ජගත් සංවිධාන කුඩුකේඩුකම් හා අපි

ආසියාතිකයන් ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියකට උරුමකම් කියන්නන් ලෙස පිළිගැනීමට හෝ ඔවුන් විවිධ දක්‍ෂතා පෙන්නුම් කිරීමට හැකි අය බව පිළිගැනීමට බටහිරයන් කැමැති නැත. "මහා අධිරාජ්‍ය බිහි වී ඇත්තේ මහා පෙරැළි සිදු වී ඇත්තේ හැට කෝටියක්‌ ජනතාව ජීවත්වන පෙරදිගින් පමණි. යුරෝපය තවමත් ගැඩවිල් පස්‌ කන්දකි" යනුවෙන් කීවේ නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍යයා ය. එහෙත් හැම විටම බටහිරයන් සිතුවේ තමන් පෙරදිග ජාතීන් පාලනය කළ යුතු බවත් ඔවුන් තමන්ගේ උපදෙස්‌ අනුව කටයුතු කළ යුතු බවත් ය.

තිස්‌ අවුරුදු භීම සමය නිම කරමින් ලංකාව සාමය හා සංවර්ධනය දෙසට යොමුවීම බොහෝ දෙනකුට ඉවසුම් නොදෙන්නක්‌ වී ඇත. ඇතැම් බලවේග වල බළල් අත් සේ ක්‍රියා කළ ඔවුන් විසින් අනභිභවනීය යුද වීරයකු ලෙස පෙන්වා දුන් තිරුවේකන්දන් වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ හික්‌මීයකු මෙන් මියයන විට එය පිළිගැනීමටත් ඔවුන්ට නොහැකි විය. එහෙයින් ලංකාව වැනි ස්‌වාධීන, ස්‌වෛරී රාජ්‍යයක්‌ විසින් සිය වැසියන් ආරක්‍ෂා කිරීමේ වගකීම ඉටුකරමින් එම අයිතිය ක්‍රියාත්මක කරන විට ඊට විරුද්ධව නිරන්තරව කටයුතු කිරීමට ඔවුහු නොපැකිළෙති.

කොටි ත්‍රස්‌තවාදය පරාජය වීමෙන් පසුවත් ඉතා නිර්ලඡ්ජී ලෙස ඔවුන් මියගිය කොටින්ට හුළං ගසා පිම්බීමට තැත් කරන්නේ එහෙයිනි. අද රජයට විරුද්ධව ප්‍රධාන තුරුම්පුවක්‌ ලෙස භාවිතයට ගෙන ඇත්තේ මානව හිමිකම් කඩ කිරීමේ කතිකාවත මෙන්ම ජී.එස්‌.පී. බදු සහනය ලබා නොදීමේ තර්ජනයයි. බටහිරයන්ගේ ඉහත කී නින්දනීය උත්සාහයෙන් පෙනී යන එක්‌ කරුණක්‌ වන්නේ ජී.එස්‌.පී. බදු සහනය පිළිබඳව ඔවුන් අනුගමනය කරන්නා වූ අසාධාරණ ක්‍රියා පිළිවෙතයි. ජී.එස්‌.පී. බදු සහනය යනු ආර්ථිකමය ක්‍රියාවලියකි. එය රටේ ස්‌වෛරීත්වය පාවා දී ලබා ගත යුත්තක්‌ නොවේ. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කර ඇති දේශපාලන කොන්දේසි රජය විසින් ඉවතලා තිබීම පැසසිය යුත්තකි. ත්‍රස්‌ත සැකකරුවන් නිදහස්‌ කිරීම, 17 වැනි සංශෝධනය බල ගැන්වීම, ත්‍රස්‌තවාදී පනත අවලංගු කිරීම, වෙනත් රටවලදී ත්‍රස්‌ත සැකකරුවන්ගේ නඩු ඇසීමට පහසුකම් ලබාදීම, හදිසි නීතිය ලිහිල් කිරීම වැනි ඉල්ලීම් වෙළෙඳ ගිවිසුමකට කෙසේ නම් ගැලපේද යන්න ගැටලුවකි. ඒවා රටේ අභ්‍යන්තර පාලනයට මෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පවා ඇඟිලි ගැසීමට යැමක්‌ වේ. අනෙක්‌ අතට ඔවුන්ගේ සියලු කොන්දේසිවලට එකඟ වීමෙන් ලංකාව දැනට මුqහුණ පා ඇති අසූමහ දෝෂවලින් විනිර්මුක්‌ත වීමට හැකි බවට කුමන හෝ සහතිකයක්‌ ලැබේ යෑයි විශ්වාස කළ හැකි වන්නේද යන්න ද ප්‍රශ්නයකි.

මෙවන් කොන්දේසි ඉරාකයේ හෝ ඇෆ්ගනිස්‌ථානයේ ලක්‍ෂ ගණන් අහිංසක මිනිසුන් මරා ඇති බුෂ් පාලනයට හෝ ඔබාමා පාලනයට කිසිවකු විසින් ඉදිරිපත් කරන්නේ ද නැත. බටහිරයන්ගේ සියලු නොපනත්කම් සුවච කීකරු ගෝලයන් මෙන් ඉවසා වදාරන බොහෝ දෙනා ලංකාවට විරුද්ධව අවි අමෝරා ගැනීම කනගාටුවට කරුණකි. මිනීමරු කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හැකිවීම බටහිරයන්ට විඳවා ගැනීමට නොහැක්‌කකි. ඒ ඔවුන් මුල සිටම කොටින්ගේ ආරක්‍ෂකයන් වී සිටීම නිසා ය. අවි ආයුධ, උපදෙස්‌ හා පුහුණුව, මිල මුදල්, යුද උපකරණ, ගුවන් නැව් හා සබ්මැරීන්, යුද ටැංකි, නවීන තාක්‍ෂණය හා අධිපෝෂිත බිස්‌කට්‌ වැනි ආහාර ආදිය ලබා දෙමින් විවිධ සම්බන්ධතා පවත්වමින් කොටින් ආරක්‍ෂා කිරීමට හා බලවත් කිරීමට ඔවුන් නොගත් උත්සාහයක්‌ නැත.

ඒ සඳහා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට අගමැති රනිල් වික්‍රමසිංහ දක්‌වා පැවැති රජයන් තර්ජනයෙන් හා ගර්ජනයෙන් බියකර අවස්‌ථාවන් ලබා ගත් සැටි රහසක්‌ නොවේ. එහෙත් එසේ බය කොට තම සිතැඟි ඉටුකර ගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා යොදවා ගැනීමට ඔවුනට නොහැකි විය. එහෙයින් කලක්‌ ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදියා ලෙස ඔවුන් විසින් ම හඳුන්වන ලද මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරිමට වත්මන් ජනාධිපතිවරයාට හැකිවීම ඔවුනට අදහාගත නොහැකි දෙයක්‌ වී ඇත. බින් ලාඩන් මරා දැමීම කෙසේ වෙතත් ඔහු සැඟවී සිටින තැන දැන ගැනීමට වත් ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට තවමත් නොහැකි වී ඇත. ඔවුන්ගේ ගුරුහරුකම් නොලබා මහින්ද රාජපක්‍ෂ කළ වික්‍රමය පිළිගැනීම ඔවුන්ට ලැඡ්ජාවකි. තවත් පිරිසකට ප්‍රභාකරන්ගේ අවසානය මෙන්ම ඊළාම් රාජ්‍යය බිහිනොවීම අති විශාල ආර්ථික අවපාතයකි. එහෙයින් සිදුවූ පාඩුව පිරිමසා ගැනීමට විවිධ කෙනෙහිලිකම් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. තම රටවල ද ත්‍රස්‌තවාදී ගැටලු පවතිද්දී සමස්‌ත ලෝකයෙන් ත්‍රස්‌තවාදය තුරන් කිරීමට කටයුqතු කරනු වෙනුවට දෙබිඩි පිළිවෙතක්‌ ඔවුන් අනුගමනය කරති. මෙහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා සිය ප්‍රතිපත්ති අවස්‌ථාවාදීව වෙනස්‌ කරමින් බලවතුන්ගේ හිත සුව පිණිස කටයුතු කරන බවට චෝදනා ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ සමස්‌ත ලෝකයේ සාමය වෙනුවෙන් සියලු ජාතීන් අතර සහයෝගීතාව ඇති කිරීමේ අපේක්‍ෂාවෙනි. එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගාම්භීර ලෙස සංවිධානය වූ ආයතන රාශියක්‌ ඇත. එහෙත් ඒවායේ ක්‍රියාකාරීත්වයේදී යම් සාධාරණ බවක්‌ සියලු රටවල් වෙනුවෙන් පවතිනවා දැයි යන්න ප්‍රශ්නයකි. ලොව රටවල් 66 ක පමණ ත්‍රස්‌තවාදී ගැටුම් ඇත. බොහෝ රටවල සූරාකෑම අන්තයට ගොස්‌ ඇත. බලවත් රාජ්‍ය විසින් දුප්පත් රාජ්‍යවල සම්පත් සූරාකෑම අනවරතයෙන් සිදුවේ. මේ සඳහා බොහෝ විට ගොදුරු වී ඇත්තේ සම්පත් බහුල ආසියා අප්‍රිකානු රාජ්‍යයන් ය.

ඇතැම් බලවත් රාජ්‍ය විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිය සිතැඟි අනුව හසුරුවන බවට ද අදහස්‌ පළ වේ. ඔවුන් ඇතැම් විට ගෙවිය යුතු සාමාජික මුදල් පවා ගෙවීම් පැහැර හරින බවට චෝදනා ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ලේකම්වරයා පවා ඇතැම් විට බලවත් රාජ්‍යවල රූකඩයක්‌ සේ කටයුතු කරන බවට විවේන පවතී. බොහෝ රටවල ගැටුම් හා ප්‍රශ්නවලදී එම සංවිධානයට කළ හැකි කිසිවක්‌ නොමැති බවට ඇතැම්හු පෙන්වා දෙති. උදාහරණයක්‌ ලෙස නිදහස්‌ කොංගෝවේ ප්‍රථම අගමැති පැට්‌රික්‌ ලුමුම්බා කුරිරු ලෙස ඝාතනය කළ අවස්‌ථාව දැක්‌විය හැක. මෙහිදී ලොව පුරා පැන නැගුන විරෝධයේදී එවකට එක්‌සත් ජාතීන්ගේ ලේකම් ඩැග් හැමර්ෂල් මහතා ඒ පිළිබඳව සොයා බැලීමට යද්දී ගුවන් යානය පුපුරා මරණයට පත්විය. සියල්ල එතැනින් අවසන් විය.

වියට්‌නාම් යුද්ධයට, පෝක්‌ලන්ත යුද්ධය, ඉරාක යුද්ධය හෝ ඇෆ්ගනිස්‌ථානයේ යුද්ධයේදී දශලක්‍ෂ ගණන් සාමාන්‍ය ජනතාව මිය යද්දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කළ දෙයක්‌ නැත. එසේ වුවත් ලක්‍ෂ ගණනකට උන්හිටි තැන් නැති කරමින්, සාමාන්‍ය වැසියන් හා කිරි දරුවන් මරා දැමූ මිනීමරු ප්‍රභාකරන් ඇතුළු කල්ලිය වනසා දැමීමට රටක්‌ වශයෙන් ලංකාවට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේදී බෑන් කී මූන් ප්‍රධාන පුද්ගලයන් ලංකාවට විරුද්ධව අවි අමෝරාගෙන පෙරට එනු පෙනේ. බුෂ් පාලනය විසින් ඉරාකයේ සාමාන්‍ය වැසියන් හයලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ මරා දමා ඇත. ඉරාකයේ නීත්‍යනුකූල රජය පෙරළා දමා එහි ජනාධිපතිවරයා මරා දමා ඇත. 2008 ජනවාරි 17 දින ඊශ්‍රායල් අගමැති එහුඩ් ඔල්මාර්ච් පලස්‌තීනයට යවන සැපයුම් නතර කිරීම නිසා එහි රෝහල් කටයුතු අඩපණ විය. ළමයින් හා මහල්ලන් ඇතුළු ජනතාවට ජලය නැතිවීමෙන් ඉමහත් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවිය.

මේ අතර ඊශ්‍රායලය විසින් පාසලකට බෝම්බ දැමීම නිසා සිසුන් 40 කගේ ජීවිත විනාශ විය. ඇෆ්ගනිස්‌ථානය පිළිබඳව නේටෝ ප්‍රකාශකයකු 2006 දී බී.බී.සී සේවයට කියා තිබුණේ තමන් අතින් සිදු වූ ලොකුම වැරැද්ද නිරපරාදේ සිවිල් වැසියන් ඝාතනය වීම බවයි. 2006 ඔක්‌තෝබර් වලදී කන්දහාර්වලට බෝම්බ හෙළීමකදී එකම පවුලේ 20 දෙනකු ඝාතනය විය. ඇමරිකානු AC 130 යානාවලින් සෝමාලියාවේ හායෝ ගම්මානයට බෝම්බ දැමීම නිසා මහත් විනාශයක්‌ විය. 2010 මැයි 31 දින ඊශ්‍රායලය විසින් පලස්‌තීනයට ආධාර රැගෙන ගිය නැව්වලට පහර දීම නිසා අන්තර් ජාතික නියෝජිතයන් 9 දෙනකු මරණයට පත්විය. මෙහිදී ලාංකික සම්භවයක්‌ ඇති මාරියම් මහත්මිය කියා තිබුණේ තමන්ට ඉතා අමානුෂික ලෙස සැලකූ අතර ඊශ්‍රායල් භටයන් විසින් කිසිවකුටවත් වැසිකිළියටවත් යැමට ඉඩ නොදුන් බවය.

ඇමරිකාව විසින් වියට්‌නාම් යුද්ධයේදී නාපාම් බෝම්බ හෙළා දස දහස්‌ ගණනින් මරණයට පත් කරන ලදී. පලස්‌තීනය, ඉරාකය වැනි රටවලදී බටහිර බලවත් ජාතීන් විසින් කළ මානව හිමිකම් කඩකිරීම් නිමක්‌ නැත. අල්ලාගත් සිරකරුවන්ට ගුවන්තමෝ සිර කඳවුරේදී අමානුෂික වද දුන් සැටි ලොවට හෙළි වී ඇත. මෙම මහා මිනිස්‌ ඝාතන හා මානව හිමිකම් කඩකිරීම්වලදී මෙන්ම මුහුදු කොල්ලකරුවන්ගේ භීෂණ ක්‍රියා නැවැත්වීමට හෝ මහා පරිමාණ පරිසර විනාශ කිරීම් වැළැක්‌වීමට හෝ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වී නැත. ලෝකයේ දිළිඳුකම සාගින්න නැති කිරීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක්‌ ඔවුන්ට නැත. ලොව ප්‍රබල රටවල අත්තනෝමතික ක්‍රියාවන් නැවැත්වීමට හෝ ඒ ගැන විමසීමට බෑන් කී මූන්ලාට හැකියාවක්‌ නැත. එවන් අවස්‌ථාවන්හිදී ප්‍රකාශ නිකුත් කරන්නේ ද නැත.

ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් සම්පත් ඇති රටවල ප්‍රශ්න ඇති කරන්නේත්, අභ්‍යන්තර කෝලාහල ඇති කරන්නේත්, ආණ්‌ඩු වෙනස්‌ කරන්නේත් හුදු ආර්ථික වාසි වෙනුවෙන් ම බව පෙනී යන කරුණකි. ඕනෑම බලවේගයකට මුහුණ දී රට ආරක්‍ෂා කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. එයට විරුද්ධවී ත්‍රස්‌තවාදීන්ගේ හිත සුව පිණිස වන කටයුතුවලට ධෛර්යය දීමට බෑන් කී මූන්ලා ඉදිරිපත්ව සිටීම කනගාටුවට කරුණකි. ඔහු සිය මව් රටේ ප්‍රශ්නවලදීවත් මෙතරම් සංවේදී ලෙස කටයුතු නොකළේ සිය ඉදිරි ධුර කාලය රැක ගැනීමට විය හැක. ශ්‍රී ලංකාව ත්‍රස්‌ත මර්දන කටයුතුවලදී කොටි සංවිධානයට අමතරව තවත් පෙරමුණු රාශියක තර්ජනයන්ට ද මුහුණ දී ඇත. මින් ප්‍රධාන වන්නේ

දෙස්‌ විදෙස්‌ විවිධ එන්.ජී.ඕ. සංවිධාන
පක්‍ෂග්‍රාහී බටහිර තානාපති අංශ
සාම වෙළෙඳුන් හා ඊනියා මාධ්‍ය ව්‍යාපාර
මානව හිමිකම් ව්‍යාපාරිකයන්
දෙමළ ව්‍යාපාරිකයන්
ඇතැම් ක්‍රිස්‌තියානි සංවිධාන හා නායකයන්

දේශීය දේශපාලන බඩගැත්තරයන් යනාදීන් ය.

මෙයින් බොහෝමයක්‌ අංශ තවමත් ක්‍රියාත්මකය. මොවුන් විසින් දේශීයව හා විදේශීය වශයෙන් ගෙන ගිය සාවද්‍ය ප්‍රචාර හා පාවාදීම් රටට අහිතකර ලෙස බලපා ඇත. තමා මඩකලපුවට එන බව කොටි දන්නේ නම් කොටින් ඔවුන්ට මෝටාර් නොගසන බව එවකට මෙහි සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ප්‍රකාශ කිරීමෙන් ම ඔවුන් අතර පැවැති සබැඳියාව පෙනේ. බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග බාර හිටපු ඇමැති කිම් හොවෙල් යුද්ධයෙන් කොටි ප්‍රශ්නයට විසඳුම් නොමැති බවත්, බලය බෙදීමක්‌ කළ යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක්‌ මෙහි පිහිටවිය යුතු බවත් එදා පැවැසීය. ලුවිස්‌ ආබර් කීවේ මානව හිමිකම් කඩන ආරක්‍ෂක ප්‍රධානීන් අන්තර් ජාතික නීතිය යටතේ වරදකරුවන් විය හැකි බවයි.

අද බෑන් කී මූන් තවත් ඉදිරියට යමින් උපදේශක කමිටු පත් කරයි. රටක ස්‌වාධීනත්වය පිළිබඳව නොසලකමින් එසේ රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට එවන් නිලධාරියකුට බලයක්‌ නැත. කලකට පෙර මෙවැනිම ප්‍රයත්නයකදී වැඩි ඡන්දයෙන් එම යෝජනා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේදී පරාජය වී ඇත. රුසියාව හා චීනය මෙහිදී සිය බලවත් විරෝධය දක්‌වා තිබීම වැදගත් ය. 2001 ජුලි 24 වැනිදා කටුනායක ප්‍රහාරය නිසා ගුවන් හමුදා යානා අටක්‌ හා මඟී ගුවන් යානා 3 ක්‌ විනාශ විය. සමස්‌ථ පාඩුව කෝටි 4000 කට අධික විය. 1984 න් පසු එකතැන පස්‌දෙනකුට වඩා මරා දැමූ එල්.ටී.ටී. ඝාතන සියයකට වඩා සිදු වී ඇත. එසේ තිබියදී ඔස්‌ටේ්‍රලියාවේ හිටපු විදේශ ඇමැති ගැරන්ස්‌ එවන්සේ කීවේ රජය උතුරට මෙහෙයුම් සිදු කළහොත් එය වැළැක්‌වීමට අන්තර් ජාතික මෙහෙයුමක්‌ සිදුවිය හැකි බවය.

බුත්තල ප්‍රහාරය මගින් අහිංසක වැසියන් මියයන විට බෑන් කී මූන් එල්.ටී.ටී.ඊ. යට ගැන කීවේ නැත. ඔහුගේ ස්‌ථාවරය වූයේ සාකච්ඡා කළ යුතු බවයි. ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්‌ථානයේ හෝ ඉරාකයේ සාමාන්‍ය වැසියන් මරා දමන විට නීත්‍යානුකූල රජයකට විරුද්ධව අවි අමෝරන විට බෑන් කී මූන් ප්‍රකාශ නිකුත් කළේ නැත. සාකච්ඡාවලට යා යුතු යෑයි කීවේ නැත. ශ්‍රී ලංකාවේ ඇතමුන්ට ලොකු අයියා වී සිටින ඉන්දියාව එදා අලිමංකඩ කඳවුර විනාශ වන විට දී කිසිදු ආධාරයක්‌ ලබා දුන්නේ නැත. ඉදිරිපත් වූයේ ඉතිරි භටයන් කොළඹට ගෙන ඒමට අවශ්‍ය නම් නැව් සැපයීමට පමණි. බුෂ්ගේ හමුදා කාබුල් නුවරට ප්‍රහාර එල්ල කොට ගැබිනියන් මෙන්ම පස්‌මස්‌ බිළිඳකු ඇතුළු 9 දෙනකු මරා දමන විට මානව හිමිකම් ක්‍රියාකාරීහු නිහඬය. මිනීමරු ප්‍රභාකරන්ගේ ප්‍රහාර වලින් අහිංසක වැසියන් බේරා ගැනීමට හමුදාව ඉදිරිපත් වන විට හියුමන් රයිට්‌ වොච් සවිධානය කීවේ එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම් සිදුවිය හැකි බවය. එවන් හැදිහත්වීම් ඇති වූ ටිමෝරය හා සර්බියාව බෙදී වෙන් වී ගිය සැටි අමතක කළ යුතු නැත.

බටහිර මුදලින් යෑපෙන අවස්‌ථාවාදීන්ට හා එන්.ජී.ඕ.කරුවන්ට අවශ්‍යව ඇත්තේ ද එසේ ලංකාව ද බෙදී වෙන් වනු දැකීමටය. හිටපු හමුදාපතිගේ සුදුකොඩි ප්‍රකාශයෙන් නව පණක්‌ ලබා ඇති දෙමළ ඩයස්‌ පෝරාව සිය අපේක්‍ෂාවන් අත්හැර නැත. එසේ වුවත් 2008 නොවැම්බර් 19 දින පුනරීන් කඳවුර රජයේ පාලනයට නතු වීමත් සමඟ සතුට ප්‍රකාශ කළ උතුරේ ජනතාව සිංහ කොඩි පෙළපාලියෙන් ගෙන ගොස්‌ කීවේ ඒකීය රාජ්‍යයක සහයෝගයෙන් ජීවත් වීමට තමනට ඇති ආශාව බව ලංකාවට රිදවන සියලු දෙනා විසින් තේරුම් ගත යුතුය. ඇමරිකානු ජනාධිපති ඔබාමා විසින් ජනරාල් මැක්‌ක්‍රිස්‌ටල් සේවයෙන් නෙරපා දමමින් කීවේ හමුදා ප්‍රධානීන්ට දේශපාලන නායකත්වය විවේචනය කළ නොහැකි බවය. තමා එම පියවර ගන්නේ රට වෙනුවෙන් බවය.

ලංකාව වෙනුවෙන්ද මෙම කියමන සාධාරණ විය යුතුය. රජය ද දේශීය හා විදේශීය මිතුරන් හා සතුරන් හොඳින් හඳුනාගත යුතුය. මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිට බුද්ධිමත් තීරණ ගත යුතුය. අපගේ මිතුරු රාජ්‍ය තව තවත් සමීප කර ගනිමින් අපගේ විදේශ සබඳතා ශක්‌තිමත් කර ගත යුතුය. විදේශ දූත මණ්‌ඩල සඳහා දේශපාලන හිතවතුන් නොව ගැලපෙන්නන් පුහුණු කොට බඳවා ගත යුතුය.

විදේශීය දූත මණ්‌ඩල සඳහා පත් කර ගන්නවුන්ට ආකර්ෂණීය වැටුප්, වැඩි වරප්‍රසාද හා පිළිගැනීමක්‌ ලැබේ. ඔවුන්ගේ දරුවනට විදේශයන්හි ඉගෙනීමට ද ඉඩ ලැබේ. පසුගිය දිනක පුවත්පත්වල පළ වී තිබුණේ එවන් එක්‌ පුද්ගලයෙක්‌ එම රටේ නිල නිවාසයේ තිබූ භාණ්‌ඩ පවා රැගෙන ගොස්‌ තිබූ බව ය.

දෙමළ ඩයස්‌පෝරාව හෝ මෙරට අගතිගාමී පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන හා අවශේෂ බඩගැත්තරයන් විසින් විදේශයන්හි කරනු ලබන ප්‍රචාරයන්ට පිළිතුරු දීමේ හැකියාව ඇත්තේ අපගේ විදේශ සේවාවට ය. සමස්‌තයක්‌ වශයෙන් ඔවුන් එම කාර්යය හරිහැටි ඉටු කර නොහැති බව ඔප්පු වී බොහෝ කල් ය. ඇතමෙක්‌ සිය යුතුකම් ඉටු කිරීමට වෙහෙස ගනිද්දී තව පිරිසක්‌ වරප්‍රසාද භුක්‌ති විඳිමින් සේවය ගණිකා වෘත්තියේ යොදවා ඇති බව මැදපෙරදිග අහිංසක කාන්තාවන් අපගේ තානාපති කාර්යාලවලදී අත්විඳින අතවර වලින් පෙන්වා දෙයි.

කලකට පෙර ත්‍රස්‌තවාදී ව්‍යසන හුවා දක්‌වන ඡායාරූප ප්‍රදර්ශන යුරෝපා රටවල පවත්වන ලද අතර ඊට විශාල මහජන ප්‍රතිචාර ලැබී ඇත. ඩයස්‌පෝරාවට හෝ එන්.ජී.ඕ.කරුවන්ට වඩා නීතිමය බලයක්‌ අපගේ තානාපති සේවාවන්ට තිබෙන නිසා අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීමේ ක්‍රමවේදයක්‌ ඇතිවිය යුතුය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල කොටි හිතවාදීන් රැස්‌වීම් සංවිධානය කරද්දී ඒවාට පිළිතුරු දීමට අපගේ තානාපති අංශ අසමත් වී ඇත. අත් පත්‍රිකා, චිත්‍රපට, පුද්ගල උපකරණ, සම්මන්ත්‍රණ ආදිය මගින් විදේශයන්හි අප රට පිළිබඳ යථා තත්ත්වය හෙළිදරව් කළ යුතුව ඇත. එමගින් කොටි හිතවාදී ආකල්ප පරාජය කළ යුතුය. කොළඹදී හෝ පිට පළාත්වලදී බෑන් කී මූන්ට නොතේරෙන භාෂාවකින් බැණ වැදීමකින් හෝ පඹයන් පුච්චනවාට වඩා තානාපති අංශ මගින් රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් යුතුව ගැටලුවල පිළියම් සෙවීම අවශ්‍යය. එහෙයින් වහාම විදේශ තානාපති සේවය ප්‍රතිසංවිධානය කොට එමගින් රටට යහපත් වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර ගත යුතුය. විදේශ සේවාවේ ප්‍රධානම කාර්යය විය යුත්තේ විනාශ වී යන ලංකාවේ ප්‍රතිරූපය යථා තත්ත්වයට ගෙන ඒමයි. විදේශගත සිංහල ජනතාවගෙන් සිදුවන සේවය තරම්වත් සේවයක්‌ අපගේ විදේශ තානාපති සේවාවන්ගෙන් සිදු නොවන්නේ නම් එවන් තානාපති සේවයක්‌ පවත්වා ගෙන යැමෙන් ඇති ප්‍රයෝජනය කුමක්‌ දැයි ඇසිය යුතු වේ.


හි. ලි. ඔස්‌ටින් සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.