ගැහුවොත් නිල්ල සොයා කිව්වොත් බෙල්ල ගියා

වර්තමානයේ තරුණ පුරපුර දුම්වැටි, මත්පැන් සඳහා යොමුවීම බොහෝ සේ අඩුවී ඇත. සාදයකට ගියත් මධුවිතට යොමුවීමට ඔවුන් තුළ ඇත්තේ බලවත් අකමැත්තකි. ඇත්තෙන්ම එය සතුටට කරුණකි. නමුත් ඊට හාත්පසින්ම වෙනස්‌ දෑ සඳහා තරුණ පරපුර යොමුවීමේ ප්‍රවණතාවක්‌ දැන් දැන් අසන්නට දකින්නට ලැබේ. එනම් අන්තරායක ඖෂධ වර්ග පානයකර වින්දනයක්‌ ලබා ගැනීමය. මෙය ඉතා භයානක තත්ත්වයකි. කැස්‌සට මානසික රෝග සඳහා වේදනා නාශක සඳහා නින්දයැම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව නියමිත මාත්‍රාවකින්ද තොරව ලබාගැනීම යනු සියදිවි හානිකර ගැනීමක්‌ වැනිය. එබැවින් මෙම භයානක අනතුර පිළිබඳව විමසා බැලීමට අපට සිතුනි.

ව්‍යාපාර ලෝකයෙහි ඉතා ප්‍රබලතම වෙළෙ¹ම් තුනක්‌ ඇත. පළමුවැන්න ආයුධ වෙළෙ¹මය. දෙවැන්න මත් ද්‍රව්‍යය තුන්වැන්න ඖෂධය. මෙම ව්‍යාපාර තුන ව්‍යාපාර ලෝකයේ ඉතා ප්‍රබලතම පමණක්‌ නොව ඉතා දරුණුතම ඒවාය. එසේම මෙම ව්‍යාපාර තුන එකිනෙක හා සමීප සබඳතාවක්‌ පවතී. අධික ලාභයක්‌ උපයාගත හැකි නිසා මෙම ව්‍යාපාරවල නිරතවන්නෝ සිය වෙළෙඳ කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා අසීමිත ලෙස මුදල් වැයකරති. එනිසා වෙළෙඳ ලෝකයේ අති දැවැන්තයින් බවට පත්ව සිටින ඔවුන් සමග පාතාල ලෝකයද සමීප සම්බන්ධතාවක්‌ පවත්වයි.

පාතාලයට අවශ්‍ය මුදල්ය. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක්‌ කිරීමට ඔවුන් සූදානම්ය. එය දන්නා මෙම ව්‍යාපාරිකයෝ තමුනට එරෙහිව කිසිවකුත් නැගී සිටිය හොත් පාතාලයේ සහයෝගය ලබාගෙන එවැනි පුද්ගලයන් විනාශ කර දමති.

ඖෂධ වෙළෙ¹ම මේ දිනවල ඉතා ජයටම ක්‍රියාත්මකවේ. මෙසේ අපරාජිතව සිටින ඖෂධ වෙළෙ¹ම සමග ඉතා හොර රහසේ ආයුධ සහ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් එක්‌වන්නට පටන් ගෙන ඇත. එය බැලූ බැල්මට නොපෙනේ. එහෙත් පසුගිය දිනවල රට තුළ අසන්නට දකින්නට ලැබුණු සිද්ධීන් කිහිපයකින් එය අනාවරණය කරගත හැකි විය. එනම් තරුණ පරපුර අතර අන්තරායක ඖෂධ භාවිතය ඉතා ශීඝ්‍ර ලෙස ජනප්‍රියවීමට පටන් ගැනීමයි.

අන්තරායක ඖෂධ ගණයට වැටෙන්නේ මත්වන හැකියාවක්‌ සහිත ඖෂධ වර්ගය. මෙවැනි ඖෂධ රෝගීන්ට නිකුත් කළ යුත්තේ වෛද්‍යවරයකුගේ නිර්දේශයක්‌ මතය. එසේ නොමැතිව ඒවා ඖෂධ සල්වලින් අලෙවි කිරීමද තහනම්ය. එය ඖෂධ පනතේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එහෙත් එම නීතිය උල්ලංඝණය කරමින් බොහෝ ඖෂධ සල් හිමියෝ තරුණයන් වෙත මෙම අන්තරායක ඖෂධ අලෙවි කරති. එසේ කිරීමට හේතුවක්‌ ද ඇත. මෙම ඖෂධ වර්ග එතරම් මිල අධික නැත. එබැවින් වෛද්‍ය නිර්දේශයකින් තොරව නිකුත් කරන විට ඒවා තමුනට හිතූ මිල ගණන් වලට අලෙවි කළ හැකිය. ඉන් හොඳ ලාභයක්‌ උපයාගත හැකිය. එබැවින් බොහෝ ඖෂධ සල් හිමියෝ ඖෂධ පනත අමු අමුවේ උල්ලංඝණය කරමින් මෙම අන්තරායක ඖෂධ අලෙවි කිරීමට කැමැත්තක්‌ දක්‌වති.

සාමාන්‍යයෙන් මෙවැනි අන්තරායක ඖෂධ බහුලව භාවිතා කරන්නේ වේදනා නාශකයක්‌ ලෙස, මානසික ආබාධ සඳහා සහ නින්දයැම සඳහාය. ඒවා භාවිතා කිරීමෙන් සිරුරට සැහැල්ලුවක්‌ දැනේ. නියමිත මාත්‍රාවට වඩා ගැනීමෙන් මත්වීමක්‌ද සිදුවේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව රට තුළ හඬක්‌ නැගෙන බැවින්ද රජයද මතට තිත තැබීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇති බැවින්ද මේ වන විට තරුණ තරුණියන් අරක්‌කු සිගරැට්‌ මත්ද්‍රව්‍ය ගංජා වැනි දෑ භාවිතයෙන් ඈත්වන්නට පටන් ගෙන ඇත. මෙම තත්ත්වය මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සිය ඒජන්තවරුන් හරහා තරුණ තරුණියන් අන්තරායක ඖෂධ වර්ග භාවිතයට හුරු කරති. එහි ප්‍රතිඵලය වන්නේ ඊට තරුණ තරුණියන් ඇබ්බැහිවීමය. ඉන් පසු ඉතා පහසුවෙන් ඔවුන්ට මත්ද්‍රව්‍ය මත්පැන් පානය හුරු කළ හැකිය.

මේ බව තරුණ තරුණියන් සිටින දෙමාපියන් අවබෝධ කරගත යුතුය. තම දරුවන් මත්වන බෙහෙත් පෙත්තක්‌ හෝ ජෙල් පැකට්‌ටුවක්‌ පානය කර ඇත්තේ කොලුකමට යෑයි කියා සැහැල්ලුවෙන් නොසිතන්න. එය මත් රකුසාට බිලිවීමේ ආරම්භක පියවර බව මතක තබා ගන්න.

එපමණක්‌ නොව මෙවැනි ඖෂධ ගැනීම නිසා සිරුරට වන හානිය අතිමහත්ය. එබැවින් මත් රකුසාට බිලිවීම පමණක්‌ නොව අකාලයේ රෝගී වීමටද හේතුවේ.

සාමාන්‍යයෙන් අප ඖෂධ පානය කරන්නේ රෝගයක්‌ සුවකර ගැනීමටය. එහෙත් මෙවැනි ඖෂධ නිසි ප්‍රමිතියකින් තොරව අනවශ්‍ය ලෙස ගැනීමෙන් සිදුවන්නේ නිරෝගී පුද්ගලයන් රෝගීන් බවට පත්වීමය.

මේ පිළිබඳව උතුරු කොළඹ ශික්‌ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා අපට අපූරු කතාවක්‌ කීවේය. පසුගියදා එම රෝහලට "නිල්ල සොයා" නමැති ඖෂධ පෙති වර්ගය පානය කළ පාසල් සිසුන් කිහිපදෙනකු අසාධ්‍යව ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.

මෙම තරුණයන් තුළ වමනය ඔක්‌කාරය බඩරුදාව හිසරදය සිහිමද බව යන රෝග ලක්‌ෂණ තිබී ඇත. ඊට හේතුවී ඇත්තේ ඔවුන් භාවිතාකර ඇත්තේ මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක්‌ වීමය. එය නියමිත මාත්‍රාවට වඩා ගැනීම නිසා මෙම අතුරු ආබාධ මතුව තිබේ.

ඇත්තටම මෙවැනි අන්තරායක ඖෂධ අධික ලෙස ගැනීමෙන් දැනෙන මත් බව නිසා බොහෝ තරුණ තරුණියන් මේ සඳහා ඇබ්බැහි වෙනවා. මෙම ඖෂධ ළඟ තබා ගැනීම තහනම් නැහැ. මිල ගණන්ද අඩුයි. එහි භයානකකම වන්නේ මෙවැනි ඖෂධ නිතර නිතර අධික ලෙස ගැනීමෙන් මෙම තරුණ තරුණියන් වකුගඩු ආබාධ අක්‌මා රෝග ස්‌නායු රෝග වැනි බරපතල රෝගවලට ගොදුරුවීමයි. එසේම සිහිවිකල් බව නිසා අස්‌වාභාවික කටයුතුවලට යොමුවේ. එවැනි රෝග සහිත තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතා කළ විට ඉතා ඉක්‌මණින් මරණයට පත්වෙනවා. මෙය ඉතා භයානකයි. එනිසා වත්මන් සමාජය පමණක්‌ නොව රජයද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. අන්තරායක ඖෂධ පනත ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. එය උල්ලංඝණය කරන ඖෂධ සල් වටලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා පැවසූ තොරතුරු වලින් අපට වැටහුනේ වහාම මීට එරෙහිව පියවර නොගතහොත් රජය ගෙන යන මතට තිත වැඩ පිළිවෙළට මෙය දරුණු පහරක්‌ වනවා පමණක්‌ නොව නැවත වරක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලයද හිස ඔසවන බවය. එසේම යුද්ධය නිසා අකාලයේ මියගිය තරුණ ජීවිත හා සමාන ප්‍රමාණයක්‌ නැවත වරක්‌ මෙවැනි ඖෂධ මත්ද්‍රව්‍ය නිසා අකාලයේ වැනසී යන බවය. එබැවින් ඊට එරෙහිව අපි වහාම පෙළ ගැසිය යුතුය.


උපාලි ද සේරම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.