තුන්මසකට පෙර අපෙන් සමුගත්
සොඳුරු සහෘදයා මංජුල මෙන්ඩිස්‌

ආදරණීය සහෘදයාණනි.

දයාබර මිත්‍රයාණනි.

මංජුල මෙන්ඩිස්‌ සොහොයුරාණනි.

උඹට මතකද...

මීට මාස 03 කුත් දින 02 කට කලින් කලුවර වැටීගෙන එන වෙලාවෙ අපේ කන්තෝරුවෙ අන්දර ගහයට බැම්ම උඩ වාඩිවෙලා උඹයි මායි අඹ කයියක්‌ දාගෙන හිටියා. ඈත ඉගිල්ලෙන වවුලෝ දිහා බලාගෙන.

ඊයේ හවසත් මම එතන වාඩිවුණා. උඹ එතන නැහැ... වවුලො ඉගිලෙනවා දැක්‌කෙත් නැහැ....

අවාසනාවට ඊට හරියටම දවස්‌ 02 කට පස්‌සේ උඹ හදිසියේම මියගියා.

ආදරණීය බිරිඳගෙ, දයාබර දරු දෙන්නගෙ අපේ දිවයින පත්තර කන්තෝරුවේ අයගෙ, උඹව දන්න කියන හැම දෙනාගෙම හිත්වලට දුක, වේදනාව කියන්නේ මොකක්‌ද කියලා හොඳටම තේරුම් ගන්න දීලා උඹ මියගියා.......

ඒ වුණාට උඹ තාමත් ජීවත්වෙනවා. ඒ අපේ හදවත්වල. උඹව දන්න හඳුනන හැමෝගෙම හදවත්වල.

එක දවසක්‌ හරි උඹව දැන හඳුනා ගත්ත ඕනෙම කෙනෙකුට එයාගෙ මුළු ජීවිත කාලෙටම උඹව අමතක වෙන්නේ නැහැ.

උඹ එතරම්ම සුවිශේෂී චරිතයක්‌....

මට මතකයි. අපේ කන්තෝරුවේ අපේ දෙපාර්තමේන්තුවල සහෝදරයෝ ටි්‍රප් එකක්‌ යන්න සූදානම් වුනොත් ඉස්‌සෙල්ලම බලන්නේ උඹ යනවද කියලා... උඹ යනවා කිව්වොතත් ටි්‍රප් එකට කටිටිය වැඩිත් එක්‌ක..... ක්‍රිකට්‌ ගැහුවත් එහෙමයි. මෙන්ඩිය ඉන්නම ඕනේ.... හැන්දෑවට තෝසෙ කඩේ ගියත් පාට පාට බෝතල් තියෙන තැනට ගියත් මෙන්ඩිස්‌ ඉන්නම ඕනේ........ වැඩක්‌ සම්පූර්ණ වෙන්නේ එතකොට.

උඹට මතකද මඩකලපුව ගමන..... 2002 සාම ගිවිසුම කාලෙ චෙන්කල්අඩි ඉඳන් මහඔය දක්‌වා තිබුනේ ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රදේශයක්‌ හැටියට..... අපේ කණ්‌ඩායමේ දෙමළ දන්න කිසිකෙනෙක්‌ හිටියෙ නැහැ. අතරමඟදී කොටි කණ්‌ඩායමක්‌ වාහනේ නවත්වල ප්‍රශ්න කරද්දී උඹ ඉස්‌සරහට ගිහිල්ලා දෙමළ භාෂාවෙන් උන් එක්‌ක සෑහෙන වේලාවක්‌ වාද විවාද කරපු හැටි තාමත් කට්‌ටිය කතා වෙනවා.

උඹගෙ ළඟම ඉන්න යාලුවා චන්ද්‍රලාල් දන්නෙත් නැහැ උඹට හොඳට දෙමළ කතා කරන්න පුළුවන් කියලා.... අන්න එකයි උඹේ වටිනාකම... හැකියාවන් ප්‍රදර්ශනය කළේ නැහැ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කළා විතරයි...

ආමර්වීදියේ මුට්‌ට කරගහන මනුස්‌සයටත් යාලුවෙක්‌ හැටියට මචං කියපු උඹටල සමාජයේ ඉහළම තලයෙත් මචං කියලා කතා කරපු යාලුවෝ හිටියා.

මම එක දැනගත්තේ උඹේ අවසාන මොහොතට සහභාගි වෙන්න ඇවිත්හිටිය උඹ වෙනුවෙන් කඳුළු සලපු අය දැකලා.

උඹ ඒ අයත් එක්‌ක ආශ්‍රය කරපු හැටි ඒ අය අපට කිව්වා.

මචං.......

මේ සංසාර ගමනේදී ආයෙත් දවසක අපට උඹව හමුවේවි කියලා අපි හිතනවා.... ප්‍රාර්ථනා කරනවා....

මේ පුංචි සටහන ලිව්වේ උඹ අප අතැර ගොස්‌ තුන් මාසයක්‌ පිරෙන දවසෙ උපාලි පුවත් සමාගමේ සියලු දෙනාම වෙනුවෙන් උඹට උපහාරයක්‌ හැටියට.....

මංජුල මෙන්ඩිස්‌........ආදරණීය සහෘදය...

අප ඔබට නිවන් සුව පතමු.


අමරසිංහ මාලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.