එස්‌. බී. ඇමතිතුමෝ වැරදුනා ද? වරද්දගත්තා ද?

එස්‌. බී. දිසානායක ඇමැතිතුමා පසුගිය 12 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමට ගිය අවස්‌ථාවේ සිසුන් කළ විරෝධතාවක්‌ සම්බන්ධ ප්‍රවෘත්තිය පුවත්පත්වල පළවී තිබිණ.

ඡේ. ආර්. පාලන සමයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කරන්නට ගොස්‌ සිදුවූ දේ දැන් කාටවත් මතක නැත.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර මැතිතුමා උපකුලපති කාර්යාලය තුළම ඝාතනය විය. ඒ සියලු දේ සියෑසින් දුටු අපට ඊට හේතු කාරණාද සිහිපත් වේ. උපකුලපතිතුමාගේ වැඩිමහල් පුතණුවන්ද ඒ ආරම්භ කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු වීම එතුමාගේ මරණයට හේතුකාරණා වූ බවක්‌ අපට දැනේ.

සැපසම්පත් අධික ලෝකයේ දරු පරපුර ගැන සිතාමතා ක්‍රියාකරන සෑම දෙමාපියන්ම කල්පනාකාරී විය යුතු බවට එය හොඳ නිදසුනකි. ඊට වඩා යමක්‌ ඒ ගැන සඳහන් නොකරමි. නුවණ ඇති අයට හේතු කාරණා අවබෝධ විය යුතුය. මෙවැනි දේ දරුවන් ඇති දෙමාපියන් හොඳින් මතක තබාගත යුතුය. සැපසම්පත් පසුපසම නොගොස්‌ තම දරු පරම්පරාව රැකගන්න දැන් කාටත් කාලය උදාවී ඇත.

එස්‌. බී. දිසානායක ඇමතිතුමාට පටන් ගන්න ඇත්තේ මල්මාලා වලින් නොව ශිෂ්‍යයන්ගේ සැප විහරණය සහ පහසුකම් සෙවීමේ කාර්ය තුළින් බවක්‌ අපට හැඟේ. පන්ති කාමර, නාන කාමර, වැසිකිළි, ජල පහසුව, සෞඛ්‍ය, ශිෂ්‍ය නිවාස සහ පෞද්ගලික නේවාසිකාගාර, භෝජනාගාර සහ කුස්‌සි යනාදිය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී.

ඊළඟට අධ්‍යාපන ක්‍ෂේත්‍රයයි. අද විශ්වවිද්‍යාල මුදල් සෙවීමේ ගිජුතාවකට පත්ව ඇති බව කිවයුතුය. සෙනසුරාදා - ඉරිදා - පෝයදා වැනි නිවාඩු දිනවල පැවැත්වෙන බාහිර උපාධි සහ ඩිප්ලෝමා පන්ති අද විශ්වවිද්‍යාලවලට මුදල් ගලාඑන ගංගා බවට පත්ව ඇත.

උගන්වන අයට ඒ තුළින් විශේෂ ආර්ථික වාසි ලැබීම සතුටට කරුණකි. එහෙත් ඒ ධනයෙන් කොටසක්‌වත් ශිෂ්‍ය සැප විහරණයට යොදාගන්නවා නම් එයත් හොඳය. එවැන්නක්‌ සිදුවේද? නැද්ද? යන්න ගැන දැනීමක්‌ අපට නැත. පාලකයෝ ඒ පිළිබඳ සොයා බලත්වා.

අද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බොහොමයක්‌ රාත්‍රී සේවාවල යෙදෙන අය වන බවක්‌ කථාබස්‌වලින් දැනගන්නට ඇත. එය නීත්‍යනුකූලද නැද්ද යන්න ගැන අපට දැනුමක්‌ නැත. කෙසේ හෝ ශිෂ්‍ය ජීවිතයත් ආර්ථිකයත්, ජීවත්වීමත් ගේ-දොර ප්‍රශ්නත් බොහෝ ශිෂ්‍යයන්ට බලපා ඇති හේතු කාරණාය. ඊටත් වඩා තරුණ ජීවිත නොමග යවන සංවිධාන වැඩසටහන්වලට වැට බැඳීමක්‌ කාගෙන්වත් සිදු නොවන බවක්‌ අපට පෙනේ. තත්ත්වය එසේනම් අයාලේ යන සතුන් තත්ත්වයට මතු උගත් පරපුර පත්වුවොත් එයින් රටට වන හානිය ගැන අතීතයෙන් නිදසුන් ගනිත්වා.

දැන් කාටවත් ඒවා අමතකය. කවුරු කවුරුත් සුරංගනා ලෝකවල ජීවත්වන බවක්‌ නම් පෙනෙන්නට තිබේ.

විශ්වවිද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමක්‌, ඒ අයගේ පෞද්ගලික ජීවන රටාව ගැන සොයා බැලීමක්‌ අවශ්‍යද? යන්න පිළිබඳව පරිපාලන ක්‍ෂේත්‍රය කල්පනා කරන බවක්‌ නැති බව කිව යුතුය. වසර 3 ක හෝ 4 ක කාලසීමාවක්‌ අභ්‍යන්තර සිසුන් ලෙස ඉගෙනුම ලබන සිසුන්ගේ සියලු වගකීමක්‌ම සොයාබලා යහපත් පරිපාලනයක්‌ තුළ සිසුන් හැදීම, ඉගැන්වීම, කළමනාකරණය මේ පිළිබඳ වගකීමක්‌ දැරිය යුත්තේ කවුරුන්ද? යන ප්‍රශ්නයට කවුරුත් පිළිතුරක්‌ දිය යුතුව ඇත. නිවටයන්, ලෙඩුන්, දැනුමක්‌ නොමැති එවුන් ලෙස රටේ පරිපාලන ක්‍ෂේත්‍රයට එළිබහින නිකමුන්ගෙන් ඊළඟ ප්‍රජාවට වන සෙත කුමක්‌ද?

ඒ දුර්වලකම් ඇති අය දෙමාපියන් ලෙස අනාගතයට එක්‌ නොවේද? එක්‌වේ. එසේනම් ඔවුන්ගේ දරුපරපුරට සිදුවන්නේ කුමක්‌ද? සියයට හැත්තෑපහකින් ඒ තත්ත්වය අද රටට සිදුවී අවසානය. ඉතිරි සියයට විසිපහ නිසා මේ තත්ත්වයෙන් අද රට පවතින බව නොකියාම බැරිය.

ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍ය මණ්‌ඩලය, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු සහ ඊට පහළින් සිටින සැම මේ රටේ යථාතත්ත්වය තේරුම්ගත යුතු කාලය එළඹ තිබේ.

ත්‍රස්‌තවාදීන් ගැන යුද්ධය ගැන දැන් කතා කරන්න මාතෘකා අවශ්‍ය නැත. මතුවට ත්‍රස්‌තවාදය යුද්ධ ඇති නොවීමට පාලක පක්‍ෂය, රටවාසීන් සැම ඒකරාශීව ඇත්වැල් බැඳගෙන ක්‍රියාත්මක විය යුතුය.

බලයට පත් අය සැපසම්පතින් අඩුවක්‌ නැතිව ජීවත් වන බවක්‌ රටවැසියන්ට අවබෝධවන අයුරින් ක්‍රියාකළ යුතු නැත.

නිහතමානිකම, චාම් බව, ලද දෙයින් සතුටුවීම සියලු ආගම්වල මූලධර්ම වේ.

වරද කා තුළත් ඇත. වරද අවබෝධ කරගන්නට නුවණක්‌ තිබීම අත්‍යාවශ්‍යය, වරද අවබෝධ කරගන්නා එයින් මිදීමට උත්සාහ දරනු ඇත.

අනුන්ගේ ඇඟේ තාර ගානවා හැර තමන්ගේ ඇඟේ තාර ගා ගන්න කැමති අය නැත. වරද තමන්පිට පටවාගෙන ඒ වැරැද්ද නිවැරදි කරන්න අම්මලා, තාත්තලා උත්සාහ විය යුතුය.

ආගමික පූජ්‍ය පක්‍ෂයට මේ රටේ කළහැකි පැවරුණ වැඩක්‌ නොමැත. ඒ නිසා ඒ අයගෙන් මේ තරම්වත් සිදුවන සේවය අගය කරන අය අඩුය.

විශ්වවිද්‍යාල සිසුන් යනු අනාගත ප්‍රාණනාලිය වේ. මහාචාර්යවරුන් වන්නේ ඔවුන්ය. දේශපාලනඥයන් වන්නේ ඔවුන්ය. රටට අර්ථයෙන්, ධර්මයෙන් මගපෙන්වන්නේ ඔවුන්ය. ව්‍යාපාරිකයන් වන්නේ ඔවුන්ය. රටේ අනාගත පරපුර හදන්නේ ඔවුන්ය. ඔවුන් නොහදා, ඔවුන් සංවර්ධනය නොකර රටට අනාගතයක්‌ නැත.

මේ ගැන සිතන්න කල්පනා කරන්න පිරිස්‌ අඩුය. නිලතල, යානවාහන, නිල නිවාස, උපභෝග, පරිභෝග සම්පත් ලබන අයට මුල-අග මතක නැත. ඔවුන්ට අගක්‌-මුලක්‌ සොයාගන්න බැරිය. සැප සම්පත් ලබන්නේ ඒ සඳහා ගිජුවීමට නොව රටට උදාර සේවයක්‌ සඳහාය.

රටට පළමුව කා තුළත් විනය දෙවනුව නීතිය, ඊළඟට පාලනය, පාලනයත් යහපත් පාලනයක්‌ විය යුතුය.

පොදුවේ රටේ අධ්‍යාපනය, උසස්‌ අධ්‍යාපනය, සංවර්ධනයට කෘතහස්‌ථ දක්‍ෂයන් අවශ්‍යය. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගේ අභාවයෙන් පසු එතුමා දැරූ අධ්‍යාපන ඇමැතිකම ජනාධිපතිවරයා යටතට ගෙන යහපත් සත්කාර්යයක්‌ සිදු කරන්න සිහිපත් කළේ අප විසිනි. එය එසේ විය. ඒ වකවානුව තුළ යමක්‌ සිදුවූ බව කිවයුතුය. ඒ අත්හදා බැලීම තුළ මෙවර ඒ නිලය අතිගරු ජනාධිපතිතුමන්ට දැරීමට වැදගත් පිරිසක්‌ එතුමාට සිහිපත් කළත්, එතුමා දන්වා සිටියේ දක්‍ෂ දෙපළක්‌ ඊට පත් කරන බවය. එස්‌. බී. දිසානායක ඇමැතිතුමා කවුරුත් පිළිගත් දක්‍ෂයෙකි. වැඩක්‌ කළ හැකි කෙනෙකි. උගතෙකි. එතුමාට යම් වැඩකොටසක්‌ කළ හැකි කෙනෙකි. අපේ ජීවනාලිය විශ්ව විද්‍යාලය එතුමාට භාරවිය. එතුමා මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කෙනෙකි. එතුමාගේ දරුවන් කොයි රටේ ඉගෙනගත්තාද කියා නොදනිමි.

කෙසේ හෝ ප්‍රශ්නය උණු-උණුවේ ලැබූ පත්වීම, යමක්‌ කරන්න සූදානම් වන අවස්‌ථාවක "පුදන කොටම කාපි යකා" කියමන මෙන් එතුමාට නියෝජ්‍ය ඇමැතිතුමාට අපේ විශ්වවිද්‍යාලවල හදවත බඳු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මුහුණදීමට සිදු වූ දේ කනගාටුදායකය.

මේ ගැන විනය පරීක්‍ෂණයක්‌ කරන්න එතුමා බලධාරීන්ට නියම කළ බවක්‌ද පුවත්පත්වල පළ විය.

ඇමැතිතුමාට වඩා වෙනත් බලධාරියෙක්‌ ඒ ක්‍ෂේත්‍රයට නැත. ඇමැතිතුමනි, ඌරගෙ මාළු ඌරාපිට තබා කපනවා කියන කියමනක්‌ද ඇත. ප්‍රශ්නය ඔබතුමාට ලිහිල් කරන්න මේ ලිපියේ කලින් මා සඳහන් කළ කරුණු ටික නැවත අවධාරණයට ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලමි.

හිරගෙයි සිටි සිරබත් කෑ (සමහරවිට නොකන්න ඇත) ඇමැතිතුමා දුක, ලාභ, අලාභ ගැන දැනුමක්‌ ලබා ඇත. ප්‍රශ්නය උඩුගොස්‌ ඇත්තේ ද ඊයේ නොව දුර ඈත අතීතයේ සිටය. වරදගන්න දෙයක්‌ නැත. පා ගමනෙන් ගොස්‌ ප්‍රශ්නය විසඳාගත හැක. අවශ්‍ය වන්නේ කරුණාව සහ මෛත්‍රිය පමණි. සිසුන් නොමග යවන අය සිටිති. එහෙත් ඒ තත්ත්වයෙන් ඔවුන් රැකගැනීමට ඇමැතිතුමා සහ පාලක පක්‍ෂය සමත් විය යුතුය.

දේශපාලන පක්‍ෂ පිට වරද පටවා ප්‍රශ්නයෙන් බේරීමෙන් වැඩක්‌ නැත. සිද්ධාන්තයට බෙහෙත් බැඳ තුවාලය සුවකළ යුතුය. එය සුවකළ හැකිය. තායිලන්තය, චීනය, මැලේසියාව ඒ අයුරින් විශ්වවිද්‍යාල සිසුන් ජයග්‍රහණය කර පාලන තන්ත්‍රය සකස්‌ කරගත් රටවල්ය. ජයවර්ධන ජනාධිපති සමයේ හෙදි සේවයේ ප්‍රශ්නය කාටවත් විසඳාගන්න බැරිවූ තැන එතුමා ඒ කාර්ය භාර කළේ මහ තොන්ඩමන් ඇමැතිතුමාටය. එතුමා එය ක්‍රමවත්ව විසඳුවේය. ඒත් තාවකාලික පිළියම් තුළිනි. කෙසේ හෝ "ඉසරදයට කොට්‌ටය මාරු කිරීම" කරන අය ලෝකයේ ස්‌ථීර දෙයක්‌ නොමැති බව පිළිගන්න අප යම් අනාගත සැලැස්‌මක්‌ මත කටයුතු කළ යුතුව ඇත. පසුගිය දේ ගැන කනාගටු වීම හෝ ශෝක කිරීම හෝ ශාප කිරීමෙන් පළක්‌ නැත එස්‌. බී. දිසානායක ශ්‍රී නාමය ලංකාව තුළ හැමදා බැබලවීමට ක්‍රියාත්මක වීමට මේ ලැබුන ගල්මුල් උපහාර මල් පූජාවක්‌ ලෙස සලකා ක්‍රියාකිරීමට යොදාගැනීමට ඇමැතිතුමාට හැකිවේවා.

අපේ රටේ සාරධර්ම පිරිහී ඇති බව කවුරුත් පිළිගනිත්වා. පොහොසත් වීමට වඩා නැණවත් වීම, ගුණවත් වීම, මනුෂ්‍යත්වය අවබෝධ කර ගැනීමට සුදුසු අවස්‌ථාවක්‌ උදාකර ගැනීමට මේ රටේ දුක්‌තභාවය නිදසුනක්‌ වේවා.

විශ්වවිද්‍යාල සිසුන් ලෙස යමක්‌ කිරීමේ ක්‍රමයක්‌ ඇත. නමුත් ඒ ක්‍රම ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලට මග පෙන්වන කෙනෙක්‌ නැත. "වඳුරන් අතට දැළිපිහි දීම" ද සුදුසු නැත. දැළිපිහි ගත් අය කරන දේ නතර කිරීම ද පහසු නොවනු ඇත. හරි මග පෙන්වන උපදේශකවරු ඇමැතිතුමාටත් ඇතිවේවා. ශිෂ්‍ය සංගම්වලටත් ඇතිවේවා.

කාගෙ කාගේත් ඇස්‌ ඇරවීමට ක්‍රමවත් උපක්‍රම අත්‍යවශ්‍ය වේ. එම උපක්‍රම ඥානවන්තව ක්‍රියාත්මක කරන්නත් සැම තැනට සුදුසු නුවණින් ක්‍රියාකළ යුතුය.

මෑතක දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා හමුවිය. එතුමා ඉදිරිපත් කළ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ ප්‍රමාණවත් ජල එකතුවක්‌ සම්බන්ධයෙනි. කැලණි විශ්වවිද්‍යාලයේ එය ක්‍රමවත්ව කර ඇති බව මා එතුමාට දන්වා එම ව්‍යාපෘතිය පරික්‍ෂා කර බැලීමට මඟපෙන්වීමක්‌ද කරන ලදී. ඒ තත්ත්වයට පාලක පක්‍ෂය විසින් සිසුන්ගේ සැප-දුක සොයා බැලිය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.