව බලයට පත්වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගට හෝ විධායක ජනාධිපති ධුරයෙහි බලය හා රසය භුක්‌ති විඳීමට වඩා වැඩි යමක්‌ කළ නොහැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සන්ධාන රජය යළිත් මෙම විධායක ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා සුදානම් වේ. ඒ සඳහා එ. ජා. ප. නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායද පළවී තිබේ.

මෙම විධායක ජනාධිපති ක්‍රමයෙන් රට අත්පත් කර ගත් එකම හා අගනාම ප්‍රතිඵලය තිස්‌ වසරක්‌ ඉක්‌මවූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීම පමණි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා බල ගැන්වූ එක්‌ ප්‍රමුඛ සාධකයක්‌ ලෙස ද විධායක ක්‍රමය හැඳින්විය යුතුය. එහෙත් ඉන් පසුව අප ලද සුවිශේෂ ප්‍රගතියක්‌ තිබේද?

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට ගණයේ දේශපාලන බුද්ධිමතකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පාර්ලිමේන්තු ක්‍රමය හා එහි භාවිතය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි. ඔහු මෙම විධායක ජනාධිපති ක්‍රමය හැඳින්වූයේ 1972 ව්‍යවස්‌ථාව හා සසඳන විට ආපසු ගමනක්‌ බවය. එමතු නොව ආණ්‌ඩුවේ ප්‍රධානියා වන ජනාධිපති පාර්ලිමේන්තුවේ පෙනී නොසිටින හා විවේචනයකට භාජන කළ නොහැකි කිසිදු අධිකරණයකට පවා රැගෙන යා නොහැකි තැනැත්තෙක්‌ වීම බරපතල තත්ත්වයක්‌ බවද ඔහු සඳහන් කර තිබිණි.

1978 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය තරම් දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්‌ නැති බව අද කාගේත් පිළිගැනීමය. එය ජනතාවගේ මනසද අවුල් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පෙරට දමා ගත් මංකොල්ලයක්‌ බවට එය පත්වූ අයුරු විස්‌තර කළ යුතු නැත. කේවල ක්‍රමය තුළ තමන්ගේ මහජන නියෝජිතයා තෝරා ගත් ජනතාව මෙම මනාප ක්‍රමයෙන් තල්ලු වී ගියේ කොතැනටද? මේ ක්‍රමය තුළ නිදහස්‌ අපේක්‍ෂකයා ද නැති විය. ඡන්ද ක්‍රමයේ අතිශය සංකීර්ණ එකක්‌ ද විය. අතුරු මැතිවරණ ක්‍රමයද අහෝසි විය. ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරන ලද අයෙක්‌ වුවද පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මෙම ක්‍රමය තුළ සිදු විය.

සමාජයක්‌ මෙන්ම එහි සිටින පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය හා ආකල්පද කාලානුරූපව වෙනස්‌ වේ. ආර්ථික හා දේශපාලන සබඳතාවන්ද වෙනස්‌ වේ. එසේ නම් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ නොවී තිබිය හැකිද? ඇත්තටම කිසිම ව්‍යවස්‌ථාවක්‌ සර්ව සම්පූර්ණද නොවේ. ව්‍යවස්‌ථාවක්‌ යනු මූලිකවම රටේත් ජනතාවගේත් ගෞරවයට පාත්‍ර විය යුත්තකි.

ජනතාවගේ අභිලාෂයන් වටහා ගැනීම හා ජනතාවගේ පොදු පිළිගැනීමට පාත්‍රවීමද ව්‍යවස්‌ථාවකින් අපේක්‍ෂා කෙරේ. එහි නීතිමය පදනම හා ජනතාව සුරක්‌ෂිත කිරීමේ ශක්‌තිය ඉතා වැදගත්ය. ජන වර්ග වලටද යුක්‌තිය හා සාධාරණත්වය ඉටු විය යුතුය. එනිසා ව්‍යවස්‌ථාව සමාජ ප්‍රගතියට අදාළ මුඛ්‍ය කාරණාවක්‌ ලෙස පිළිගනු ලබයි.

ව්‍යවස්‌ථා සංශෝධනය හදිසි කෙටුම්පතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අදහස අත්හැර දමා දේශපාලන පක්‍ෂවල යෝජනා හා ජනතා විවේචන සලකා බැලීමට රජය ගත් තීරණයද අගනේය. කුමක්‌ වුවත් ඡේ. ආර්. තෝරාගත් මාර්ගය වූයේ රට නොව තමාට වුවමනා ව්‍යවස්‌ථාව සකසා ගැනීමය. ඔහු එය සපුරා ගත්තේ රටට විය හැකි අනතුරු නොතකමින්ය. එදා එ. ජා. පයේ කිසිවෙක්‌ ඔහුට විරුද්ධ වූයේද නැත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වමේ දේශපාලන පන්නරය මෙන්ම මානව හිමිකම් අගයන දේශපාලන පදනමක නිෂ්පාදනයකි. ජනහද ගැස්‌ම දන්නා නායකයෙකි. එහෙත් මෙකී ව්‍යවස්‌ථාව තුළ ඔහුගේ ඇතැම් හැසිරීම්ද ප්‍රශ්නකාරී විය. 17 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය දැඩි විවේචනයට ලක්‌ විය.

අද රටට වුවමනා ජාතික සමගිය වඩන, දූෂණයට හා භීෂණයට එරෙහි ව්‍යවස්‌ථාවකි. ඒ සඳහා තිබෙන ආයතන ශක්‌තිමත් කිරීම්ද අද අත්‍යාවශ්‍යය. මැතිවරණ හා පොලිස්‌ කොමිසම් පිළිබඳව විධිමත් වෙනසක්‌ රටම ඉල්ලා සිටියි. රට ඉදිරියට යන යහ පාලනයට ඉවහල් වන නීති හා ආයතන බල ගැන්වීමද අද අවශ්‍යතාවකි.

ජනාධිපතිවරයාගේ මහින්ද චින්තනය තුළින්ද මෙම විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම අවධාරණය කර තිබේ. විපක්‍ෂයද රටට කීවේ එය වෙනස්‌ විය යුතු බවය. මේ අනුව අද රටට පීඩනයක්‌ වී තිබෙන මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කර ගැනීම සියලු දෙනාගේම වගකීම හා යුතුකමද වේ. මන්ද යත් ව්‍යවස්‌ථාව යනු මහජන ප්‍රජාතන්ත්‍රවාදය කරා රට ගෙන යන මාවතද හෙයිනි. එනිසා අද පැහැදිලිවම වෙනස්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට ලබා දිය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.